රැජිනි සෙල්වනායගම්
කීර්තිමත් නර්තන ශිල්පිනියක හා නර්තනාචාර්යවරියක වූ කලාකීර්ති රැජිනි සෙල්වනායගම් මහත්මිය තම ජීවන ගමන් මගේ 71 වැනි මංසලේදී දිවියෙන් සමුගෙන ගියාය. කලාව තුළින් සංස්කෘතිය, සම්ප්‍රදාය සහ සිරිත් විරිත් ප්‍රවර්ධනය කරමින් සාධාරණ සමාජයක් ගොඩනැඟීම අරමුණු කරගත් ඇය වසර 50කට අධික කාලයක් මුළුල්ලේ දරු දැරියන් ලක්ෂ ගණනකට දැනුම ලබා දුන්නාය. නර්තනය යනු විෂයයක් හැදෑරීම පමණක් නොව ඉන් අාධ්‍යාත්මික සුවයක්ද ලැබෙන බව ඇය ඇදහුවාය. දරුණු පිළිකා රෝගයකට ගොදුරුව ප්‍රතිකාර ලබමින් සිටියද මිය යන තෙක්ම ඇය දරු දැරියන්ට ශිල්පය ලබා දුන්නාය. නර්තන කලාවට මහඟු සේවයක් කළ චන්ද්‍රලේඛා, වජිරා චිත්‍රසේන, මිරැන්ඩා හේමලතා වැනි නර්තනාචාර්යවරියන් මෙන්ම ඇයද ශ්‍රී ලාංකික නර්තන කලාවේ නොමැකෙන නාමයක් ඉතිරිකර තිබේ.
ඇය උපන් බලංගාඩ ප්‍රදේශයේ ගැමි පරිසරයේ සුවඳ උකහා ගනිමින් දිවි ගමන ඇරඹූ ඇයට නර්තන කලාව සහජයෙන්ම උරුම වී තිබිණි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු වූ යාපනයේ සභාපති සෙල්වනායගම්ගේ සහ බලංගොඩ සිංහල බෞද්ධ කාන්තාවකගේ එක් පුත්‍රයකු හා දූවරුන් නව දෙනෙකුගෙන් යුත් පවුලක මැදි දියණියක ලෙස මෙලොව එළිය දුටු රැජිනි සෙල්වනායගම් අධ්‍යාපන ලැබුවේ කොළඹ බෞද්ධ බාලිකා විද්‍යාලයෙන් හා පැල්මඩුල්ල ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලයෙනි. ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය සනිටුහන් වූයේ ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේය. තම ජීවිතයේ රිද්මය වූ සෞන්දර්ය හඳුනාගත්තේ නර්තන කලාව තුළිනි. ළමා වියේ සිට ඇයගේ සිහිනය වූයේ නර්තනය හැදෑරීමය. ගහකොළ නැලවෙන තාලයට ඇගේ පුංචි දෑත් රඟන්නට විය. විදුලි පහනින් බිත්තිය මත වැටෙන තම සෙවණැල්ල බලමින් ඇය රුඟුවාය.
ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලය ඇයගේ සිහිනය සැබෑ කරන්නට කදිම තෝතැන්නක් විය. එහි නර්තනාචාර්ය සරත්ලාල් පනාවල මහතාගේ මඟපෙන්වීම යටතේ ඇගේ සාම්ප්‍රදායික නර්තන කලා ජීවිතය පෝෂණය විය. එවක නර්තනය ගැහැනියකට සුදුසු දෙයක් ලෙස නොසිතූ සමාජයක ගුරුවරියක වූ ඇගේ මව තම දියණිය නර්තනයේ යෙදෙනවාට අකමැති වූවාය. ඇයට අවශ්‍ය වූයේ දියණිය නර්තන ශිල්පිනියක කිරීමට නොව ගුරු වෘත්තියේ නියැලෙනු දැකීමය. එහෙත් කර්ණාටක සංගීතය ප්‍රියකළ සෞන්දර්යාත්මක හදවතක් තිබූ පියා ඇයගේ කැමැත්තට ඉඩ දුන්නේය.
පාසල් අධ්‍යාපනය අවසන් කළ රැජිනි සෙල්වනායගම් රජයේ නර්තන විද්‍යාලයට ඇතුළත් වී වසර පහකට පසු ඩිප්ලෝමා සහතිකය හිමිකර ගත්තාය. ඒ අතරතුර භරත නාට්‍ය ශිල්පයද හැදෑරූ ඇය එහිද ඩිප්ලෝමාව හිමිකර ගත්තාය. 1974දී ඇය රාජ්‍ය නැටුම් කණ්ඩායමේ සාමාජිකාවක වූවාය. නර්තන ගුරුවරියක ලෙස ඇගේ මුල්ම පත්වීම මාදම්පේ සේනානායක ජාතික පාසලටය. වසර 18ක් ඇය දිවයිනේ විවිධ පාසල්වල නර්තනාචාර්යවරියක ලෙස සේවය කළාය. තමන් දරුදැරියන් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවට දැනුම් දී ඇතැයි වරෙක රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් සඳහන් කළාය. ඇයගෙන් ශිල්ප ලද බොහෝ දෙනෙක් වර්තමානයේ ලංකාවේ පමණක් නොව ලොව විවිධ රටවලද නර්තන ආචාර්යවරුන් ලෙස දරුවන්ට ශිල්පය ලබාදෙති. 1975 වසරේ චාමර කලායතනය නමින් කලායතනයක් ආරම්භ කළාය. පසුව එය ''රැජිනි නර්තන ඇකඩමිය'' ලෙස ප්‍රචලිත විය.
රූපවාහිනියේ සංගීත වැඩසටහන් සඳහා නර්තන දායකත්වය ලබාදීමට පුරෝගාමී වූයේ ඇය යැයි මම සිතමි. ඇගේ ශිෂ්‍යාවන්ගේ රුඟුමින් හැඩ වූ නර්තන වැඩසටහන් ප්‍රේක්ෂකයන් මහත් ආදරයෙන් වැළඳ ගත්තේය. ප්‍රවීණ ගායක කීර්ති පැස්කුවල්ගේ ''සිංහල රජ කාලෙ නොවෙයි දැන් මේ කාලේ'' ගීතයට ඇය විසින් නිර්මාණය කළ රංගනය ඉතාම සිත්ගන්නා සුළු විය. එමෙන්ම ප්‍රවීණ ගායක දෙපළක් වන සමන් ද සිල්වා /උපාලි පෙරේරාගේ ''සුරූපී විරූපී'' යන ගීතයට එක්කළ නර්තනයද මතකයෙන් බැහැර නොවේ.
ධර්මරත්න බ්‍රදර්ස් සංගීත කණ්ඩායමේ එක් සාමාජිකයකු වන ප්‍රවීණ සංගීතඥ මෙල්රෝයි ධර්මරත්න මහතා රැජිනි සෙල්වනායගම් මහත්මිය පිළිබඳ අපූරු සටහනක් තම ෆේස් බුක් පිටුවේ තබා තිබිණි. එහි මෙලෙස සඳහන් විය. ''නමසිය පණස් ගණන්වල බොහෝ වේදිකා ප්‍රසංගවල නර්තන ඉදිරිපත් කළේ එවකට නර්තනාචාර්යවරියක ලෙස ප්‍රකටව සිටි මලිගස්පේ මහත්මිය මෙහෙයවන ලද නර්තන කණ්ඩායමකි. අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ ගායක සී.ටී.ප්‍රනාන්දු ඇතුළු බොහෝ පිරිස් සිය ප්‍රසංග සඳහා එම කණ්ඩායම යොදාගන්නා ලදී. රැජිනි සෙල්වනායගම් ප්‍රසංග කලාවට අවතීර්ණ වූයේ 70 දශකයේ මැද භාගයේදී හෝ අග භාගයේදීය. ඇයට ප්‍රසංග වේදිකාව ජය ගැනීමට වැඩි කාලයක් ගත නොවීය. එවකට ප්‍රසංග වේදිකාවේ වැජඹුණු ෆරීනා ලයි, හෙලන් කුමාරි, මලිගස්පේ නර්තන කණ්ඩායම යනාදී සියල්ලන් අභිබවා ඉදිරියට ඒමට ඇයට හැකි විය.
රැජිනිගේ නර්තන අංග කොළඹ හා තදාසන්න නගරයන්හි ප්‍රසංග ශාලාවල මෙන්ම ඈත ගම් දනව්වල එළිමහන් සංගීත සංදර්ශනවලටද යොදා ගැනිණි. ඇගේ හැඩකාර අති දක්ෂ නර්තන ශිල්පිනියන් වේදිකාව මත කරනු ලැබූ නර්තනයන් ඉතා රුචියකින් බලා සිටීම එකල මට මහත් ප්‍රීතියක් ගෙන දුන්නේය.''
බොහෝ නර්තන තරගවලදී මෙන්ම රූපවාහිනි නාලිකා මගින් සංවිධානය කරන නර්තන රියැලිටි වැඩසටහන්වලද විනිසුරුවරියක ලෙසද කටයුතු කළ රැජිනි සෙල්වනායගම් මහත්මිය හැඳින්වුණේ ''ක්වීන් ඔෆ් ඩාන්ස්'' යන අන්වර්ථ නාමයෙනි. ඇය කලාකීර්ති සහ විශ්ව කලාකීර්ති යන සම්මානයන්ගෙන්ද පිදුම් ලද කාන්තාවකි. ඇගේ ජීවිතයේ සහකරු වූයේ හරීන්ද්‍ර රොඩ්රිගෝය. ඔහු කතෝලිකයකු වූ අතර ඇය හින්දු, බෞද්ධ සහ කතෝලික යන ආගම් තුනේම සංකලනයක් බඳු විය. තමන්ට දරුවන් නොමැති වුවද ලක්ෂ ගණනක් වූ දරු දැරියනට ඇය මවක වූවාය. දිළිඳු දරුවන් වෙනුවෙන් නොමිලයේ ශිල්ප ලබාදුන් රැජිනි සෙල්වනායගම් මහත්මිය ඒ සියලු දරු දැරියන්ගේ නෙතට කඳුළක් ගෙන එමින් පසුගිය බදාදා සමුගෙන ගියේ 2016 සිට ඇය සටන් කරමින් සිටි පිළිකා මාරයාට පරාජය වෙමිනි. එහෙත් ඇයගේ ගුණසුවඳ සදා මතකයේ රුඳෙනු ඇත.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
සේයාරුව I දයාන් විතාරණ