පසුගියදා අහවර වුණු ''ජනප්‍රිය සම්මාන'' උළෙල පිළිබඳ වූ අපූරු කතා රැසක් මේ දිනවල සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා. ඒ නිසාම මේ සම්බන්ධව විචාරාත්මක අදහසක් ඔබ හමුවේ තබන්නට අපි අදහස් කළා.
සම්මානයක් කියන්නේ කාගේත් ජීවිතයට ලැබෙන වැදගත් ඇගයීමක්. ඒ වාගේම හොඳ අභිප්‍රේරණයක්. ලැබුණු සම්මාන හෝ ලැබෙන්නට ඇති සම්මාන පිළිබඳව කිසිදු ද්වේශ සහගත අදහසක් අප තුළ නෑ. නමුත් මෙහි යථාර්ථය පිළිබඳ පැහැදිලි කිරීමක් අප සතු වෙනවා.
සම්මානයක් ප්‍රදානයේදී සාධාරණීය බවක් සහ අර්ථවත් බවක් ඊට ලබාදීම සම්මාන ප්‍රදානය කරන්නාගේ යුතුකමක්. පසුගියදා නිමාවට පත්වුණු ''ජනප්‍රිය සම්මාන" උළෙලේ ගොඩක් ඇගයීම් සිද්ධ වුණේ සමාජ මාධ්‍ය විෂය පදනම් කරගෙන. එතැනදී සම්මාන ප්‍රදානය අර්ථවත් බව පිළිබඳව වගේ සාධාරණත්වය පිළිබඳවත් ගැටලු මතුවුණා. ඒ ගැටලුම තමා සමාජ මාධ්‍ය තුළ ඇතිවුණු කතාබහට නිමිත්ත වෙලා තිබුණෙ.
ශ්‍රී ලංකාවේ මාධ්‍යකරණයේ නව ධාරාවක් විදිහට ඉදිරියට එන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඇගයීම ගොඩක් හොඳ දෙයක්. නමුත් සමාජ මාධ්‍ය පිළිබඳ අගය කිරීම සිද්ධ වෙන්න ඕන''ජනප්‍රිය'' කියන ධාරාව ඔස්සේද? කියන එක ඇත්තටම ප්‍රශ්නයක්.
සමාජ මාධ්‍ය පදනම් වෙලා තියෙන්නෙම ජනප්‍රියත්වය සහ ප්‍රසිද්ධිය කියන කාරණා ද්විත්වය මත. ඒ නිසා සමාජ මාධ්‍ය ඇතුළේම එහි ක්‍රියාකාරිකයන්ට තමන්ගේ විෂයන් ඇතුළේ ප්‍රේක්ෂක, රසික ඇගයීම් විවේචන ලැබෙනවා. ඒ නිසා තුන්වැනි පාර්ශ්වයක් විසින් සමාජ මාධ්‍යයේ ජනප්‍රියත්වය කිරා බැලීම කොතරම් ප්‍රායෝගිකද කියන එක ගැටලුවක්.
ජනප්‍රියත්වය සහ ප්‍රසිද්ධිය කියන්නෙ එකිනෙකට වෙනස් කාරණා ද්විත්වයක්. ජනතාව කිසිසේත් ප්‍රිය නොකරන කෙනෙක් සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. එවන් කෙනෙකුගේ ප්‍රසිද්ධියේ මත පදනම් වෙලා ''ජනප්‍රියම'' කියන සම්මානය ඔහුට හෝ ඇයට ලබාදීම කොතරම් සාධාරණ දෙයක්ද කියන එක ප්‍රශ්නයක්.
සමාජ මාධ්‍ය අවකාශයේ ජනප්‍රියත්වය තෙවැනි පාර්ශ්වයක් විසින් උරගා බැලීම ප්‍රායෝගික නැතිබව ඉතාම පැහැදිලියි. නමුත් දියුණු විශ්ලේෂණ යාන්ත්‍රණ භාවිත කරලා සමාජ මාධ්‍ය ප්‍රසිද්ධිය පිළිබඳව අදහසක් ලබාගන්න අපිට හැකියාවක් තිබෙනවා. හැබැයි ඒ සඳහා වුණත් එස්.එම්.එස්. මනාප මගේ නොදියුණු ක්‍රම භාවිතාව සුදුසු නැහැ. ඒ සඳහා දියුණු ක්‍රමවේදයක් භාවිතා කරන්න ඕනෑ. ඒත් එතැනදි ඔප්පු වෙන්නේ ප්‍රසිද්ධිය මිසක් ජනප්‍රියත්වය නෙවෙයි.
සිනමාවට, රූපවාහිනියට, ගුවන් විදුලියට ජනප්‍රියම සම්මාන ලබාදෙනවා අපි දැකලා තිබෙනවා. ඒ තුළත් යම් ගැටලුකාරී බවක් තියෙන්න පුළුවන්. නමුත් එම ක්ෂේත්‍රයන් විෂයේ ජනප්‍රියත්වය පොදුවේ ප්‍රදර්ශනය වන දෙයක් නෙවෙයි. යම් විමසා බැලීමක් කර දැනගත යුතු දෙයක්. ඒ නිසාම යම් දියුණු ක්‍රමවේද උපයෝගී කරගෙන සිනමාව, රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත් ආදී ක්ෂේත්‍රවල ජනප්‍රියත්වය පිළිබඳ ඇගයීමක් සිදුකළ හැකියි.
ඒත් සමාජ මාධ්‍ය තුළ එවන් ඇගයීමක් සිදුකිරීම පහසු නැහැ. පෙර කීවා වගේම ප්‍රායෝගිකත් නැහැ. එවැන්නක් සිදු කිරීමට උත්සාහ කිරීම තුළ සිදුවන්නේ සමාජ මාධ්‍ය චරිත එකිනෙකා පිළිබඳ ද්වේෂ සහගතව කටයුතු කිරීමට පෙළඹීම. පසුගියදා පැවති ජනප්‍රිය සම්මාන උළෙලෙන් පසුව අපිට පැහැදිලිවම එම තත්ත්වය නිරීක්ෂණය වුණා.
ඉදිරියේදීත් මෙම මොඩලයම භාවිත කළොත් තත්ත්වය තවත් සංකීර්ණ වීමේ අවදානමක් තිබෙනවා. සමාජ මාධ්‍යය කියලා කියන්නේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවලට සාපේක්ෂව වර්තමානයේ ප්‍රබල තැනක තිබෙන මාධ්‍යයක්. එහි අභ්‍යන්තරයේ ඇතිවන ගැටුම් හුදු විනෝදය සපයනවා සේම, ජන ජීවිතයටත් බලපෑම් එල්ල කරනවා.
සම්මානයක් ලබපු කෙනෙක් මේ අදහස පිළිබඳව විවේචනාත්මකව හිතන්න පුළුවන්. නමුත් ඔබ අතට පත්වන සම්මානය වටා තිබෙන යථාර්ථය ඔබ අවබෝධ කරගත යුතු වෙනවා. ඊට පසුව ඔබට පුළුවන් කැමති නම්, මෙහෙම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. සමාජ මාධ්‍ය මාධ්‍යයේ වෙහෙස වී වැඩකරන මිනිසුන් අගය කළ යුතු නැතිද?
ඇත්තෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කියන්නේ අගය කිරීමට ලක් වියයුතු චරිත. විශාල සමාජ බලපෑමක් සිදුකරන චරිත. ඔවුන්ව අගය කිරීමේ කිසිදු වරදක් නැහැ. නමුත් අගය කිරීම් සිදුවෙන්න ඕනෑ ''ජනප්‍රියත්වය'' කියන සාධකය මත පිහිටා නෙවෙයි. ''කැපවීම'', ''සමාජ බලපෑම'', ''ගුණාත්මකභාවය'' වගේ කරුණු පදනම් කරගෙන. එවන් අගය කිරීමකදී ඇත්තෙන්ම මෙවන් විවේචනය හෝ අභ්‍යන්තර ගැටුම් නිර්මාණය වෙන්නෙ නැහැ.
පොදුවේ ඕනෑම සම්මාන උළෙලක් පිළිබඳ යම් නියාමනයක් තිබිය යුතු බව අපි විශ්වාස කරනවා. මක්නිසාදයත් මෙවන් සම්මාන උළෙලවල් හරහා සිදුවන්නේ ඒවා පවත්වන්නට යෙදෙන ''වෙළඳ සන්නාම'' අරමුණු සාක්ෂාත් වීම පමණයි. සමාජ මාධ්‍ය වගේ විෂයක් තෝරා ගැනීම හරහා එය තවත් හොඳින් ඉටු කරගන්න ඔවුන්ට හැකි වෙනවා.
සියල්ල සද්භාවයෙන් වාණිජ අරමුණුවලින් තොරව සිදුකළ යුතුයි කියලා අපි සඳහන් කරන්නේ නැහැ. නමුත් මිනිසුන්ගේ භාවිතාවන් පිළිබඳ නිගමන ලබාදීම සෑමවිටම සාධාරණ ප්‍රවේශයකින් සිදුවිය යුතුයි. නැතිනම් සම්මාන කඩ දැමීමට කූඨ ව්‍යාපාරිකයන්ට හැකිවෙනවා. මේ මොහොතේ සිදුවෙමින් පවතින්නේ ඒක. මෙම තත්ත්වය ඕනෑම ක්ෂේත්‍රයකට සිදුවන්නේ අනර්ථයක්. සමාජ මාධ්‍යයටත් එය පොදුයි.
ඇගයීමට ලක් විය යුත්තන් අගය කරන විටදී යම් ක්ෂේත්‍රයක් දියුණුවෙන් දියුණුවට පත් වෙනවා. ඒ වගේම අගය කළ යුත්තන් පසෙක තබා වෙනත් අය අගය කිරීම තුළින් එම ක්ෂේත්‍රය පසුගාමී වෙනවා. පසුගියදා ආරම්භ වුණ ''සමාජ මාධ්‍ය ජනප්‍රිය සම්මාන'' රැල්ලේ ප්‍රතිඵලයත් එවැන්නක් විය හැකියි.
I චමිඳු නිසල්