2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා

සිංහල සිනමාවේ ලේ නහරවල දමිළ සුවඳත් දැනෙනවා! - කිංග් රත්නම්

 2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා, ප.ව. 02:01 100

සංස්කරණ විරහිත වූ සියල්ල කොතෙක් නම් චමත්කාරදැයි සිතෙන්නේ සොබාදහමේ පිටු එකින් එක කියවද්දීය. මලක් දරා සිටින නටුවක් නොවෙන්නට ගසක් මලින් සරසන්නට මලකට පුළුවන්ද? මොහොතක් නැවතී මම සිතමි. මේ ලෝකයේ හුදෙකලාව පවතින කිසිවක් හෝ ඇත්දැයි මම මොහොතකට සිතමි. සියල්ල තවත් කවරක් හෝ සමඟ බැඳී යාවී මුහුවී ඇතැයි මට සිතෙයි. කවර පොළොවක පැළ වුණත් පැළවෙන පොළොව කොතෙක් නිස්සාර වුවත් ඒ නිස්සාර පොළොව සරුසාර කෙම් බිමක් බවට පරිවර්තනය කර ගන්නට පාර කියන්නේ නිර්මාණශීලී චින්තනයයි. එක් වරක් වැටෙන විට සිය දහස් වාරයක් නැගී හිඳින්නට ශක්තියේ ළදලු ක්ෂණයක් ක්ෂණයක් පාසා පපුව ගැඹුරේ දලුලන මිනිසුන් තමන් පැළවෙන පොළොව සාරෙට අස්වද්දාගෙන නිර්මාණය කර ගන්නා සාර භූමිය සාර භූමියක් වන්නේ වරෙක මුළු මහත් විශ්වයටමය. මුරලි යනු වරෙක මලකි. වරෙක ගලකි. සාර මහ පොළොවකි. මුරලිගේ ජීවිතයේ පරිච්ඡේද 800 නමින් ඉන්දියානු සිනමා වියමනකට පෙරළෙද්දී එහි තවත් කතා නොකර සිටින්නට නොහැකි චරිතයක් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන අර්ජුන රණතුංගගේ චරිතයයි. අර්ජුනගේ චරිතය හා ආත්මීය ආලයකින් හුස්මක් ගත්තේ ලාංකික සිනමාවේ සුන්දරම භූමිකාවක් සහ සුන්දරම අනාගත බලාපොරොත්තුවක් ලෙස හඳුන්වා දිය හැකි කිංග් රත්නම්ය. 

Q අර්ජුන රණතුංග තරම් 800 චිත්‍රපටයේ කිංග්ගේ රංගනය ගැන ඇගයීමක් දෙන්න ප්‍රබල කෙනෙක් මම හිතන්නෙ තවත් නෑ, 800 තුළ ඔබ කොතෙක් ඔහුම වී ජීවත් වුණාදැයි ඔහුට දැනී තිබුණෙ කොහොමද?

අර්ජුන අයියා චිත්‍රපටය බලලා ඉවරවෙලා කියලා තිබුණා මගේ රංගනය ගැන එයා තෘප්තිමත්. එයාව තෘප්තිමත්භාවයට පත් කරන්න අර්ජුනගේ චරිතයේ රඟපෑම ප්‍රබල වුණා කියලා දැනෙන එක මට පුදුමාකාරම තෘප්තියක්. 

Q සැබැවින්ම රංගනය යනු කැමරාවක් ඉදිරියේ දෙබස් කීම හෝ හැසිරීම නෙවෙයි. එය ඊට වඩා ආධ්‍යාත්මික සහ මානසික බැඳීමකින් තමන් තමන්ව හැරදා තවත් චරිතයක් තමන් තුළට ආරෑඪ කර ගැනීමක්. ඒ මගේ නිර්වචනයයි. ඔබ රංගනය නිර්වචනය කරන්නෙ කොහොමද?

ඔව්... රංගනය කියන්නෙ හරිම ගැඹුරු සංසිද්ධියක්. මානසිකව ඒ චරිතය හා ජීවත් වෙමින් තමන් තමන් නොවී තව කෙනකු වීම සරල දෙයක් නෙවෙයි. ඒ ආධ්‍යාත්මික පිළිබිඹුව ප්‍රායෝගික තලයකට ගෙන එමින් කැඩපතකින් වගේ රංගනය පෙන්වන්නෙ අපේ මුහුණ, අභිනයන්, ඉරියව්, අංගචලන, ශරීර භාෂාව විසින්. ඇත්තටම රංගනය කියන්නෙ හරිම ඉසියුම් භාවනාමය කලාවක්. හදිසි කලබලකාරී මානසිකත්වයකින් ඉටුකළ හැකි මූලධර්ම නෙවෙයි රංගනයක් ඇතුළෙ තියෙන්නෙ. 

Q ඔබ හුදෙක් නළුවෙක්ගෙ භූමිකාවට පමණක් සීමා වූ කෙනෙක් නෙවෙයි. තිර රචකයෙක්, චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, නිවේදකයෙක්, අධ්‍යක්ෂකවරයෙක්, මේ ආදී විවිධ දිශානතීන් තුළ ඔබේ ගමන විහිදෙනවා. එහෙත් රංගනය තුළ ගමන කිංග් රත්නම් වඩාත්ම දන්න චරිතයක් බවට පත් කළා කියලා මට හිතෙනවා කිව්වොත් ඔබ දෙන උත්තරය මොකක්ද?

ඔව්. ඒ හැම භූමිකාවක් තුළම මගේ ජීවිතයේ විවිධ අත්දැකීම් මම ලැබුවා. එහෙත් රංගනය, විශේෂයෙන් සිනමාව කියන්නෙ මිනිසුන්ගේ හදවතේ ඉඩක් වෙන්කර ගන්න පුළුවන් තැනක්. එහෙත් ප්‍රේක්ෂකයන් තමන්ගෙ හදවතේ ඉඩක් වෙන් කරන්නෙ එයාලට දැනෙනවා නම් විතරයි. දැනෙන්න චරිත ඇතුළෙ ජීවත් වෙන්න බැරි නම් මට හිතෙන්නෙ නළුවෙක් අසාර්ථකයි. රඟපාන වෙලාවට කිංග් රත්නම් මතක් නොවී චරිතය ඇතුළෙ ඉන්න කෙනා විතරක් ප්‍රේක්ෂකයාට මතක් වෙනවා නම් මම සාර්ථකයි. නළුවා හෝ නිළිය සර්ව සම්පූර්ණයෙන්ම ඒ චරිතය ප්‍රාණසම ආදරයකින් තමන් තුළ ජීවත් කරවන්න පටන් ගතයුතුයි. ඉතින් නළු භූමිකාව කියන්නෙ හරිම ආස්වාදනීය තැනක්. ලෝකය සහ මිනිස්සුන්ගෙ විවිධ මනෝභාවයන් අත්දැකීම් කියවන්න පුළුවන් තැනක්. කෝමලි කිංග්ස් කියන දමිළ චිත්‍රපටය හරහා වරෙක මම අධ්‍යක්ෂකවරයෙක්ගෙ භූමිකාවට එද්දි ඒ ලබපු අත්දැකීම් ප්‍රශංසනීයයි. ඒත් ඇගේ ඇස අග, ඉනිඅවන්, ප්‍රාණ වැනි සිනමාපට ඔස්සේ මා තැබූ හැඩය, මගේ වර්ණය අනෙක් හැම භූමිකාවටම වැඩිය මිනිස්සුන්ට දැනුණා කියලා මටත් හිතෙනවා 

Q කිංග්ට අර්ජුන වෙන්න ලැබුණු ආරාධනය පිළිගත්තෙ කොහොම හැඟීමකින්ද?

800 චිත්‍රපටයේ රංගනය සඳහා කෙනෙක් හොයද්දි මනෝ කියන කාස්ටින් ඩිරෙක්ටර් තමයි මගේ පින්තූරයක් යවලා තියෙන්නේ. මගේ රැවුල සම්පූර්ණයෙන්ම කපලා අර්ජුන රණතුංගගේ රෑපයට මගේ පෙනුම සමාන වෙනවද කියලා බලලා මුරලි අධ්‍යක්ෂණය කළ ශ්‍රීපති ඇතුළු සිනමා කණ්ඩායම ඔයා තමයි මේකට හරියන්නෙ කියලා මට කතා කළා. 

Q අර්ජුන ලෙසින් අර්ජුන තුළ ජීවත් වෙන්න කොහොම හැදෑරීමක්ද? කොහොම අධ්‍යයනයක්ද? කොහොම ගවේෂණයක්ද? ඔබ කළේ?

කිසිම චරිතයක් ගැන අධ්‍යයනයක් ගවේෂණයක් නැතුව මම කවදාවත් කැමරාව ඉස්සරහට යන්නෙ නෑ. නළුවෙක් නිළියක් එහෙම යනවා නම් මම දකින්නෙ ඒක ඒ නිර්මාණයට කරන අසාධාරණයක් කියලා. මම මට මේ චරිතය ලැබුණු මොහොතේ පටන් අර්ජුන රණතුංගගේ ඉතා සියුම් ඉරියව්වක් පවා අධ්‍යයනය කළා. කණ්ණාඩිය ඉදිරියට ගිහින් මම තනියෙන් පුහුණු වුණා. ඒ විදිහට ඇවිද්දා. මූණෙ ඉරියව් පුහුණු වුණා. මට මා ගැන තෘප්තියක් ලැබෙන තුරු මම තනියෙන් අර්ජුන රණතුංග සොයාගෙන ගියා කිව්වොත් නිවැරදියි. 

Q ලෝකයක් දන්න මනුස්සයෙක්, චරිතයක් ඔබට භාරවෙච්ච මොහොතේ තිගැස්මක් දැනුණද මොහොතකට හරි?

ඔව්. හදවතටම ඒ තිගැස්ම දැනුණා. මොහොතකට ගල් ගැහුණා. මොකද ජීවතුන් අතර ඉන්න කෙනෙක්ගෙ, රටක් නෙවෙයි ලෝකයක්ම දන්න කෙනෙක්ගෙ චරිතයක් නිරෑපණය කරන එක සරල කාරණයක් නෙවෙයි. එය ගැඹුරු සංකීර්ණ කාර්යයක්. ඒත් මම හරි ආසාවෙන් ඒ අභියෝගය බාරගත්තා. මම හිතන්නෙ මම අවුරුදු දෙකක් විතර අර්ජුන අධ්‍යයනය කරමින් අර්ජුන වෙනුවෙන් ලෑස්ති වුණා. විජය සේතුපති බලපෑම් දරාගන්න බැරුව ඉවත් වෙද්දි චිත්‍රපටයේ වැඩ කටයුතු කරයිද කියන සැකය ආපු කාලයක් තිබුණා. හැබැයි මේ සියල්ල මධ්‍යයේ මම අර්ජුනව සොයා යාම නතර කළේ නෑ. අර්ජුන රණතුංගගේ සම්මුඛ සාකච්ඡා, පුවත්පත් ලිපි පවා මම බැලුවා. අර්ජුන අයියගෙ ශරීරයේ රිද්මය මම අල්ලගන්න හුඟක් මහන්සි වුණා. මම හිතන්නෙ මුරලි බෝලෙ දමලා ගහනවා කියලා චෝදනාව ආපු වෙලාවෙ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා විදිහට අර්ජුන හැසිරුණු වීඩියෝව මම සිය වතාවක් විතර බැලුවා.

Q ඔබ තුළින් අර්ජුන ගොඩනගද්දි ඔබ මුහුණ දුන්න අසීරුම අත්දැකීම මොකක්ද?

රැවුල කියන්නෙ මගේ අනන්‍යතාවක්. මට පුරුදුම දෙයක්. මට රැවුල නැතුව මාස හතරක් විතර ඉන්න වුණා. මට අමාරුම වුණේ රැවුල නැතුව ඉන්න එක.

Q 800න් පසු හිතට වඩාත් සංවේදීව දැනුණු ප්‍රතිචාර මොනවාද?

දකුණු ඉන්දියාවෙන් ලැබුණු ප්‍රතිචාර හුඟක් විශේෂයි. ඇත්තටම ලෝකෙ හුඟක් රටවල ප්‍රේක්ෂකයො අර්ජුන රණතුංගගේ චරිතය කරපු නළුවා කවුද කියන එක හොයලා තිබ්බා. ඒ ප්‍රතිචාර හරි සංවේදීයි.

Q 800 ඔබට සතුටක් දනවන්න විශේෂම හේතුව වෙන්නෙ මොකක්ද?

මුත්තයියා මුරලිදරන් කියන්නෙ ක්‍රිකට් ඉතිහාසයට ලෝක වාර්තාවක් එක් කරපු ලංකාවෙ නම ලෝකයට අරන් ගිය ලංකාවෙ මහ පොළොව උපද්දවපු සම්පතක්. එහෙම ක්‍රීඩකයෙක්ගෙ ජීවිත කතාව අළලා කරපු චිත්‍රපටයක ලෝකයේ තවත් විශිෂ්ටතම ක්‍රිකට් නායකයකුගෙ චරිතය තුළ ජීවත් වෙන්න මට ලැබීම මොන තරම් සතුටක්ද?

Q ක්‍රිකට් කියන්නෙ ඔබේ ප්‍රියතාවයක්ද?

ක්‍රිකට් පිස්සෙක් වෙන තරමට මම ක්‍රිකට්වලට ආසයි. ලංකාව ලෝක කුසලානය දිනපු දවසෙ සතුට වැඩිකමට අඬපු එකෙක් මම. 

Q ඒ ක්‍රිකට් පිස්සගෙ ඉස්කෝලෙ ජීවිතේ ඒ ක්‍රිකට් පිස්සා ක්‍රිකටර් කෙනෙක් වෙච්ච කාලෙකුත් තිබුණද?

නැහැ. 

Q නැහැ කියන උත්තරය දෙන්න හේතුව වෙච්ච කතාන්දරයක් තියෙනවද?

ඔව්. කතාන්දරයක් තියෙනවා. මම පොහොසත් පවුලක දරුවෙක් නෙවෙයි. එක පැත්තකින් ක්‍රිකට් කියන්නෙ පොහොසතුන්ගෙ ක්‍රීඩාවක්ද කියලත් හිතෙනවා. මගේ අම්මට තාත්තට මාව ක්‍රිකට් සෙල්ලම් කරන්න යවන්න තරම් ආර්ථික තත්ත්වයක් තිබුණෙ නෑ. හැබැයි ජීවිතේ ආසාවන් ලේසියෙන් අත්හරින කෙනෙක් නෙවෙයි මම. ඒ හින්දා එංගලන්තයේ සහ නෝර්වේ ජීවත් වෙච්ච කාලෙ මම ක්ලබ්වල සෙල්ලම් කළා. 

Q ලාංකික සිනමාව තුළ දමිළ සිනමාවක් ගොඩනොනැගීමේ හේතුව සහ ගොඩනැගීමේ අවශ්‍යතාවය ඔබ දකින්නෙ කොහොමද? ලාංකික සිනමාව ගැන කතා කරද්දි මුත්තුසාමි, රොක්සාමි වැනි අමතක කරන්න බැරි සංගීතඥයන් අපට හමුවෙනවා?

දමිළ සිනමාවක් ගොඩනොනැගීමේ හේතුව වෙනමම මාතෘකාවක් විදිහට කතා කරන්න පුළුවන්. මූලිකම හේතුව තමයි එහි අවශ්‍යතාවය හදවතින්ම හඳුනා නොගත් පිරිසක් සිටීම සහ හඳුනාගත් පිරිසට ඒ ගොඩනැගීමට අවශ්‍ය සාධනීය පසුබිමක් නොතිබීම. එහෙත් ඇත්තටම ලාංකික සිනමාව තුළ දමිළ සිනමාවක් ගොඩනැගීම ලාංකික සිනමාව කර්මාන්තයක් ලෙස ශක්තිමත්ව ගොඩනගන්නත් හොඳ උත්තේජනයක් වෙයි. රටක දේශපාලනයට විසඳන්න බැරි ප්‍රශ්න කලාවට සහ සිනමාව වැනි ප්‍රබල මාධ්‍යයකට විසඳන්න පුළුවන් තැන් තියෙනවා. ඒ මාධ්‍ය ඔස්සේ සූක්ෂම ලෙස ජන විඥානයට ආමන්ත්‍රණය කරන්න පුළුවන් නම් දමිළ සිනමාවක් තිබුණා නම් ඒ සිනමාව මේ රටේ යුද්ධය ඇතිවුණු මොහොතේත් ජන මනස නිවැරදි කරන්න පාවිච්චි කරන්න තිබුණා. හේතු බොහොමයක් මත මේ ආකාරයෙන් ඒ සිනමාවේ අවශ්‍යතාවය තියෙනවා. මුත්තුසාමි, රොක්සාමි වැනි සංගීතඥයන් සිංහල සිනමාවට ලබා දුන්න දායකත්වය සිහිපත් කරද්දි සිංහල සිනමාවේ ලේ නහරවල ඒ දමිළ සුවඳත් හදවතටම දැනෙනවා. 

Q දමිළ සිනමාවක් වෙනුවෙන් කිංග් රත්නම් ඔබේ මෙහෙවර මම දකින්නෙ ඔබේ වගකීමක් විදිහටයි?

අනිවාර්යයෙන් මම ඒක මගේ වගකීමක් වගේම කැමැත්තක් විදිහටත් බාරගන්නවා. මම කලාකරුවන්ට සිනමාවට නිර්මාණවලට පුදුම ගෞරවයක් දක්වන කෙනෙක්. මම හිතන්නෙ දමිළ අපේ ජානවලින්ම ඒ හැඟීම් සහ රංගනය සංගීතය කෙරේ තියෙන ආශාව මුහුවෙලා මතුවෙලා එනවා කියලා. ඔබ කියූ මෙහෙවර සහ වගකීම වෙනුවෙන් මම හදවතින්ම බැඳුණු සහ කැපවුණු කෙනෙක්.

I සංජීවිකා
සේයාරූ I සුමුදු හේවාපතිරණ