2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා

හෝ ගාලා සල්ලි මවන යන්තරේ ක්‍රිකට්

 2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 51

මේ දවස්වල Sports ගැන ලොකුවට කතා කරනවනේ මචෝ. ඔන්න ඒ නිසාම Sports and Social Media කියන Subject එක ඇතුළෙ තියෙන Y Trend ටිකක් පොදුවේ අපි කතා කරන්න හිතුවා. ඒ වගේම අපේ සුදාලගේ දැනගැනීම වෙනුවෙන් මේ සීන් එක චුට්ටක් ඩීප් කතා කරන එක Y Trend අපේ යුතුකමක්.

ලංකාවේ Cricket ඇතුළු Sports වලට Social Media එක හරහා කොච්චර ලොකු බලපෑමක් සිද්ධ වුණාද කියන එක වස්තුලා දන්නවා. ක්‍රීඩකයෝ එළියට යන්න, ඇතුළට එන්න, කණ්ඩායම් හදන්න, ක්‍රීඩා පාලකයෝ මාරු කරන්න පවා Social Media හේතු වුණා. මේ හැම දේකටම හේතු වුණේ ඒ ඒ අවස්ථාවල Social Media ඇතුළෙ නිර්මාණය වුණු Trends.

ලංකාවේ තත්ත්වය පැත්තකින් තියලා කතා කළොත් ලෝකේ පුරා Football ඇතුළු ජනප්‍රිය Sports වලට Social Media වල බලපෑමක් තියෙනවා. 

සුදාලා දන්නවද මීට කාලෙකට කලින් අපි ජීවත් වුණේ තුන්වැනි පාර්ශ්වයක් බලවත් වුණු ලෝකයක. දැන් ඒක ද්වීපාර්ශ්වික ලෝකයක් වෙමින් තියෙන්නෙ. ඒක සිද්ධ වෙන්නේ Social Media නිසා. සරලව කිව්වොත් ඉස්සර ක්‍රීඩාව සහ රසිකයා අතර හිටියා බලවත් සාම්ප්‍රදායික මාධ්‍ය කියලා චරිතයක්. එයා හරහා තමයි ක්‍රීඩක රසික සම්බන්ධය ගොඩනැගුණේ.

ඒත් මචෝ Social Media ආගමනයත් එක්ක දැන් අපි ජීවත් වෙන්නේ ක්‍රීඩකයන් සහ ෆෑන්ස්ලා අතර ප්‍රවෘත්ති තොරතුරු පණිවුඩ ඍජුව සංසරණය වන වෙනස් ඩිජිටල් ලෝකයක. තරගයකට පස්සේ හොඳ හෝ නරක ප්‍රතිචාර ෆෑන්ස්ලා Social Media ඇතුළේ සෘජුවම පළ කරනවා.

මේ නිසා ක්‍රීඩකයන්ට වගේම ක්‍රීඩා කළමනාකාරීත්වයටත් දරාගන්න බැරි අවස්ථා නිර්මාණය වෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තමයි ඒකට හොදම උදාහරණය. පහුගිය දවස්වල සිද්ධ වුණු සීන් කෝන් අපි කියන මේ දේවල් එක්ක ගලපලා බලන්න. 
හැබැයි වස්තු මේකත් මතක තියාගන්න. මේ සීන් කෝන් එක ලංකාවේ විතරක් වෙච්ච සිද්ධියක් නෙවෙයි. ඉතාම ප්‍රබල Fan base ක්‍රීඩා කණ්ඩායම් රැසක් මේ වගේ තත්ත්වයන්ට මුහුණ දීලා තියෙනවා. ඒ නිසාම සමාජ මාධ්‍ය සම්බන්ධව කටයුතු කිරීම ක්‍රීඩාවට සම්බන්ධ වෙනම විෂයක් විදිහට දැන් develop වෙන ගමන් තියෙන්නේ.

කොහොම නමුත් අනිත් පැත්තෙන් ක්‍රීඩකයන් සහ ක්‍රීඩා කණ්ඩායම් සමාජ මාධ්‍ය වේදිකාව තමන්ගේ ජනප්‍රියත්වය වෙනුවෙන් භාවිත කරනවා. මොකද මචෝ ජනප්‍රියත්වයට තමයි ක්‍රීඩාවේදී වෙළෙඳ වටිනාකමක් ලැබෙන්නෙ. ඒ වටිනාකම රඳවාගන්න නම් Social Media අත්‍යවශ්‍ය සංකල්පයක්. ඉතින් මෑත කාලීනව ලෝකය තුළ දැවැන්ත ක්‍රීඩා ආර්ථිකයක් හැදෙන්නත් Social Media හේතු වුණු බව පැහැදිලියි.
උදාහරණයක් විදිහට ලෝකේ සමාජ මාධ්‍යයේ ජනප්‍රියම තරු දෙක වෙන ක්‍රීඩකයෝ දෙන්නගේ Instagram වල Cristiano Ronaldo ට මිලියන 611 ක් සහ Lionel Messi ට මිලියන 491 ක් Followers ලා ඉන්නවා. සියලුම සිනමා නළුවෝ, ගායක ගායිකාවෝ, නිරෑපණ ශිල්පීන් ඉන්නේ ඊට පහළින්.

අන්තර්ජාල තොරතුරු අනුව රොනාල්ඩෝ ඉන්ස්ටග්‍රෑම් පෝස්ට් එකකින් ඩොලර් මිලියන 3.23 ක් උපයනවා මචෝ. ලයනල් මෙසීත් ඉන්ස්ටග්‍රෑම් පෝස්ට් එකකින් ඩොලර් මිලියන 2.6 ක් උපයනවා. ඊට පහළින් ඉන්න සෙලීනා ගෝමස්, කයිලි ජෙනර් අයට මේ ගාණට ළංවෙන්නවත් බැහැ. මෙතැන තියෙන ආර්ථික වටිනාකම තේරුම් ගන්න මේ කෑල්ල විතරක් ඇති වස්තු.

මේ වගේ ක්‍රීඩකයන් සහ ක්‍රීඩා කණ්ඩායම් නිසා සමාජ මාධ්‍ය කළමනාකරුවන්ට ලොකු රැකියා ප්‍රාණයක් ලැබිලා තියෙනවා. ඒ වගේම අලෙවිකරණය සම්බන්ධ අලුත් න්‍යායන් එහෙමත් නිර්මාණය වෙලා තියෙනවා. හිතාගන්න බැරි වෙළෙඳපොළක් Social Media and Sports කියන සීන් එක ඇතුළෙ තියෙනවා. ඒ නිසාම අපි නොහිතන දේවලුත් මේක ඇතුළෙ සිද්ධ වෙනවා.

ඒත් මුලදී සමාජ මාධ්‍ය Power එක තමන්ගේ වාණිජ අවශ්‍යතා වෙනුවෙන් යොදාගත්ත ක්‍රීඩකයෝ සහ ක්‍රීඩා කණ්ඩායම්, පසු කාලීනව තමා ක්‍රීඩාව සම්බන්ධ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙනුත් ඒ Power එක භාවිත කරන්න පටන් ගත්තා. ඒත් එක්කම තමයි සුදෝ මේ සීන් ඒකේ ලොකු ලොකු අවුල් වියවුල් නිර්මාණය වුණේ. ජනප්‍රිය ක්‍රීඩකයෙක් කියන්නේ විශාල සමාජ බලපෑමක් කරන්න පුළුවන් පුද්ගලයෙක්.

තවත් පැත්තකින් Social Media ඇතුළේ Like, Comment හරහා ලැබෙන ජනප්‍රියත්වය මුදල් කරන්න පුළුවන්. බැලූ බැල්මට තුන්වැනි පාර්ශ්වයක් නැතත් ක්‍රීඩාව සම්බන්ධ අධි ක්‍රියාකාරීන් පිරිසක් දැන් Social Media වල ඉන්නවා. ඒ අය තනි තනිව වගේම ආයතන විදිහටත් කටයුතු කරන්න පටන් අරගෙන. මොකද මේක සල්ලි උල්පතක්.

ලංකාවේ උදාහරණයක් තමයි Facebook Page. මේවා හරහා ක්‍රීඩාව ගැන කතා කරනවා. ක්‍රීඩකයන්ට හොඳ කියනවා, බණිනවා. Trend හදනවා. හැබැයි මේ හැම දෙයක් එක්කම මෙයාලට මුදල් උපයන මාර්ග විවෘත වෙනවා. මුලදී සිද්ධ වෙන්නේ ගලා යන වතුර පහරකින් දිය දෝතක් බොනවා වගේ වැඩක් මචෝ.

ඒත් කාලයක් යද්දි මෙයාලා වැඩ කරන්නේ ක්‍රීඩාව වෙනුවෙන් නෙවෙයි මුදල් වෙනුවෙන්. ක්‍රීඩකයාට, ක්‍රීඩාවට මොනවා වුණත් ප්‍රසිද්ධ කර ගන්න පුළුවන් ඕන කුණු ගොඩක් මේ අය භාවිත කරනවා. ක්‍රීඩකයන්ගේ පවා මුදල් ලබාගන්නා අවස්ථා තියෙනවා. ගොඩක් අයගේ ප්ලෑන්වලට මෙයාලා උදව් කරනවා. ඇත්තටම මෙතැන තියෙන්නේ අපේ සුදාලා නොදකින සීන් එකක්.

ඔන්න මචෝ අද කතාව ටිකක් වෙනස්. ඒත් මේ දවස්වල Y Trend එකෙන් මේ සීන් එක පැහැදිලි නොකර ඉන්න අපිට බෑ. දුකට දාන ක්‍රිකට් පෝස්ට් පවා මේ වගේ වැඩ වෙනුවෙන් භාවිත වෙන්න පුළුවන්. මේ තත්ත්වයන් නිසි ලෙස කළමනාකරණය නොවුණොත් ක්‍රීඩාවට පවා විශාල හානියක් වෙන්න බැරි නෑ. පිටත ලෝකය පාලනය කරන්න බැරි නම් අඩු ගාණේ ක්‍රීඩකයන් සහ ක්‍රීඩා කණ්ඩායම් කළ යුත්තේ ඇතුළතින් පාලනය වීම.

I චමිඳු නිසල්