පහුගිය දවස්වල අපි කිව්වා අපේ හැරී කරපු අමුතු වැඩ ගැන. ඔන්න මේ පාර එංගලන්තෙ ඉඳන් ලංකාවට ආපු හැරී කසිප්පු පාටියකට සම්බන්ධ වෙලා. ලංකාවේ වැවක මිරිදිය ධීවරයෝ වගයක් හම්බවෙලා හැරියා කතා කර කර ඉන්නවා. ප්‍රශ්න කිහිපයක්ම අහලා අන්තිමට මෙහෙම අහනවා.
“අවසාන ප්‍රශ්නය, මට කසිප්පු පොඩ්ඩක් ගන්න බැරිද?"
ඔන්න අපේ අයියලා සුද්දගෙ ආසාව ඉෂ්ඨ කරන්න පිළිවෙතින් පෙළගැසුණා. වැඩේ කරලා දෙන්න පොරොන්දු වුණා.
ඒත් මුලින්ම කට්ටියත් එක්ක වැවේ ගිහිල්ලා මාළු ඇල්ලුවා. හැරී සබරගමුවේ ගිහිල්ලා වැඩේට හොඳ සහයෝගයක් දුන්නා.
ඔරුවලින් වැවේ ගිහිල්ලා මාළු අල්ලන් මෙයාලා එනකොට මෙන්න කසිප්පු බෑග් ඉවුර ගාවට ඇවිල්ලා.
“මම යන්න ඉස්සෙල්ලා ඉල්ලපු කසිප්පු. මෙන්න ඌබර් ඩිලිවරි කරලා."
හැරී හිනා වෙවී කිව්වේ එහෙම. බෑග් එක කඩලා බෝතලේකට කසිප්පු දලා හැරීට දුන්නා. අපේ අයියා කෙනෙක් බෑග් එකෙන් ටිකක් කටේ හලාගත්තා.
ඊටපස්සේ කට්ටිය වාඩියට ගිහිල්ලා පාටිය පටන් ගත්තා. මයියොක්කා තම්බන අතරේ හැරී ධූම පානයෙත් යෙදුණා. වැවෙන් අල්ලපු මාලු හැදුවා. කට්ටිය හරි හරියට දේවල් පැහැදිලි කර කර වැඩ ටික කළා.
හැරී කියලා කියන්නේ මුලින්ම Traveling පටන් ගන්නකොට බොහොම ශික්ෂාකාමී ලැජ්ජාශීලී කොල්ලෙක්. ඒත් දැන් ඩයල් එක වෙනස් වෙලා. හැබැයි මෙයා හැමදේම කරන්නේ මඳ පමණින්.
කොහොම හරි ගමේ අයියලා ටික හැරීට සුපිරි සැපක් දෙන්න තමා ලෑස්ති වුණේ. කොහොම හරි ගමේ වාඩියේ කෑම ජාතිවලට නම් හැරී රස වැටුණා. ඊටපස්සේ කට්ටිය පදමට කසිප්පු බීලා බැරල් එකකට තට්ටු කර කර සින්දු කියන්න පටන් ගත්තා.
“අපි කෑම කෑවා. හරිම රසයි. දැන් කසිප්පු තව ටිකක් ඕඩර් කළා. ඒවා වැඩ කරනවා."
අපේ අයියලාගේ වැඩ කිඩ දැකලා හැරී එහෙම කිව්වා.
අපේ කට්ටිය මරු සින්දු තමා කිව්වේ. කොහොම හරි හැරීත් ඒවායේ කෑලි මිමිණුවා. හැරී සිංහල වචන හත අටක් කොහොමත් දන්නවා. පාටිය නැගලම ගියා. කසිප්පු නම් නීතිවිරෝධී තමා. හැබැයි අපේ අයියලාගේ ආගන්තුක සත්කාරය නම් ටොපේ ටොප්. ගමේ අහිංසක අව්‍යාජ සෙට් එකක්.
අත්තිමට ගමේ අයියලා ටික හැරීව ඉඹලා කරලා තමා සමු දුන්නෙ. හැරී සතුටට පොඩි තෑග්ගකුත් දුන්නා. කොහොම හරි වැඩේ පුරාවටම ගමේ කට්ටිය කතා කළේ සිංහලෙන්. හැරීටත් ඒවා තේරුණා වගේ හිටියා. කොහොම හරි මේ විදිහට ගමේ අයියලා සෙට් එක ජාත්‍යන්තරයටම ගියා.
ලංකාවට ආපු travelers ලා කිහිප දෙනෙක්ම මේ වෙනකොට මේ විදිහට කසිප්පු ජාත්‍යන්තරයට අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒක වෙනම කතාවක්. ඒ නිසාම ලෝකේ ගොඩක් YouTube Travelers ලා ලංකාවේ කසිප්පු ගැන දන්නවා. දැන් ලංකාවට ආවම ඒවා හොයන්න පටන් අරගෙන.
ත්‍රීවිල් කපල් එකට පාරේදි හම්බවුණු අලි රාල
මේ දෙන්නා ගැන අපි කලින් කිව්වා. Online ජොබ් එකක් කරගෙන ලෝකෙ වටේ travel කරනවා. මේගොල්ලෝ තුන් රෝද රියෙන් තමා රට වටේ යන්නේ. ඔන්න දකුණු පැත්තෙන් යාල පැත්තෙන් දාලා ඇල්ල පැත්තට යන්න මෙයාලා පටන් ගත්තා.
ඔහොම යන අතරේ පාරේ අලියෙක් හිටියා. මේ දෙන්නට නම් වැඩේ ටිකක් මැජික් වගේ.
“අන්න පාරේ අලියෙක් ඉන්නවා. එක්කෙනෙක් මෝටර් බයික් එකක් නවත්තගෙනත් ඉන්නවා."
මේගොල්ලොත් ගිහිල්ලා අලියට ටිකක් දුරින් වීල් එක නැවැත්තුවා. මෝටර් බයික් එකේ එක්කෙනා හිටියේ අලියා හින්දා එතැනින් යන්න බැරුව.
ඒ අස්සෙ පිටිපස්සෙන් ආපු බයික් එකක කපල් එකක් අලියාව සත පහකට ගණන් ගන්නෙ නැතිව කඩාගෙන බිඳගෙන ඉස්සරහට ගියා. යන ගමන් අලියට කෙසෙල් වගේකුත් විසි කළා.
“අන්න ඒගොල්ලො කෙසෙල් වගේකුත් විසි කරනවා."
මේ වැඩේට නම් ඒගොල්ලො පුදුම වුණා. කොහොම හරි බයික් එකේ කෙනාගෙන් මෙයාලා ඇහුවම අපිත් යන්න ද කියලා එයා නම් කිව්වේ එපා කියලා.
ඒත් තුන් හතර ගොල්ලක්ම මේ විදිහට මාරු වුණා. අතරමඟ නවත්තගෙන හිටපු මෙයාලා එක්ක සමහරු කතා කරලත් ගියා. කොහොම හරි මේක සිද්ධ වුණේ පහුගිය ඔස්ට්‍රේලියානු ශ්‍රී ලංකා ක්‍රිකට් තරගයට ඉස්සෙල්ලා දවසේ. අලි කලබල අස්සේ මෙයාලා මැච් එක ගැනත් මතක් කළා. මොකද මෙයාලා ඔස්ට්‍රේලියානුවෝ.
ඇත්තටම අලි රාලගෙන් ලොකු කරදරයක් වුණේ නෑ. සැලකිය යුතු වෙලාවකට පස්සෙ මෙතැනට ආපු සී.ටී.බී බස් එකක් පිටිපස්සේ තියාගෙන මෙයාලා හිමින් සීරුවෙ අලි රාලව පහු කරලා ගියා.
පාස් කරනවත් එක්කම සුදු නෝනා හරි සතුටින් කෑගැහුවා. දැකපු දේවල් ගැන සතුටින් එයාලා හිටියේ.
“කැමරාව ඕෆ් කරලා තිබුණු වෙලාවෙ ඉස්සරහින් ආපු බස් එක අලියව පාරේ පැත්තකට කළා. ඒක නම් බලන්න ඇත්තටම පිස්සුවක්."
මේගොල්ලෝ තමන්ට අලියෙක් බලන්න ලැබුණු එක ගැන පුදුම විදිහට සතුටු වුණා. ඇත්තටම ලංකාවට එන සංචාරකයන්ට අලියෙක් බලන්න ලැබීමත් ලොකු සතුටක් තමයි.
I චමිඳු නිසල්