2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා

දරුවන්ගේ හීන ඇහැරවන්න හීන

 2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 200

Q චාමර... දරුවන්ගේ 'හීන' ගැන අපිට මුලින්ම කියන්න?

දරුවන් තිස්දෙනෙක් සහභාගි කරවාගෙන මම සංගීතවත් කරපු අලුත්ම ගීත විසි දෙකක් එක්ක ප්‍රසංගය පවත්වන්න අපි සූදානම් වෙනවා. එම ප්‍රසංගය නොවැම්බර් මස 16 වැනිදා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පවත්වන්න සූදානම් වෙනවා. මෙම ප්‍රසංගය අපි 'හීන' නමින් හඳුන්වනවා. ලංකාවේ ජීවත්වෙන දරුවන් වෙනුවෙන් ප්‍රසංග පවත්වන්නෙ හරිම අඩුවෙන්. ඒ අඩුව සම්පූර්ණ කරන්න මම මේ ප්‍රසංගය නිර්මාණය කළා.

Q ප්‍රසංගයට සහභාගිවෙන දරුවන්ව ඔබ තෝරගත්තෙ කොහොමද?

මම සේවය කරන්නෙ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීත අංශයේ. එහි ස්ථිර කීබෝඩ් වාදකයෙක් ලෙසින් මම සේවය කරනවා. ගුවන්විදුලි සංස්ථාවේ දරුවන් ශ්‍රේණිගත කිරීමේ පරීක්ෂණයක් තියෙනවා. බොහෝ අවස්ථාවල ඒ හැම පරීක්ෂණයකම කීබෝඩ් ශිල්පියා ලෙසින් මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. වසර ගණනාවක් තුළ ලබපු අත්දැකීම් බොහොමයි. ඒ අතරින් බොහෝ හැකියාවන් ඇති දරුවන් මේ හඬ පරීක්ෂණවලට සහභාගි වෙනවා. නමුත් ඒ හැකියාවන් ඇති දරුවන් ශ්‍රේණිගත කළාට පස්සෙ ඒ ළමයින්ට යන්න තියෙන මාර්ග අඩුයි කියලයි මට හිතෙන්නෙ. ගුවන්විදුලියේ A ශ්‍රේණියේ දරුවන් දෙදාහක් හිටියොත් ඒ දෙදාහටම අවස්ථාව ලබාදෙන්න බොහෝ කාලයක් ගත වෙනවා. සමහරවිට ඒ ළමයින්ට අවස්ථාව ලැබෙද්දි ඒ අයගේ වයසත් වැඩියි. ඉතින් මෙවැනි දරුවන්ට අවස්ථාව ලබා දෙන්න මට ඕනෑ වුණා. මෙම ප්‍රසංගයේ විසිදෙනෙක් ගීත ගායනා කරනවා. නර්තනයට දරුවන් දහදෙනෙක් සහභාගි වෙනවා.

Q මේ දරුවන් ලංකාවේ විවිධ පළාත්වලින් සහභාගි වෙනවා ඇති?

ඔව්. මේ සඳහා මහනුවර, බදුල්ල, පොළොන්නරුව, ජාඇළ, අතුරුගිරිය, කොළඹ, මිනුවන්ගොඩ වැනි ප්‍රදේශවලින් දරුවන් සහභාගි වෙනවා. මුල් කාලෙදි අපි සති දෙකකට වරක් මුණගැහිලා පුහුණුවීම් කළා. මගේ මාලබේ ශබ්දාගාරයේදී අපි පුහුණුවීම් කළා. ප්‍රසංගයට දින ළං වෙද්දි සෑම සෙනසුරාදා සහ ඉරිදාවකම අපි පුහුණුවීම් කළා. ඒ නිසා දුර බැහැර ඉඳන් සහභාගිවෙන දරුවන්ට පුහුණුවීම්වලට සහභාගිවීම දුෂ්කරයි. නමුත් කෙසේ හෝ ඒ දරුවන් ඔවුන් දන්න කියන තැනක නැවතිලා මේ පුහුණුවීම්වලට සහභාගි වෙනවා. බොහෝ දුෂ්කරතා එක්ක මේ දරුවන් මේ පුහුණුවීම්වල යෙදෙනවා.

Q ප්‍රසංගය නරඹන්න ඕනෑම කෙනෙක්ට අවස්ථාව තියෙනවා නේද?

ඔව්. ප්‍රසංගය පවත්වන්නෙ නොවැම්බර් 16 වැනිදා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදි. මෙය නොමිලේ පවත්වන ප්‍රසංගයක්. ආසන සීමිතයි. ඉතින් ප්‍රසංගය එදින සවස 6ට පවත්වන්න නියමිතයි. හරියටම ඒ වෙලාවටම ප්‍රසංගය ආරම්භ කරන්න අපි සූදානම් වෙනවා. මේ ප්‍රසංගයේදි අසංක දිමුත් එක් චරිතයක් සමඟ දරුවන් ගැන ගීත විචාරයක්ද පවත්වනවා. මෙය පැය තුනක ප්‍රසංගයක්.

Q උසස් පෙළට ගණිතය හදාරපු චාමරගේ හිත අද කීබෝඩ් එක ළඟ නතරවෙලා?

ඔව්. අද වෙද්දි දරුවන් එක්ක සංගීතමය වැඩ පටන් අරගෙන අවුරුදු විස්සක් වෙනවා. 2006 වසරෙදි මම 'හපන්නු' කියලා දරුවන් වෙනුවෙන් සී.ඩී. පටයක් කළා. 2014 වසරෙදි බෞද්ධ ගීත සංයුක්ත තැටියක් කළා. 2018 වසරෙදි තවත් සී.ඩී. පටයක් කළා. මම උසස් පෙළට ගණිතය අංශයෙන් ඉගෙන ගත්තෙ. 2009 වසරෙදි ගුවන්විදුලියට සම්බන්ධ වුණු මම එතැන් සිට මේ දක්වා ගුවන්විදුලියේ සේවය කරනවා.

Q ප්‍රසංගයට දරුවන්ගේ තියෙන උනන්දුව කොහොමද?

මුල් කාලෙදිටත් වඩා පසු කාලෙදි දරුවන්ගෙ උනන්දුව ඉතා හොඳයි. ප්‍රසංගය සඳහා විශාල මුදලක් වැය වෙනවා. මෙය නොමිලේ පවත්වන ප්‍රසංගයක්. ඒ නිසා මෙවැනි ප්‍රසංගවලට සහභාගිවෙන අනුග්‍රාහකයන්ගේ අඩුවක් තියෙනවා. ඒ වුණත් දරුවන්ට වේදිකාවක් හදලා දෙන්න මට ලොකු වුවමනාවක් තිබුණා. ඒ සඳහා අද සාර්ථක වේදිකාවක් ලැබිලා තියෙනවා. ඉතින් මේ දරුවන්ගේ 'හීන' දකින්න එදිනට එන්න කියලා මම ආරාධනා කරනවා.

I දිශානි