2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා

ඒ පිස්සුව හරි මනරම්

 2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 70

සුදාලා දන්නවද අලුත් පරම්පරාවලට පරණ දේවලුත් සමහර වෙලාවලට Trend එකක් වෙනවා. ලංකාවේ මේ සීන් එකට හොඳම උදාහරණය තමා කෝච්චි පිස්සුව. Digital යුගයේ Social Media Platforms වල පවා දැකගන්න පුළුවන් මේ අමුතු Y Trend එක ඇත්තටම පිස්සුවක්. ආතල්ම සීන් එක තමා මේකෙ දැන් ඉන්නෙ Young Generation එක.

නිකම්ම නිකම් යකඩ ගොඩවල් වගේ පෙනුණට කෝච්චි කියන්නෙ Cultural Value එකක් තියෙන Vehicle ජාතියක්. ඒ නිසාම කෝච්චි පිස්සුව අදක ඊයෙක ඉඳන් තියෙන දෙයක් නම් නෙවෙයි. කෝච්චි ගැන අල ගිය මුල ගිය තැන් ඔක්කොම දන්න, සිහිවටන එකතු කරන අය එදා ඉඳන්ම හිටියා. ඒත් ඒ ඔක්කොම සාමාන්‍යයෙන් තරුණ වයස ඉක්මවලා ගියපු අය. වැඩේ කියන්නේ දැන් තත්ත්වය ඊට වඩා වෙනස්.

ඒත් ලංකාවේ දැන් කෝච්චි පිස්සුව තදටම ගහලා තියෙන්නෙ ඇටෙන් පොත්තෙන් එළියට ආපු තරුණ ගැටවුන්ට ගැටිස්සියන්ට. මේ Trend එකේ ප්‍රධානම ලක්ෂණය තමා ලංකාවේ භාවිත වන දුම්රියවල නම්, නිෂ්පාදන වර්ෂ, රටවල් මතක තියාගන්න එක. ඇත්තටම මේ සීන් එකේ ඉන්න අයට සාමාන්‍ය දුම්රිය ඇන්ජිමක් දැක්කම ඒකෙ උප්පැන්න සහතිකේ විතරක් නෙවෙයි, පැටිගිරියම වුණත් කියන්න පුළුවන්. ඒක වෙනම level එකක වැඩක්.

ඉස්සර නම් මචෝ මේ වගේ විනෝදාංශ ගොඩක් වෙලාවට හුදෙකලාවෙ තනි තනිවම තමයි ගොඩක් දෙනා කළේ. මේ වගේ වැඩක් කරන කෙනෙක් දිහා සමහරු බැලුවේ ට්‍රුක් අවුට් සීන් එකේ. ඒත් Social Media නිසා තත්ත්වය වෙනස්. ඕනෑම පිස්සුවක වටිනාකමක් තියෙනවා. 

දැන් අපේ කෝච්චි පිස්සු සෙට් එක Social Media වල ශිල්ප දැකලා ඔන්න තව තවත් කෝච්චි පිස්සු නිර්මාණය වෙන සීන් එකක් තියෙන්නෙ. සිරාවටම මේ අය දුම්රියවලට මාරම ආදරෙයි. කොච්චර ආදරෙයිද කියන්නේ සමහරුන්ට කෝච්චි කාලසටහන් පවා කටපාඩම්. දුම්රිය ස්ථාන පවා පිළිවෙළට කියාවි. 

මේ තරුණ කෝච්චි පිස්සෝ සෙට් එක ඇත්තටම ලංකාවේ දුම්රිය පිළිබඳ තියෙන ගැටලු පිළිබඳවත් කතා කරනවා. එහෙම කරන්න හොඳ දැනුමකුත් එයාලට තියෙනවා. ඉතින් මචෝ සමහර වෙලාවට හිතෙනවා, මේ සෙටාර් එකට බාරදුන්නා නම් මීට වඩා හොඳට රටේ දුම්රිය සේවාව පවත්වාගෙන යන්න පුළුවන් වෙයි කියලා. ආයේ ඉතින් බාල ඇන්ජින් මැදිරි එහෙම ලොවෙත් ගෙන්නන්න නම් දෙන්නෙ නෑ. 

මෝටර් බයිසිකල්, කාර්, වෑන්, බස් වගේ වාහන පිළිබඳවත් ලංකාවේ වගේම ලෝකෙම තරුණයන් අතරේ Trend නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ඒක ඇතුළෙ තියෙන හීන උත්සාහ කළොත් හැබෑ කරගන්න එයාලට පුළුවන්. ඒත් මේ අහිංසක කෝච්චි පිස්සන්ට නම් කවදාවත් කෝච්චියක් සල්ලිවලට ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසාම මෙයාලා අවංකවම සීන් එකට ආදරය කරන වෙනම ලල් එකක ඉන්න සෙට් එකක් කියලා අපි පිළිගන්න ඕනෑ.

කොහොම වුණත් මේ පිස්සුව හැදෙන්නේ දුම්රිය මගීන් අතරෙන්ම පිරිසකට කියලා කිව්වොත් සාධාරණයි. එත් මෙයාලා සාමාන්‍ය දුම්රිය මගීන්ට වඩා සෑහෙන්න වෙනස්. සාමාන්‍ය දුම්රිය මගීන් වගේ මේ අයගෙන් බහුතරය දුම්රියවලට බණින්නෙ නම් නෑ. මෙයාලා ඒ සම්බන්ධව කරන්නේ විචාර. හරිය... පොඩ්ඩක් කෝච්චි පිස්සෙක් සෙට් වෙච්ච වෙලාවක කතා කරලා බලන්න ඕනෑ. මේක සිරාම සීන් කෝන් එකක්.

හැබැයි ඉතින් ඇත්තටම ලංකාවෙ මෙහෙම සීන් කෝන් එකක් තියෙනවා කියලා දන්නේ නැති අයත් ඕනෑ තරම් ඉන්නවා. එයාලට කරන්න තියෙන්නේ හරිම සරල දෙයක්. Facebook වගේ Social media platform එකකට ගිහිල්ලා පොඩි Search පාරක් දාලා බලන්න. 

කෝච්චි පිස්සුව ගැන Group, Page, Post, Mems ඕනෑ තරම් තියෙනවා. ඒ වගේම මෙයාලගෙන් සමහරු පුංචියට Event එහෙමත් සංවිධානය කරපු අවස්ථා හොයාගන්න පුළුවන්. මේ සීන් එක නිසා ඇත්තටම ලංකාවේ දුම්රිය Videos, Photos  ලක්ෂ ගාණක් සමාජ මාධ්‍යවලට උඩුගතවෙලා ඉවරයි. ඒ වගේම සමහරු තමන් දන්න තොරතුරු පිළිබඳ දීර්ඝ ලිපි පවා පළ කරනවා. ඇත්තටම ඕනෑ කෙනෙක්ට පොදුවේ කියවනකොට ආසා හිතෙන විදිහට තොරතුරු මේ අය ඉදිරිපත් කරපු අවස්ථා ඕනෑ තරම් දැකබලා ගන්න පුළුවන්.

මීට අමතරව ලංකාවේ ප්‍රසිද්ධ දුම්රියවල ආකෘති හැදීමත් මේ පිස්සුවෙ කොටසක්. ඒ වගේම පුංචි පුංචි ලිපි, තොරතුරු සිහිවටන එකතු කරන එකත් සමහරු කරගෙන යනවා. මේ වැඩේ සුප්‍රිම් ලෙවල් එකෙන් කරපු අයත් ඉන්නවා. හැබැයි එයාලගෙ යුගයට වඩා අද තත්ත්වය වෙනස්. දැන් සීන් එකේ වැඩිපුරම ඉන්නේ අලුත් Generation එක.

පිටරට වගේ විදුලියෙන් ගමන් කරන සුපිරි දුම්රිය අපේ ලංකාවේ නෑ. ඒත් මේ තියෙන දුම්රිය ටික දිහා බලාගෙන සතුටුවෙන පිරිසක් අපේ ලංකාවේ ඉන්නවා. ඒකත් ඉතින් පට්ටයි. හැබැයි මේ කොයි කාගෙත් හීනෙ ලංකාවේ සුපිරි දුම්රිය දැකීම තමා. ඒත් ඉතින් මචෝ ඒකට අපිට තව කොච්චර කාලයක් බලන් ඉන්න වෙයිද කියලා නම් දන්නෙ නෑ.

I චමිඳු නිසල්