2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා

ඇඟපුරාම අමුතු අමුතු! භයානකයි... ලස්සනයි... පිස්සුවක්...

 2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 62

ඔන්න මචෝ අද අරගෙන ආවේ ටිකක් ඇඟ කිලිපොලා යන Y Trend එකක්. ඔයාලා අහලා ඇති කාර් වෑන් බයිසිකල් Modification කරන සීන් එක. ඒකත් එක්තරා විදිහක Trend එකක්. ඒත් අද අපි කතා කරන්නේ වාහන ගැන නෙවෙයි. මේ මිනිස් ශරීරයේ කරන නූතන "Body Modification” ගැන. මේකට Body alteration කියලත් කියනවා. එක්තරා විදිහකට මේක Fashion Trend එකක්.

සාමාන්‍යයෙන් ශරීරයේ කරන ව්‍යූහාත්මක වෙනස්කම් Body Modification ගණයට වැටෙනවා. ඔයාලා දන්න විදියට කිව්වොත් Tattoos ගහන එක, ශරීරයේ එක එක තැන් කරාබු දාන එක වගේ දේවලුත් ඇතුළත් වෙන්නේ මේ Body Modification කියන සීන් එකට. එහෙම බැලුවොත් නම් මේක හරිම සරල සීන් කෝන් එකක් තමයි. ලෝකයේ ගොඩක් cultures වලත් මේ වගේ සීන් තියෙනවා.

හැබැයි මචෝ අපි අවධානය යොමුකරන "Extreme Body Modification” කියන්නෙ භයානක Trend එකක්. සුදාලට තේරෙන සිංහලෙන් කිව්වොත් කතාව මෙහෙමයි. මේ සීන් එකේදි සමහරු දිව බෙදනවා, සම ගොතනවා, කන්පෙති තොල් දික් කරනවා, කපනවා, මුහුණ හිල් කරනවා, දත් උල් කරනවා, අං වගේ පේන්න විවිධ ද්‍රව්‍ය ඔළුවේ තැන්පත් කරනවා. වැඩේ කියන්නේ මේවා කරන්නේ වෛද්‍යවරු නෙවෙයි. ටැටූස් ගහන්න සහ ශරීරය සිදුරු කරන්න බලපත්‍ර ලබා තියෙන "ශරීර කලාකරුවන්".

කොහොම වුණත් මීට සමාන දේවල් ඉතිහාසය පුරාවටම ලෝකෙ ශිෂ්ටාචාරවල සංස්කෘතීන්වල තිබිලා තියෙනවා මචෝ. අදටත් අප්‍රිකානු ගෝත්‍රවල වගේම ඉන්දියාව වගේ රටවල්වල ඇතැම් ජන කණ්ඩායම් අතර ශරීරයේ යම් යම් අංග වෙනස් කර ගැනීමේ සම්ප්‍රදායන් තියෙනවා. ඒ නිසා මචෝ මේ සීන් කෝන් එකේ ඉතිහාසය හොයන එක ලෙහෙසි නෑ. හැබැයි එක දෙයක් පැහැදිලියි. නූතන ලෝකය වෙනස් විදිහට ජනප්‍රිය වුණත්, මේ සීන් එක ඉතිහාසය පුරා විවිධ ස්වරෑපවලින් පැවතිලා තියෙනවා.

වර්තමාන ලෝකෙට ආවොත් මේක හරිම සංකීර්ණ තත්ත්වයක්. ඇයි මිනිස්සු මේ වගේ අමුතු දේවල් කරන්නේ කියලා ඔයාට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඇත්තටම මචෝ ඒකටත් එක සරල උත්තරයක් ලබා දෙන්න බැහැ. සමහර අය ආගමික හෝ ආධ්‍යාත්මික හේතූන් මත මේ වගේ වැඩ කරනවා. තවත් සමහරුන්ට ස්වයං ප්‍රකාශනයක් තියෙනවා. තමන්ගේ අනන්‍යතාවට වගේම සෞන්දර්යාත්මක වටිනාකම් සඳහාත් ලිංගික සතුට සඳහාත් මේ වගේ වැඩ කරන අය ඉන්නවා.

විශේෂයෙන්ම මචෝ නූතන ලෝකයේ Extreme Body Modification කරන අය තම සංස්කෘතියට අනුගත වීම හෝ ඊට එරෙහිව කැරලි ගැසීම මේ හරහා පෙන්නුම් කරන්න උත්සාහ කරනවා. කොහොම වුණත් මචෝ මේකට හේතු හරිම මතභේදාත්මකයි. විවිධ මනෝභාවයන් මත තමා මෙයාලා වැඩ කරන්නේ. පිටත ලෝකයේ ඉන්න අය මේ අයව මනෝ ව්‍යාධිකයන් විදිහට හඳුන්වන අවස්ථා නැතුවම නෙවෙයි.

ඒ කොහොම වුණත් ලෝකයේ ගොඩක් රටවල්වල වයස අවුරුදු 16ට 18ට වඩා වැඩි අයට ගොඩක් වෙලාවට මේ දේවල් තහනම්. ඒත් සමහරු ප්‍රධාන නීතිරීති කිහිපයකට යටත්ව Body Modification කරගන්න අවසර ලබා දීලා තියෙනවා. තවත් සමහර රටවල් මේ සීන් එකට මුළුමනින්ම විරුද්ධයි. අධිකරණ තීන්දු පවා තියෙනවා. 

කොහොම වුණත් මේ වෙනකොට ඇමෙරිකා එක්සත් ජනපදය, දකුණු ඇමෙරිකානු රටවල්, ඉතාලිය ඇතුළු යුරෝපයේ ඇතැම් රටවල් වගේම ඔස්ට්‍රේලියාව, ජපානය, තායිලන්තය, මැලේසියාව වගේ රටවලත් මේ තත්ත්වය Trend වෙනවා. කොහොම වුණත් ඇමෙරිකාව තමයි මේ සීන් කෝන් එකේ ලොකුවටම ඉන්නේ. මෙක්සිකෝව, බ්‍රසීලය වගේ රටවලත් උප සංස්කෘතියක් විදිහට මේක බොහොම සැරට තියෙනවා. මත්ද්‍රව්‍ය, පාතාලය, මැර කණ්ඩායම් වගේ දේවල් එක්ක මේ සීන් එක සමහර අවස්ථාවල ඉස්සරහට යනවා. 

මේ හා සම්බන්ධ ලෝක වාර්තා තියෙනවා. වැඩිපුරම ශරීරය වෙනස් කිරීම, ශරීරය වෙනස් කළ ආකාරය පිළිබද වාර්තා අන්තර්ජාලය පැත්තේ ගියොත් ඔයාලට ඕනෑ තරම් බලාගන්න පුළුවන් මචෝ. 

අපිටත් ටක් ගාලා සුදාලත් එක්ක මේ සම්බන්ධ උදාහරණ ටිකක් කතා කරගෙන යන්න ඕනෑ, තාමත් සීන් එක තේරුණේ නැති අය වෙනුවෙන්. "Forked Tongue - දිව බෙදීම", මේ සීන් දැනටත් ලංකාවේ කිහිප දෙනෙක් කරගෙන ඉන්නවා සුදාලා දැකලා ඇති. දිව බෙදනවා කියන එක Extreme Body Modification, ගොඩක් ජනප්‍රිය සීන් එකක්. 

Lizard man කියන කටුසු රෑපයත් ඉතාම ජනප්‍රිය සීන් එකක්. මෙතැනදී වෙන්නෙ සම උලුප්පලා මුහුණේ හැඩය වෙනස් කරලා උරග ස්වරෑපයක් ලබාගැනීම. Corset Piercing, මෙතැනදි ගොඩක් වෙලාවට වෙන්නේ කොඳුඇට පෙළෙහි දෙපස සම සිදුරු කරලා රිබන්වලින් ගොතන්න පුළුවන් විදියට හදන එක. An Erotic Component කියලා කියන්නෙත් මේ වගේම දෙයකට. මේ වගේ බොහොම භයානක Category ගොඩක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්.

ඇත්තටම මේ වගේ දේවල් සිදුකිරීම සම්බන්ධව අනුගමනය වන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවල ලොකු ලොකු අවුල් තියෙනවා. ගොඩක් වෙලාවට ශල්‍ය වෛද්‍යවරු, චර්ම රෝග වෛද්‍යවරු මේ වගේ සීන් ගැන තමන්ගේවිරෝධය පළ කරලා තියෙනවා. ඒ වගේම මේ වගේ වැඩ කරපු අයගේ සෞඛ්‍ය ගැටලුත් වාර්තා වෙනවා. ඒ කොහොම වුණත් මිනිසුන්ගේ කැමැත්ත, මනෝභාවයන් කියලා කියන්නෙත් වැදගත් දෙයක්.

වැලි කැට දෙකක්වත් සමාන නැති ලෝකයේ මේ වගේ Trend දැකලා මිනිසුන් අතර ඇති වෙනස්කම් තේරුම් ගැනීම සුදාලට ප්‍රමාණවත්. කොහොම වුණත් දැන් මේ Extreme Body Modification සිද්ධි ලංකාවෙත් ටිකෙන් ටික පැතිරගෙන යනවා. අනාගතේ අනිවාර්යෙන්ම ලංකාවෙත් සෑහෙන පිරිසක් වාර්තා වෙයි.

ඉතින් එදාට කතා කරන්න ඔන්න අද අපි සුදාලට පූර්විකාවක් ලියලා තිබ්බා.

I චමිඳු නිසල්