ලංකාවට අලුත් Travel ජෝඩුවක් ඇවිල්ලා. මෙයාලා දෙන්නා එක්සත් රාජධානිය පැත්තෙන් තමයි ලෝක සවාරියට මුල පුරලා තියෙන්නෙ.
“අපි කැමතියි පිටකොටුවට. ගොඩක් වර්ණවත්. ගොඩක් සද්ද තියෙනවා."
මෙයාලා ලංකාව ආරක්ෂිතද කියලා බලන්න ගියේ පිටකොටුවට. වාහන මිනිස්සු ඒ මේ අත යන ගොඩක් කාර්යබහුල වෙලාවක තමා මේ දෙන්නා කොටුවේ හරස් වීදී දිගේ ඔහේ ඇවිදගෙන ගියේ.
රටේ හැමෝම ක්‍රිකට් නිසා කලකිරිලා ඉන්න කාලේ මෙන්න මෙයාලා කොටුව පුරා අලුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ජර්සියක් හොයන්න පටන් ගත්තා.
එක කඩේකට ගියා උඩ තට්ටුවක තියෙන. රුපියල් 6,000 එක රුපියල් 3,000ට දෙන්නම් කියලා කිව්වත් මෙයාලා ගත්තේ නෑ.
“නැහැ මේක පරණ කේස් එකක්. අපිට ඕන අලුත්ම එක."
ඔන්න කොටුව පුරා කැරකිලා දෝරුවක් අස්සෙන් රිංගලා තව කඩේකට ගියත් ගැලපෙන සයිස් එක සුදු මහත්තයට හම්බවුණේ නැහැ.
කොහොම හරි මෙයාලට රතු පල්ලිය ඇතුළට ගිහිල්ලා බලන්නත් අවස්ථාවක් හම්බවුණා.
“ලංකාවේ සිංහල, මුස්ලිම්, දෙමළ හැමෝම හරිම සමගියෙන් ඉන්නවා. හරිම අපූරු රටක්."
ආගන්තුක සත්කාර වගේම ලංකාවෙ තියෙන හොඳ දේවල් ගැන මෙයාලා අගය කරලා කතා කළා. අපිට කොහොම හරි පාර අයිනේ තිබුණු කඩේකින් ටී ෂර්ට් එක හොයාගන්න පුළුවන් වුණා.
“කොළඹ හොඳටම රස්නෙයි. පොඩි 'ෂවර්' එකක් දාගන්න ඕනෑ. .''අපේ මිෂන් එක කම්ප්ලීට්"
2. ස්ටීව්ට ලංකාවෙන් බඩයි හදවතයි පිරුණු රසවත් කෑම වේලක්
මතකද ඇමෙරිකාවේ ඉඳන් ආපු කොණ්ඩකාර ස්ටීව්. අර පුංචි කෙල්ලගෙ ගැටේට අහුවුණු කෙනා. ඔන්න මේ පාර ස්ටීව් ගියා එදා පොරොන්දු වුණු විදිහට ලංකාවේ යාළුවෝ කට්ටියගේ ගෙදර කෑමට.
යාළුවෙකුත් එක්කගෙන එන්න කියපු නිසා තවත් යාළුවෙක් වැඩේට සෙට් කරගෙන මුලින්ම ගියා ටවුමට. තොග කඩේකට ගිහිල්ලා බඩු මුට්ටු ටිකක් ගත්තා. ඊටපස්සේ පළතුරු කඩේකට ගිහින් පළතුරු ටිකකුත් ගත්තා.
මඟදී YouTube එකෙන් අඳුරගත්ත අපේ කොල්ලෙක් සෙට් වුණා. දෙන්නම හෙන භක්තියෙන් කතාබහ කළා.
“එතකොට ඕගොල්ලො අපිත් එක්ක කන්නේ නැද්ද?"
“නැහැ අපි පස්සේ කනවා."
ගෙදර කට්ටිය කිව්වේ එහෙම.
ලස්සනට කෑම මේසේ හදලා තිබුණා.
“එහෙම හරි නෑ. මේගොල්ලෝ එන්න අපිත් එක්ක කෑම කන්න."
ඒත් ගෙදර කට්ටිය නම් කැමති වුණේ නෑ. අපේ කට්ටියගේ සම්ප්‍රදාය ටිකක් වෙනස් හින්දා තමයි එහෙම වෙන්නෙ. ඒත් හොඳම දෙය ආරාධිතයන් එක්ක එකට ආහාර ගැනීම.
“මට දැනෙන ෆීලින් එක එච්චර හොඳ නෑ. මම හිතුවේ එයාලා අපිත් එක්ක කෑම කයි කියලා."
ස්ටීව් යාළුවට එහෙම කිව්වා. කොහොම හරි දෙන්නත් එක්ක හොඳට කෑවා. හැදි ගෑරුප්පු පැත්තකට දාලා අතින්ම කන ගමන් සතුටු සාමීචියේ යෙදුණා. කොහොම හරි හොඳ රසවත් ආහාර වේලක් අපේ අය මේ දෙන්නට දුන්නා.
කාලා ඉවරවෙලා යන ගමන් ස්ටීව් ලංකාවේ ආගන්තුක සත්කාර ගැන බොහොම ඉහළින් කතා කළා. මෙහෙම කතාවකුත් කිව්වා.
“මගෙ බඩත් හොඳටම පිරිලා. මගේ හදවතත් හොඳටම පිරිලා. මිනිස්සු බොහොම කරුණාවන්තයි."
3. අපෙනුත් ගන්න මල් අනුරාධපුරේ මල් විකිණූ සුදු යුවල
මතකයි නේද අවුරුදු 10ක හනිමූන් ට්‍රිප් යන අපේ යාළුවො දෙන්නව. ඔන්න එයාලා මේ පාර අනුරාධපුරේ පැත්තේ ගිහිල්ලා තිබුණා. තනිකරම පිස්සුවක් තමා නැටුවේ.
පටන් ගත්තෙම පොලිසියේ කෙනෙක්ට කතා කරලා සෙල්ෆියක් ගහලා.
“ලස්සනයි බිග් ස්මයිල්... ලස්සනයි."
දැන් මේ දෙන්නට සිංහල ටික ටික පුළුවන්. ඊටපස්සේ දෙන්නත් එක්ක ගියා ජය ශ්‍රී මහා බෝධියට. වටේම ඇවිදලා බැලුවා.
“මෙතන හරිම නිස්කලංක තැනක්. මිනිස්සු මෙතන වඳිනවා. ගායනා කරනවා. ලස්සනයි."
ඊටපස්සේ මෙයාලා පිරිත් නූලකුත් බැන්දා. ඇන්ටි කෙනෙක් මෙයාලත් එක්ක කතා කළා.
“මෙහෙ මිනිස්සු ඇත්තටම පුදුමාකාරයි."
මෙයාලා දෙන්නා අපි ගැන කිව්වේ එහෙම.
ඊටපස්සේ දෙන්නට මල් විකුණන අක්කලා වගයක් හම්බවුණා. එයාලගෙන් මල් ගන්න ගිහින් එයාලත් එක්ක යාළුවෙලා මෙන්න මෙයත් පාරේ මල් විකුණන්න පටන් අරගෙන.
I චමිඳු