සීතල දෙසැම්බර් මාසය උදාවෙලා. නත්තලත් බොහොම ළඟයි. ඉතින් වර්ෂාවසාන මේ දෙසැම්බර් මාසය, මුළු මහත් ලෝකයටම සුවිශේෂී මාසයක්. සැණකෙළි සාප්පු සවාරි වගේම සීතලත් මේ මාසය එක්ක බැඳිලා තියෙන්නෙ.
පසුගිය වසංගත සමයේ සහ ආර්ථික අර්බුදය නිසාවෙන් ලංකාවේ ගොඩක් දෙනෙක්ට පසුගිය වසරවල දෙසැම්බර් මාසේ නත්තල් අසිරිය විඳගන්න ලැබුණේ නැහැ. ඒත් මෙදා පාර දෙසැම්බර් මාසය පහුගිය අවුරුදුවලට වඩා යන්තම් හරි හොඳ වෙයි කියලා පුංචි බලාපොරොත්තුවක් හැමෝගෙම හිත්වල ඇතිවෙලා.
අපි ඔබට මේ දෙසැම්බර් මාසය සම්බන්ධ වැදගත් පුංචි තොරතුරු ටිකක් අරගෙන එන්න කල්පනා කළේ ඒ නිසා. මේ දෙසැම්බර් මාසේ සීතල උණුසුම සමබර කර ගන්න මේ තොරතුරු දැනගෙන ඉඳීම ගොඩක් වටිනවා.
ඔයා මාර්ගගත ක්‍රමයට ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් දේවල් මිලදී ගන්න කෙනෙක් නම් ඔන්න ඔබට වාසිවන සුවිශේෂී දිනයක් එළැඹෙන්න නියමිතයි. Green Monday නැත්නම් හරිත සඳුදා ඔන්න ලොකු ඔන්ලයින් සේල් තියෙන දවසක්.
කළු සිකුරාදා, 11.11 වගේ ඔන්ලයින් සේල් ගැන දැනගෙන හිටියත් ගොඩක් දෙනෙක් මේ ගැන නම් දන්නෙ නැහැ. සෑම වසරකම දෙසැම්බර් මාසේ දෙවැනි සඳුදා තමා මේ දවස උදාවෙන්නෙ. ඒ කියන්නෙ 2023 දෙසැම්බර් 11 මේ අවස්ථාව ඔබට උදාකර ගන්න පුළුවන්.
මේ පාර 20% සිට 60% දක්වා වට්ටම් හරිත සඳුදාට ලැබෙයි කියලා ඉඟි පළවෙලා තියෙනවා. විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික උපකරණ, ඇඳුම් පැළඳුම් ඇතුළු තවත් භාණ්ඩ හා සේවා රුසකට මේ වට්ටම් ලැබෙනවා. විශේෂයෙන්ම e bay ඔස්සේ මේ අවස්ථාව උදා වෙනවා. අපේ රටේ අන්තර්ජාල පාරිභෝගිකයන් ප්‍රමාණය වේගයෙන් ඉහළ ගිහිල්ලා තියෙන නිසා මේ තොරතුරු ඔයාලට වැදගත් වේවි.
මීට අමතරව ලංකාවෙ නම් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය, ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථාන පරිශ්‍රය, මහජන පුස්තකාල ශ්‍රවණාගාරය පරිශ්‍රය වගේ ස්ථාන කේන්ද්‍ර කරගෙනත් දැවැන්ත අලෙවි ප්‍රදර්ශන රුසක් දෙසැම්බර්යේ සංවිධානය වෙනවා. ඒ වගේම ලංකාවේ සියලුම ඇඟලුම් අලෙවිසල් පාහේ තමන්ගේ නිෂ්පාදන සේල් දාන්න පටන් අරගෙන තියෙන්නෙ.
ඒ විතරක් නෙවෙයි, සතොස ඇතුළු ලංකාවේ තිබෙන රජයේ සහ පෞද්ගලික සුපිරි වෙළෙඳසල්වලත් විශේෂ වට්ටම් මේ උත්සව සමයේ හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම දේශීය විද්‍යුත් උපකරණ වෙළෙඳසල් සහ නිෂ්පාදකයනුත් දැන් තමන්ගේ වට්ටම් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. දේශීය වෙබ්අඩවිවලත් තත්ත්වය එහෙමයි.
කොහොම වුණත් මේ ගෙවෙන උත්සව සමය විවිධාකාර අතුරු ආන්තරාවලින් පිරුණු එකක් කියලත් අපි හැමෝම දැනගෙන ඉන්න ඕනෑ. ආර්ථික අර්බුදයක් තියෙන කාලෙක රුවටීම් වංචාවන් ප්‍රමාණයෙන් ඉහළ යනවා. ඒ නිසාම කාලෙකට පස්සේ සාප්පු සවාරි යන්න පාරට බහින ඔයාලා හොඳ අවධානයකින් ඉන්න ඕනෑ.
නිතරම පිළිගත්ත ආයතන, පිළිගත්ත සන්නාම එක්ක ගනුදෙනු කිරීම වඩාත් ආරක්ෂිතයි. ඒ වගේම අධික වට්ටම් ලබා දෙනවා කියන වෙළෙඳසල්වලිනුත් තරමක් පරිස්සම් වෙන්න. විශාල වශයෙන් වට්ටම් ලබා දෙන්නේ ගනුදෙනු වැඩිකර ගැනීමේ අවශ්‍යතාවයෙන් විතරක්ම නෙවෙයි, පහුගිය කාලේ ගොඩගැහුණු පැරණි අබිලි තොග විකුණා ගැනීමේ අවශ්‍යතාවයටත් වෙන්න පුළුවන්.
ඒ නිසාම මෙදා පාර පිටකවරෙට නම් රුවටෙන්න එපා. හැමෝම ඉන්නේ ආර්ථික අගහිඟකම් අඩුපාඩු එක්ක නිසා බුද්ධිමත් පාරිභෝගිකයෙක් විදිහට කටයුතු කරන්න ඔයා අධිෂ්ඨාන කර ගන්න ඕනෑ. මේක නිකරුණේ මුදල් නාස්ති කරන්න හොඳ කාලයක් නම් නෙවෙයි.
මේ උත්සව සමයේ ඔයාට දැකගන්න ලැබෙයි පහසු ගෙවීමේ ක්‍රමයට සිදු කරන්න පුළුවන් මිලදී ගැනීම් රුසක්. ඒ වගේම ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් පොලී රහිත ගෙවීම්, වාරික කිහිපයකට බෙදා ගෙවීම් ආදී අවස්ථා රුසක්. වෙනදාටත් වඩා වැඩියෙන් වෙළෙඳපොළේ ඒ අවස්ථා මේ පාර දැකගන්න ලැබෙන බව දැනටමත් පැහැදිලි වෙලා තියෙන්නෙ.
මේක බැලූ බැල්මටම ලොකු වාසියක්. රටේ දැන් තියෙන ප්‍රශ්නත් එක්ක ඔයාට ලොකු සහනයක් වගේ දැනෙන්න පුළුවන්. හොඳට කල්පනා කළොත් ඇත්තටම ඒක සහනයක් බවට පත්කර ගන්නත් පුළුවන්. ඒත් වැඩ වරද්දගත්තොත් ඔයා අසහනයට පත්වෙනවා. ඒ නිසා පරිස්සම් වෙන්න.
ගෙවීමේ ක්‍රමයට දේවල් මිලදී ගැනීම් සිදු කරද්දී පොලී අනුපාතය ඇතුළු අතිරේක ගෙවීම් පිළිබඳ හොඳ අවධානයක් යොමු කරන්න අමතක කරන්න එපා. විස්තර අහලා ගණන් හදලා බලන්න. ඒ වගේම ක්‍රෙඩිට් කාඩ්පත්වල ආරක්ෂාව වගේ දේවල් ගැනත් සැලකිමත් වෙන්න. වංචාව බොහොම සූක්ෂම විදිහට සිද්ධ වෙන්න පුළුවන් කාලයක් මේක.
අවසාන වශයෙන් සුපුරුදු විදිහට මේ උත්සව සමයේත් ගැටකපන්නන්ගෙන් සහ බීමත් රියැදුරන්ගෙන් පරිස්සම් වෙන්නත් අමතක කරන්න එපා. ඒත් බොහෝ කාලෙකට පස්සේ යම් පමණකින් හෝ සමරන්න අවස්ථාවක් සැලසෙන මේ උත්සව සමය මඟහැර ගන්නෙ නැතුව සමරන්න. හැම සැමරුමකටම මුදල්ම ඕනෑ නෑ.
පවුලේ උදවිය එකතුවෙලා හිනාවෙලා එකට ඉඳලා කෑමවේලක් කාලා සතුටු වෙන්න හොඳම මේ දෙසැම්බර්ය. උදා වූ සීත දෙසැම්බරය, උදාවන නත්තල, එළැඹෙන නව වසර සුබම සුබ වෙන්න කියලා අපි එක සිතින් ප්‍රාර්ථනා කරනවා!
I චමිඳු