2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

හෝ ගාලා විකට් යද්දි සුද්දත් ’’අයියෝ’’ලු

 2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 45


ලංකාවට මේ දවස්වල එන ගොඩක් Travelers ලාට හැදෙන පිස්සුව මේ දෙන්නටත් හැදිලා. මෙයාලත් ගියා ත්‍රීවිල් එකක් කුලියට අරගන්න. මෙයාලා ත්‍රීවීල් එකක් ගත්තේ මාසෙකට.

“ඔන්න අපි ත්‍රීවිල් එකක් ගත්තා. අපි ලංකාව පුරාම යන්න ලෑස්ති වෙන්නේ. සාමාන්‍යයෙන් සංචාරකයෝ යන්නේ නැති ලස්සන තැන් අපිට දන්වන්න."

ඔන්න මෙයාලා දෙන්නා පට්ට සතුටින් කියව කියවා සංචාරය පටන් ගත්තා. පළමුවැනි නවාතැන කොහේදෝ මන්දා පොල්වත්තක් මැද්දේ. පස්සේ ගියා තලවිල බීච් එකට. 

ඔන්න ඊටපස්සේ මේ කොල්ලෝ හතර වටේ කරක් ගහද්දී වැල්ල පාරක ගිහිල්ලා ත්‍රීවීල් එක වැල්ලේ එරුණා.

“අද දවසෙම ගූගල් එකෙන් අපිට පෙන්නුවෙ පිස්සු පාරවල්. අපි මේ පාරේ ආවෙත් ගූගල් එක බලාගෙන."

කොහොම හරි ලංකාවේ දෙන්නෙකුත් එකතුවෙලා වීල් එක තල්ලු කරලා ගොඩ දාගත්තා. ඉතින් මෙයාලා අපේ අයටත් බොහොම ස්තූතිවන්ත වුණා.

ඊටපස්සේ මෙයාලට හම්බවුණා පාරේ ක්‍රිකට් ගගහා ඉන්න අපේ කොල්ලො සෙට් එකක්. ඊටපස්සේ මෙයාලා එයාලත් එක්ක ක්‍රිකට් ගැහුවා.

“මේ බෝල් දාන කෙනා නම් මරු. හොඳටම දානවා. දවසක ශ්‍රී ලංකාවටත් ගහන්න පුළුවන් වෙයි."

ඔන්න ඔය වගේ කතාවකුත් යාළුවා කිව්වා. හැබැයි ඊටපස්සේ කඩේකට කන්න ගිහිල්ලා බලද්දි කඩේ කෑම නෑ. ඒ මදිවට කඩේ කට්ටිය ඉඳගෙන මැච් එකක් බලන්න. ලංකාවේ විකට් හෝ ගාලා යනවා. ඒක දැකලා මෙයාටත් අයියෝ කියැවුණා.

ටිකට් ගණන් කියලා සීගිරි යන්නැතුව පිදුරංගල ගියාලු

මෙන්න මේ දෙන්නත් මේ දවස්වල ඉන්නේ ලංකාවෙ. ඔන්න හබරණ පැත්තෙ තමයි ගිහිල්ලා හිටියේ.

“අපි හබරණ ආවා."

මෙයාලට ඒක තමයි කියන්න ඕනෑ වුණේ. එත් හබරණ කියන වචනය උච්චාරණය කරගන්න බැරුව දෙන්නත් එක්කම රට පටලවගෙන තමා හිටියේ.

මේගොල්ලො කොහොම හරි ගිහිල්ලා නතර වුණේ විලා එකක. ඒ ගෙදර පහළ පවුලක් ජීවත් වෙනවා. ඉඳිආප්ප, බිත්තර කිරි හොදි එක්ක මෙයාලට සුපිරි කෑමවේලක් හම්බවුණා ලංකාවේ විදිහට.

ඊටපස්සේ මෙයාලා ගියේ පිදුරංගල. සීගිරියට යන්නේ නැතුව පිදුරංගල යන්න හේතුව විදිහට මෙයාලා කිව්වේ ටිකට් එකේ ගාණ.

පහුවැනිදා පෝය. මේගොල්ලෝ ගියා අර පවුලේ අයත් එක්ක පන්සලට. පන්සල් ගිහිල්ලා බුදුන් වැඳලා කරලා පන්සලේ තිබුණු දේවලුත් ඉගෙනගෙන තමයි ආවේ.

“පුර හඳ දවස කියලා කියන්නේ ලංකාවේ අයට බොහොම විශේෂ දවසක්. අපි ගියා ඒ අත්දැකීම විඳින්න. මේ පවුලේ අය හරිම කාරුණිකයි. අපිට උපරිමයෙන්ම සංග්‍රහ කළා."

හනිමූන් ට්‍රිප් එක වැදි ගම්මානයකට

අවුරුදු 10ක හනිමූන් ගමනක් යන අපේ යාළුවො දෙන්නා ඔන්න මේ පාර ගියා වැදි ගම්මානයකට. මඟදිම ආදිවාසී ඇත්තෝ දෙන්නෙක්  ගොඩවෙනවා මේගොල්ලන්ගේ වීල් එකට.

ආදිවාසී ඇත්තෝ මෙයාලට දෙසා බෑවා, ගැටුම් බලන්න පුළුවන්, හන්ටින් යන්න පුළුවන් වගේ නොයෙක් කතා. ඒත් මෙයාලා අඩු වියදමින් වැඩ කරගන්න අය කියලා එයාලා දැනගෙන හිටියේ නෑ.
“අපි දඩයම් කරන්නේ එළවළු ජාති විතරයි. මොකද අපි වෙජිටේරියන්."

මේ දෙන්නා උත්තර දුන්නේ හිනා වෙවී.

කොහොම හරි මෙයාලා ආදිවාසී නායකතුමාවත් මුණගැහෙන්න ගියා. කතාබහ කරලා විවිධ දේවල් ඉදිරිපත් කළත් ඒ කිසිම දේකට මේ දෙන්නා නෙවෙයි කැමති වුණේ. ඇත්තටම අපි දන්නවා ඒගොල්ලන්ට එහෙම කැමති වෙන්න පුළුවන්කමකුත් නෑ.
කට්ටියත් එක්ක පින්තූර අරගෙන හිනාවෙලා සතුටුවෙලා දෙන්නත් එක්ක එන්න ආවා. මේ දෙන්නා වගේම තවත් සංචාරකයො පිරිසක් එක්තරා තරගයකට මේ දවස්වල සහභාගිවෙලා ඉන්නවා. එකේ එක එක අභියෝග තියෙනවා. මේ දෙන්නත් මේ ගමන යන්නේ ඒ අභියෝග එකිනෙක ඉටුකරන ගමන්.

I චමිඳු