2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

ඇය කවදාවත් මට වෛර කළේ නෑ - වාසනා බණ්ඩාර

 2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 116

Q වාසනා... ළඟදී පාඨලීට ගීතයක් නිර්මාණය කළා නේද?

ඔව්. නොවැම්බර් මාසයේදී මගේ මුල්ම ගීතය එළිදැක්වූවා. ඒක ''පාඨලී'' කියලා තමයි නම් කළේ. ඒක ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ ''නාඩගම්කාරයෝ'' ටෙලිනාට්‍යයත් එක්ක සම්බන්ධ වුණ කතාවක්. ඒකේදී ''සුරංග'' කියන චරිතය රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ''නාඩගම්කාරයෝ'' නාට්‍යය විකාශනය වෙලා අවුරුදු එකහමාරකට විතර පස්සේ තමයි මේ ගීතය නිර්මාණය වුණේ. මම ගායකයෙක් නෙමෙයි. මම සෞන්දර්ය විෂය පුංචි කාලේ පාසැලෙන් හැදෑරුවාට පස්සේ දීර්ඝව ඒ විෂය හදාරලා නැහැ. මාව ගායකයෙක් කළේ පානදුරේ Classic Boys සංගීත කණ්ඩායමේ දර්ශන විරාජ් කියන සහෝදරයායි. ඔහු තමයි සුරංග අයියෝ ඔයා මේ දවස්වල ජනප්‍රියයිනේ. ඒ නිසා අපිත් එක්ක සිංදු කියන්න එන්න කියලා යෝජනාවක් කළේ. ඒ කළ යෝජනාවෙන් ඒ සංගීත කණ්ඩායමත් එක්ක අපේ පැරැණි ශිල්පීන්ගේ ගීත ගායනා කළා.

Q මේ ගීතය වාසනා කියලා ලියව ගත්ත ගීතයක්ද...?

නැහැ. එහෙම නාඩගම්කාරයෝ නාට්‍ය අලලා ගීතයක් ලියවගන්න මම තීරණය කළේ නැහැ. මාව උනන්දු කරවලා, ආසාව ඇතිකරලා මට මේ හැමදේම ලබලා දුන්නේ දර්ශන විරාජ් සහෝදරයායි. ඒ ගීතය රොෂාන් පෙරේරා සහෝදරයා ලියලා මට දුන්නාට පස්සේ මොනතරම් මේ නාඩගම්කාරයෝ නාට්‍යය නරඹලා, රසවිඳලා තියෙන කෙනෙක්ද කියලා මට තේරුණා. ඔහු පුදුම ලස්සනට ලියලා තිබුණා. ඊටපස්සේ මේ ගීතය සංගීතවත් කළේ අජිත් සංජීව පෙරේරා සහෝදරයායි.

Q මේ ගීතයේ රූප රචනාවේදී සෙනාලි ෆොන්සේකාත් එකතුවෙන්න කැමැත්තෙන් හිටියා නේද?

ඔව්. මුලින්ම ගීතය සංගීතවත් කළාට පස්සේ නාඩගම්කාරයෝ නාට්‍යයේ කොටස් කිහිපයකින් විෂුවල් එකක් කරන්න අපිට හිතුණා. මෙච්චර හොඳ ගීතයක් නිර්මාණය කරපු එකේ වෙනම විෂුවල් එකක් කරමු කියලා අපි තීරණය කළා. නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ ''පාඨලී''ගේ චරිතයට රඟපෑවේ සෙනාලි ෆොන්සේකා නිසා මම සෙනාලිට මේ නිර්මාණයට ආරාධනා කළා. සෙනාලි නංගි හරිම කැමැත්තෙන් ඒකට සම්බන්ධ වෙන්න කැමැති වුණා. නමුත් අපිට මේ විෂුවල් එක කරන්න ටික දවසක් ගතවුණා. ඔය අතරේ සෙනාලි නංගිගේ අම්මා අසනීප වුණා. ඒකත් එක්ක සෙනාලිට මේ විෂුවල් එකට සහභාගි වෙන්න බැරිවුණා. සෙනාලිගේ සහභාගීත්වය නැති නිසා අපි වෙන විදිහේ රූප රාමුවක් ''පාඨලී'' ගීතයට එකතු කළා. ඒ අනුව තමයි දසුනි සිනෙත්මා නංගි මේ ගීතයේ රූප රාමුවලට එකතු වුණේ. මේ විෂුවල් එක අධ්‍යක්ෂණය කළේ ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායකයි. කලා අධ්‍යක්ෂණය මනෝජ් වික්‍රමසිංහගෙයි. ඒ වගේම නාට්‍යයේ ගීතය අහපු වෙලාවේ සිට ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා මාව පුදුම විදිහට ධෛර්යමත් කළා. ඒක මට ලොකු ශක්තියක්. ඒ වගේම ආර්ථිකය පැත්තෙන් මට විශාල දායකත්වයක් චින්තන ශ්‍රීමාල්ගෙන් ලැබුණා. නොහිතපු වෙලාවක, නොහිතපු කාලයක මම ගායකයෙක් වුණා.

Q නළුවෙක් වෙන්න ආස කළේ පුංචි කාලේ ඉඳන්මද...?

ඔව් පුංචි කාලේම මගේ ලොකුම ආසාව නළුවෙක් වෙන එකයි. අධ්‍යාපනය හදාරද්දී පාසැලේ මේ විෂය ඉගෙන ගනිද්දී මෙය ඉගෙන ගෙන කළයුතු කලාවක් කියලා මම තේරුම් ගත්තා. ඒ නිසා නළුකම අතහැරලා කලාව පිළිබඳ සියලුම අංශයන් පිළිබඳව අධ්‍යයනය කරන්නට මම පෙළඹුණා. ඔය අතරේ මට ජීවිතේ නොයෙකුත් රස්සාවල් ලැබුණා. නමුත් ඒ එකම රස්සාවක්වත් මම කළේ නැහැ. කලාවත් එක්ක ඉන්න තිබෙන ආසාව නිසාම මම අංග රචනා ශිල්පියෙක් විදිහට වැඩ කරන්නට පටන් ගත්තා. නළුවෙක් වුණාම දවස් දහයක රූගත කිරීමකදී නළුවෙකුට හෝ නිළියකට ඒ දවස් දහයම ලැබෙන්නේ නැහැ. නමුත් නාට්‍යයක අංග රචනා ශිල්පියාට ඒ අදාළ හැම දවසක්ම අදාළ වෙනවා. ඒ නිසාම මම අංග රචනා ශිල්පියෙක් වෙන්න ආස කළා.

Q වාසනා ළමා කාලයේදීත් නළුවෙක්ද?

ඔව්නේ. දන්න කාලයේ ඉඳන්ම මම නළුවෙක්. පුංචි කාලයේදී පාසැලේදී ගුරුවරුන්ගෙන් මම ගැන චෝදනාවක් දෙමව්පියන්ට ආවා නම් ඒකට ප්‍රධාන හේතුව අනුකරණයයි. පන්තියේ අපිට උගන්වන්නට එන ගුරුවරයාගේ හැසිරීම අනුකරණය කරලා මුළු පන්තියම හිනා ගස්වලා මම ගුරුවරුන්ගෙන් බැණුම් අනන්තවත් අහලා තිබෙනවා. මට මතකයි දවසක් කලාප කාර්යාලයෙන් අධීක්ෂණ මහත්තයෙක් අපේ පන්තියට ආවා. ඔහු ගීතයක් ගායනා කරන්න, නිර්මාණයක් කරන්න පන්තියේ අපිට අවස්ථාව දුන්නා. එදා මම පන්තියේ ඉස්සරහට ගිහින් ''ළමයි නැගිටින්න. ආයුබෝවන්. හරි  එහෙනම් ළමයි ඔයාලගේ වැඩක් කරගන්න'' කියලා ගුරුතුමී වගේ කොට්ට උරයක් මහන, පොතක් බලන, දර්ශනයක් රඟපාලා පෙන්නුවා. එදා මගේ පන්ති බාර ගුරුතුමී ගොඩක් අපහසුතාවයට පත්වෙන්න ඇති. එදා මට ඒක නොතේරුණාට අද මට ඒක හොඳටෝම තේරෙනවා. එදා අධීක්ෂකවරයා ප්‍රින්සිපල්ට විස්තරය කියලා ''මීට වඩා පාසැලේ ගුරුවරු ගැන අවධානයෙන් සැලකිල්ලෙන් ඉන්න'' කියලා තිබෙනවා. හැබැයි ඒ පන්ති බාර ගුරුතුමී කවදාවත් මට වෛර කළේ නැහැ. මට දඬුවම් කළේ නැහැ. මම මුලින්ම කුඹුක්වැව මහ විදුහලේ ඉගෙන ගත්තා. ශිෂ්‍යත්වය සමත්වෙලා මම ඉබ්බාගමුව මධ්‍ය මහ විදුහලට ඇතුළත් වුණා. පාසැලේ හය වසරේ සිට මම නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තා. සාමාන්‍ය පෙළට නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තා. උසස් පෙළට නාට්‍ය හා රංග කලාව හදාරන්නට තව ළමයෙක්වත්, ගුරුවරයෙක්වත් හිටියේ නැහැ. හැබැයි මගේ පාසැල් විදුහල්පතිතුමන් කලාප කාර්යාලයට ලියුමක් යවලා මට මේ විෂය හදාරන්නට අවස්ථාව ලබලා දුන්නා.

Q මේ දිනවල දායක වෙලා තිබෙන නිර්මාණ මොනවාද?

නාඩගම්කාරයෝ යන අතරේ මට නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. නමුත් මම වේෂ නිරුපණ ශිල්පියෙක්. ඒ නිසා මගේ වෘත්තිය මඟහරවා ගන්න කැමැති නැහැ. ඒ නිසා මම වේෂ නිරූපණ ශිල්පියෙක් ලෙසින් කටයුතු කරන නිර්මාණයකට මම කළ හැකි චරිතයක් මට ලැබුණොත් කරන්න තීරණය කළා. මේ දිනවල ප්‍රදීප් ධර්මදාස අධ්‍යක්ෂණය කරන ''දිව්‍යාංජනී'' ටෙලිනාට්‍යයට මම රංගනයෙන් දායක වෙනවා.

Q වාසනා... පවුලට වාසනාව ගෙනාපු බිරිඳ දරු දෙන්නා ගැනත් කියමු?

ඔව්. මගේ බිරිඳ ඔෂානි තෙන්නකෝන්. ඇය පුත්තලම අධ්‍යාපන කලාප කාර්යාලයේ සේවය කරනවා. අපිට දරුවන් දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා එක වසරේ. පොඩි පුතාට දැන් වයස අවුරුදු තුනහමාරයි. කලාවේ මට මේ ගමන යෙදෙන්නට මට ලොකුම හයිය වුණේ මගේ බිරිඳයි. තමන්ගේ රුකියාව කරන අතරතුරේ දරුවන්ගේ වැඩ, ගෙදර වැඩ, මගේ වැඩ කරමින් මට නිදහසේ මගේ කලා කටයුතු කරගෙන යන්නට ඇගෙන් ලොකු හයියක් ලැබෙනවා.

I දිශානි ජයමාලි