2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

ඉසා.... ඉතින් යන්න ගිහින්

 2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 47

 සුමින්ද සිරිසේන රංග වේදියාණෙනි සුබ සංසාර ගමනක්! 

ඉසා ඉතින් යන්න ගිහින්...

ඉසා කෙසේ කොහේ ගියාදැයි දන්නේ කවුරුන්ද?

ආ දුර කොතෙක්ද කියන්න නොදන්න සංසාර ගමනේ ආ තැන් සේම යන තැන්ද නොදන්නවා නොවේද අපි...

පැමිණීම සතුටකි... හැරයාම වේදනාවකි.... එහෙත් පැමිණි සියල්ලෝ කවදා කවර මොහොතකදී හෝ නික්ම යා යුතුමය. ඉතින් ඉසා ඒ නියත දහමට අවසඟව යා නොහැකි සඳ 1948 ජූලි 4 වැනිදා ඇරඹි දිවිසැරිය 2023 දෙසැම්බර් 4 වැනිදා සඳුදා නිම කළේය. ලෝකයේ .... යමක් වේද ඒ සියල්ල දිනෙක අවසන් වනු ඇත. ඒ අවසන් වෙන ඒ කිසිවක් කෙළවර නොවේ... අවසානයක් මිස කෙළවරක් කිසිදා කිසිවක් සතු නොවේමැයි...

ඉතින් එසඳ හැරගෙන පැමිණි ජීවිනයේ ද්වාරය වසා දැමූ තවත් සංසාර මාවතකට අවතීර්ණව ජීවිතයේ පාර දිග ඇවිද යා යුතුමය.

75 වසරක දිවිසැරිය තුළ ඉසාගේ සෞන්දර්යාත්මක සංසරණයේ සිනමාමය සම්ප්‍රාප්තිය සනිටුහන් වූයේ 1976 වසරේදී තිරගත වූ විජය ධර්ම ශ්‍රී ගේ දුහුල් මලක් සිනමා කාව්‍ය ඔස්සේය. සප්ත කන්‍යා, සමනල තටු, උත්පලවන්නා, යකඩ පිහාටු ඇතුළු සිනමා වියමන් තුළ සුමින්ද සිරිසේන සලකුණ සටහන් කළ අතර පුංචි තිරයේ කවුළු පියන්පත් මෙම රංගවේදියාට විවර වුණේ 1985 දී තිරගත වූ සිහින නිම්නය විසූක දස්සනය ඔස්සේය.

කුමාරිහාමි, අසල්වැසියෝ, හිරුට මුවාවෙන් ඇතුළු විසූක දස්සන හතළිහකට වැඩි සංඛ්‍යාවකට තම රංග මිශ්‍රණය මුදාහළ සුමින්ද චරිත තුනක්හි ඉසාගේ රංගනය ඔස්සේ ප්‍රතිභාත්මක සලකුණක් රංගනවේදය තුළ අක්ෂර ගත කළ වග ඉසා ගැන මතකය තවමත් ඔබ සතු නම් මේ මොහොතේත් සිහිපත් වනු ඇත.

වේදිකාවේ හදවත ඔහු සිප ගත්තේ පුස්සැල්ලාව මහා විද්‍යාලයේ සහ තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේදීය. නාට්‍ය සහ වේදිකාව යනු කුමක්දැයි නිර්වචනය කරගන්නා නාට්‍යමය අක්ෂරවේදය සුමින්දට ඉගැන්වූ ශාස්ත්‍රීය නවාතැන ලෙස ඔහු හැමදාමත් හැඳින්වූයේ තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයයි.

මව්බස පොත කුමාරොදය දිගහැරි සඳ පිටු මත අකුරෙන් ලියැවුණු නාට්‍යමය ජවනිකා දන්නා නුවණින් චිත්‍රණය කළ පාසල් වේදිකාව ඔහුගේ වේදිකා රංගනයේ සමාරම්භයයි.

ආරියවංශ රණවීර, ජයසුමන දිසානායක, දයා අල්විස් වැන්නන්ගේ ඇසුරෙන් නාට්‍යමය උල්පත් පෝෂණයට එක්වූ දිය දහරාවන් වඩාත් සාරාර්ථවත් වූසේ ම ආරියවංශ රණවීරගේ ගිරිකූට නාට්‍යයේ සීගිරි කාශ්‍යප චරිතය වේදිකාවේ ඇරඹුම සටහන් කළේය.

ඉනික්බිති ප්‍රසිද්ධ වේදිකාවේ මූදු පුත්තුහි දියෝනිස් ලෙස ලද විවරණය ඔස්සේ ඇරඹි ගමන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ මහාසාර, කදාවළලු, මනමේ, භව කඩතුරාව, නාමෙල් වීරමුණිගේ වංසක්කාරයෝ, රංජිත් ධර්මකීර්තිගේ හස්තිරාජ මහත්තයා, හිරු නැති ලොව, ආඬි රුලේ නාඩගම, මේඝ, ධම්ම ජාගොඩගේ වෙස් මුහුණු සමන් සුසිරිගේ තක්සලා නාඩගම, ෆීලික්ස් ප්‍රේමවර්ධනගේ අන්ධකාරය, තිලක් ගුණවර්ධනගේ කොත්තනෝනා සමුගැනීම, සෝමපාල ගංහේගේ නාඩගම්කාරයෝ, දයානන්ද ගුණවර්ධනගේ අන්දරේලා, පරාක්‍රම නිරිඇල්ලගේ විනිශ්චය, මියුරි සමරසිංහගේ සපතේරු හාමිනේ, සුසිල් ගුණරත්නගේ මුහුණු දෙකක්, සෝමරත්න දිසානායකගේ මීපුර වැසියෝ ලෙස විදාහල රංගනයේ සුවිශේෂිතා 70 දශකයේ සිංහල වේදිකාව සරසනු වස් සබැඳි මහා පවුරක්ම වූයේය.

පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තියෙනවා....
මත්තටත් තවත් ලියනට හිතේ ඇඳීලා
ඇත්ත නැත්ත ගැන මම නෑ වෙහෙසෙන්නේ...
නිතරම පත්තරේට මගෙනුයි විස්තර යන්නේ

පුස්තකාලෙටයි කාලය ගත වෙන්නේ
ඒකයි ගත්කතුයි කියා කවුරුත් අමතන්නේ
අන් විදෙස්වලත් තොරතුරු සපයන්නේ
ඔහෙලට මං නැතොත් වෙන කවුරුද ඉන්නේ

කාණුවෙත් නොයෙක් බිහිසුණු වැඩ වෙන්නේ
ඒ පුවත් පාලනේ මගින් කැපිලයි පලවෙන්නේ

මීපුර වැසියෝ මීපතිට ජීවනය දෙමින් සුමින්ද ගැයූ මේ ගීය එදාසේම අදත් එකසේ ජනප්‍රියයි. සෝමරත්න දිසානායක ලියා රෝහණ බැද්දගේ සංනාදවත් කළ ඒ ගීය සුමින්ද සිරිසේන ගැයුවේය. ඒ හඬ මේ මොහොතේත් මා සවන් මත රුව් පිළිරුව් දී ඇසෙයි.

පීඩනය යනු සොබාදහමේ එක්තරා සොඳුරු නියතයකි. සොඳුරු නියමයකි. එය ඉවසා දරාගත හැකි සඳ ශේෂ්‍ ය සොඳුරු වෙන තැන් එමටය. දියමන්තියක් පොළොව තුළ උපදින්නේ ඒ අයුරින් දරාගත් අසමාන පීඩනයක සොඳුරුතම නිමැවුමක් වශයෙනි.
ඉසා, පුංචි රාළ, මීපති එසේ ජීවිතය රෝද පුටුවකට වාරු කර ගෙවුණු වසර ගණනාවක් මුළුල්ලේත් ඉවසා දරාගත් අප්‍රමාණ මිනිසෙකි. කලාවේ දියවරට බොහෝ උල්පත් රංගනය හා ආත්මීයව හුස්ම ගනිමින් සැදූ මිනිසෙකි. තිළිණ කළ මිනිසෙකි. එහෙත් අප එන්නේම යනු පිණිසමය.

ආ දුරවත් යා යුතු දුරවත් ආ තැන්වත් යා යුතු තැන්වත් නොදන්නා අනන්ත සංසාර මඟදී ඔබ පැතූ ජීවිතයක් වෙත්නම් එයම ඔබට හමුවේවා....
ඉසා... ඉතින් සුබ රාත්‍රියක්!

I සංජීවිකා
සේයාරූ I සුමුදු හේවාපතිරණ