2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

අසීමාන්තය

 2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 40

සිහිනයෙන් ඇහැරන්න නොසිතේවි
පෙම්බරා...
ගිනිගන්න උණුහුමක් දැනෙද්දි 
නුඹෙ පිරිමි පපුව පතුලෙන්
මගේ වම් කම්ඹුලට...

නිදියන්න ඉඩදෙන්න
සුවයහන මට එතැන....

මල් තුහින ඉහිරිච්ච හීන දිග
ඇවිදිද්දී පෙම්බරා 
හදගැස්ම දැනෙන තැන නැවතුණේ 
නොඅසාම කිසිවක් ම...
තනිවුණේ නොරිකො සං
විතරක් ද පෙම්බරා...
මුලක් මිස අගක් නැති 
කඳුළු පෙම් කතාවල...

පෙරවදන් පසුවදන් කුමකටද පෙම්බරා 
ඉල්ලුවේ ආදරය විතරමයි නූපලා
ජීවිතයේ අකුරු දිග පිටු ගණන් කියවද්දි 
හමුවුණේ වැඩියෙන්ම 
ගල්වෙච්ච කඳුළු කැට
ගෑනු හිත් ඇඬුවේම ආදරය ඉල්ලලා...

දම් පාට ළා සඳට පෙම් බැන්ඳ හීනවල
කවිකාර සඳ පලුව නුඹ යි මගෙ පෙම්බරා 
නොඉල්ලමි කිසිවක්ම හැරෙන්නට ආදරය 
ඉසුරු මට අවැසි නැත ප්‍රේමයක් දැනෙන තැන