2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

නංගිලාගේ පින්තූරෙටත් හොට දාපු සුදු අයියා...

 2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 100

 පැණි කජ්ජට වහ වැටෙයි... වටේටම කජ්ජ බෙදයි 
 ඔයා ද බොස් මෙයා ද බොස්? අපි ඔක්කොම බොස්ලා තමයි 

කෑමෙන් කෑම හොඳම කෑම ලංකාවේ කෑම කියලා ආපු වෙලාවෙ ඉඳන්ම කෑම කන අපේ සුදු යාළුවා ඔන්න මේ පාර වැඩේ පටන් ගත්තෙ ගෝල්ෆේස් එකේ.

“ලංකාවේ අයිස්ක්‍රීම් එකක් කන්න ඕනෑ"

එහෙම කියලා ආවා අයිස්ක්‍රීම් කරත්තයක් ළඟට. මෙයා එනකොටම තව එක්කෙනෙක් එතැනට හෙමිහිට සේන්දු වුණා.

“ඔයා ද බොස් මෙයා ද බොස්?"
“අපි ඔක්කොම බොස්ලා තමයි"

අහපු කෙනා හිනාවෙලා අපේ යාළුවට ප්‍රතිචාර දැක්වුවා.

කොහොම හරි රුපියල් 180ක් දීලා කෝන් අයිස්ක්‍රීම් එකක් මෙයා ගත්තා. ඊටපස්සේ අර ආගන්තුක පුද්ගයා කොවිඩ් වසංගතය ගැන රස්සා නැතිවෙච්ච විදිහ ගැන කතා කරන්න ගත්තා.

“මට ඕනෑ නම් පුළුවන් දවසෙම මඟ පෙන්වන්න"

ඇත්තටම එයාට ඕනෑවෙලා තිබුණේ ඒක. අපේ සුදු යාළුවට නොතේරුණා නෙවෙයි කතාව. හැබැයි ලොකුවට බලපෑමක් කළේ නැති හින්දා එයා එතැනින් හෙමිහිට මාරු වුණා.

“මේ බලන්න මෙහේ කාලතුවක්කු ගොඩක් තියෙනවා"

එහෙම කිය කියා සුදු යාළුවා ඉස්සරහට වෙද්දි ලංකාවේ පොඩි නංගිලා ටික දෙනෙක් කාලතුවක්කුවක් ඉස්සරහ සෙල්ෆියක් ගහන්න හදනවා. 

“ඔය ෆෝන් එක මට දෙන්න. ඕගොල්ලෝ ඔක්කොගෙම ෆොටෝ මම ගහලා දෙන්නම්"

එහෙම කියලා අපේ යාළුවා නංගිලාට උදව් කරන්න ගියා. නංගිලත් සුදු යාළුවට අවස්ථාවක් දුන්නා. සුදු යාළුවාගේ කැමරාව නංගි අතට දීලා එයාගේ කැමරාව යාළුවා අතට ගත්තා. අයිස්ක්‍රීම් එකක් අතේ තියාගෙන තමයි ෆොටෝ ටික ගත්තෙ. 

“බොහොම ස්තූතියි"

අපේ නංගිලා ටික එහෙම තමයි මෙයාට ප්‍රතිචාර දැක්වුවේ.

“ස්තුතියි කියන්න ඉස්සෙල්ලා ෆොටෝ ටික පොඩ්ඩක් බලන්න. එකක් හෙල්ලුණාද කොහෙද? ෆොටෝ ටික කැතයි නම් යනවා යන්න කියලා මට කියන්න"

කොහොම වුණත් අපිට නංගිලා නම් මෙහෙම කිව්වේ නෑ. ෆොටෝ එකත් ලස්සනයි කියලා මෙයාට පෙන්නුවත් එක්ක.

කලින් හම්බවෙච්ච එක්කෙනා කියපු දේවල් පිළිබඳව මෙයා හොඳ විචාරයක් ඉදිරිපත් කළා. එහෙම ලංකාව ගැන කතා කර කර ඉස්සරහට යද්දි මෙන්න මෙයාට හම්බවුණා කොත්තුමී ලොරියක්.

“ස්පයිසි මැගී.. ඕ මට වෙලාව තියෙනවා. මට කෙටි ආහාර වේලක් ලබාගන්න පුළුවන්."

සොසේජස් නැතුව තමා මෙයා මැගී එක ඉල්ලුවේ. ලොරියේ අය විනාඩි හතරක් ඉල්ලුවා වැඩේ සම්පූර්ණයෙන් ඉවර කරලා දෙන්න.

“විනාඩි හතරක් නෙවෙයි විනාඩි පහක් විතර තියෙනවා. ඒත් මේ අව්වේ ඉන්න බෑ මට හෙවණක් හොයාගන්න ඕනෑ"

මෙයා මෙතැන හෙවනක් හොයාගන්නත් උත්සාහ කළා.

“මෙතැන හෙවනක් නෑ. මේ වගේ බලන් ඉන්නත් අමාරුයි.. ඒත් අපිට කාලගුණේ වෙනස් කරන්න බෑ"

මිනිත්තුවෙන් මිනිත්තුව කල් දාලා මිනිත්තු දහයක් පහළොවක් විතර ගත වුණා.

“මේ රස්නෙන් මට මෙතැන ඉන්න අමාරුයි. චූටි මැගී එකක් වෙනුවෙන් මම සෑහෙන්න වෙලාවක් බලන් හිටියා. මේගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා උණුවතුර වගේ දෙයක් ගැන"

කොහොම වුණත් මේ වෙනකොට සල්ලි දීලා ඉවරවෙලා තිබුණු නිසා යාළුවා උත්සාහ කළේ එතැන හිටපු අසරණ මනුස්සයෙක්ට මැගී එක දෙන්න කියලා යන්න.

“ඔයාට බඩගිනිද?”

එතැන හිටපු යාචකයෙක්ගෙන් එහෙම අහලා ලොරිය ළඟට යනකොටම මෙන්න අපේ සුදු යාළුවා අතට මැගී එක දුන්නා ලොරියෙ අය. ගිනි මද්දහනේ බලාගෙන ඉඳලා අතට ගත්ත මැගී එක අනිත් පැත්ත හැරිලා අපේ යාළුවා දුන්නා අර යාචකයාට.
“ඕ හරිම රස්නෙයි.. මට මොනවා හරි නැවුම් දෙයක් කන්න ඕනෑ"

මෙයා ඊටපස්සේ ආයෙත් ගෝල්ෆේස් එකේ ඇවිදින්න පටන් ගත්තා. පළතුරු විකුණන ඇන්ටි කෙනෙක් ළඟට ගියා.

“මොනවද තියෙන්නේ?”
“අඹ තියෙනවා.. අන්නාසි තියෙනවා"
“එතකොට මේ මොනවද?

ඇන්ටි ළඟ තිබුණු බුලත්විට වගයක් පෙන්නලා අපේ සුදු යාළුවා ඇහුවා. බුලත්විට ගැන තේරුම් කරන එක ඇන්ටිටත් පහසු වුණේ නෑ. තේරුම් ගන්න එක අපේ යාළුවට පහසු වුණෙත් නෑ. අන්තිමට එයාට තේරුණා මේ කට රතුවෙන ලංකාවේ තියෙන අමුතු ජාතිය කියලා.

“ඕ මේක වෙන දවසක උත්සාහ කරමු" 

කොහොම හරි මෙතැන තිබුණු පැණි කජු එකකුත් අතට අරගෙන ඒ ගැනත් මෙයා අහනවා. ඔන්න ඔතැනදි බයිසිකලෙන් අයිස්ක්‍රීම් විකුණන මාමා කෙනෙක් ආවා.

“මේවා හොඳ අයිස්ක්‍රීම්ද?”

විහිළුවට වගේ එහෙම ඇහුවත් තමන් අයිස්ක්‍රීම් එකක් කාලා තමයි මේ පැත්තට ආවෙ කියලා අපේ සුදු යාළුවා කිව්වා. ඊටපස්සේ අයිස්ක්‍රීම් විකුණු අංකල්ටත් පැණි කජු පැකට් එකක් අරගෙන දුන්නා. මෙයත් දෙකක්ම අරගත්තා. එකක් සාක්කුවේ දාගත්තා. ඇන්ටිට රුපියල් 300ක් දීලා හිනා වෙලා මෙතැනින් පිටත් වුණා.

ඊටපස්සේ මෙයාට සිද්ධ වුණේ අකරතැබ්බයක්. අර නූඩ්ලස් එක අරන් දීපු යාචකයා මෙයාගේ පස්සෙන් එනවා සල්ලි ඉල්ලලා.

“මම ඔයාට කෑම අරන් දුන්නනේ"

ඒත් කරදරේ නම් ඉවර වෙන්නේ නෑ. කජු පොඩ්ඩක් දෙන්න හැදුවත් ඒක නෙවෙයි ඉල්ලන්නේ සල්ලිමයි.

“මගේ ළඟ 'අන්ලිමිටඩ් මනී' නෑ"

නිදහසේ කජු කෑල්ලක් කන්න පොල් ගහක් යට බංකුවක වාඩිවෙන්න හැදුවත් ඒකට අවස්ථාවක් දෙන පාටක් නෑ. කොහොම හරි අර යාචකයා ගියාට පස්සේ මෙයා වාඩිවෙලා කජු එක කෑවා.

“එකක් රුපියල් හතළිහයි"

කොහොම හරි මේකේ නම් 'ස්ට්‍රෝන් ටේස්ට්' එකක්  තියෙනවා කියලා තමයි අපේ යාළුවා කිව්වේ. කජු කකා ඉස්සරහට එනකොට මෙන්න තව දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් නැගිටලා අයිස්ක්‍රීම් එකක් කනවා. එක්කෙනෙක් වාඩිවෙලා ඉන්නවා.

“ඔයාට අයිස්ක්‍රීම් එකක් ඕනද?" 

වාඩිවෙලා ඉන්න එක්කෙනාගෙන් අපේ සුදු යාළුවා ඇහුවා. එපා කිව්වා. දැන් සුදු යාළුවට ප්‍රශ්නේ අනිත් කෙනා කද්දි මෙයා නිකම් ඉන්න එක ගැන. එහෙනම් මේක කන්න. අතේ තිබුණු අලුත් කජු එක තමා ඊළඟට වාඩිවෙලා ඉන්න කෙනාට දුන්නේ.

“එහෙනම් මට භාගයක් දෙන්න"

“එහෙනම් ඔයා ඉතුරු බාගේ මේ අයිස්ක්‍රීම් කන එක්කෙනත් එක්ක 'ශෙයා' කරගන්න"

එක එක ජාතියේ මිනිස්සු හම්බවෙන, මඟ පුරාම කන බොන යාළුවගේ ගමන මෙතැනින් ඉවර වුණේ නෑ.  එයා කොටුව පැත්තට ගිහිල්ලා කොළඹ තවත් තැන්වල ඇවිදලා එක එක ජාති කෑවා.

I නිසල්