2024 ජනවාරි 06 වන සෙනසුරාදා

භව දොර හැර නික්ම ගිය සිංහයා

 2024 ජනවාරි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 75

රංග භූමියේදී ජැක්සන් ඇන්තනීගේ අවසන් සේයාරූ ගත් මිහායි ඉසුරුගේ හැඟුම්බර මතකයෙන්...

සිංහයා ගමක් දෙදරවන්නට කෑ ගැසුවේය. රාත්‍රියේ කළුවර බිඳගෙන ඒ සිංහයාගේ හඬ හැම අතම රැව්පිළි රැව් දුන්නේය. ඒ සිංහයා පේවී උන්නේ සිංහබාහු සිනමා සිත්තම වෙනුවෙනි.

සිතුවේ ද කවුරුන් හෝ ඒ සිංහයාගේ හඬ ඒ අයුරින් සවන් පත් මත ගැටෙන අවසන් දවස, අවසන් රාත්‍රිය, අවසන් හෝරාව, අවසන් තත්ත්පර කිහිපය සහ අවසන් රංග භූමිය එය වේ යැයි කියා. එහෙත් අවැසි සියල්ලම ජීවිතය නොවන සඳ එය එසේම වූයේය. අනුරාධපුරයේ හස්තිකුච්චියේ සිට සිංහයා නැගූ ඒ හඬ යළි අසන්නට මිහායි ඉසුරු ඔබටත් මටත් කිසිවෙකුටවත් යළිත් නම් නොහැකිමය. ගමක් දෙදරවන්නට කෑගසන්නට තියා ඇසෙන නෑසෙන හඬින් කුමක් හෝ කියා උරහිසට තට්ටුවක් දමන්නට හෝ යළි කවදාවත් ඔහු නොපැමිණේවි. සෝමරත්න දිසානායක සිනමාවේදියාගේ සිංහබාහු සිනමා වියමන හස්තිකුච්චියේ රූගත කිරීම් කරද්දී එහි නිශ්චල ඡායාරූප ශිල්පියා ලෙස සිනමාමය දායකත්වය සැපයුවේ මිහායි ඉසුරුය. එදා සිනමාමය අත්දැකීමක් සමඟම මුල්ම වතාවට රංග තලයක් තුළ මිහායිට හමුවූ සිංහ වෙස් ගත් ජැක්සන් ඇන්තනී කලාවේදියාණන් මුල්වරට මිහායිට මුණගැසුණේ University college of Rathmalana හි දීය. 

Q මිහායි ඒ මතක දිගේ ඇවිදිමු?

ජැක්සන් සර් ඇඩ්‍රස් නෑ චිත්‍රපටය ඉවර වෙච්ච කාලෙම තමා ගුරුවරයෙක් විදිහට අපිට උගන්වන්න ආවේ. සර් හුඟාක් ඉගැන්වුවේ අත්දැකීම් එක්ක. හරිම සුහදශීලීයි. අවශ්‍ය දේ නිවැරදිවම කතා කළා. ඡායාරූපයක් ගත්තම සර් ඒක බලලා මේක හොඳයි, ආ මේ තියෙන්නෙ, නියමයි... ඒ වගේ ප්‍රතිචාර දුන්නා. 

 සිංහවෙසින් සැරසෙන්නට පෙර රංගභූමියට අවසන් වරට පැමිණි පසු ගත් සේයාරුව 

Q ඒ ගුරුවරයා ඔබට නැවත මුණගැසෙන්නෙ රංග භූමියකදී. ඒ ඔහු ඔබටත් සැමටත් මුණගැසුණු අවසාන දවස. ඒ මතක දිගේ ආයෙත් ඇවිදිමු?

එදා අනුරාධපුරේ හස්තකුච්චියේදී ආචාර්ය සෝමරත්න දිසානායක මහතාගේ සිංහබාහු චිත්‍රපටය රූගත කිරීම් කරද්දි මම තමයි නිශ්චල ඡායාරූප ශිල්පියා. සර් එදා අවසන් වරට ''ලොකේෂන්'' එකට ආව වෙලාවෙ මම පින්තූරයක් ගත්තා. සර් සිංහයා විදිහට ලෑස්ති වෙන්න ඉස්සර මම හිතන්නෙ සාමාන්‍ය ඇඳුමකින් සර්ගෙ ගත්ත අන්තිම පින්තූරෙත් ඒක වෙන්න ඇති. මුළු ගමම දෙදරවන්න කෑ ගහගෙන සර් කන්ද උඩින් එද්දි මම ඡායාරූප ටික ගත්තා. රඟපෑම ඉවර වුණාට පස්සෙ සර් ඇවිත් ''ෆොටෝ'' ටික බැලුවා. ආ මේක හොඳයි මේ තියෙන්නෙ නියමෙට.. ඒ වගේ කියලා ඒ පින්තූර එයාට එවන්න කියලත් කිව්වා. සර් ආපහු යන්න වාහනයට නගින්න විනාඩි පහකට විතර ඉස්සෙල්ලා සෝමරත්න සර්ට කිව්වා මම ටිකක් කලින් යනවා කියලා. හෝටලේ කෑමත් ඕඩර් කරන්න කියලා තමයි සර් එතැන ඉඳන් ගියේ. මම ඒ වෙලාවෙ එතැන හිටියා. ආයෙ හම්බවෙමු කියලා පිටට තට්ටුවකුත් දාලා ගියේ. මමත් වැඩ ඉවරවෙලා ගල්ගමුව පැත්තට ගියා. මම ගිහින් විනාඩි පහක් විතර යද්දි මට පණිවිඩය ආවේ ජැක්සන් සර්ට අනතුරක් වුණා කියලා. සර් පින්තූර එවන්න කීවට සර්ට පින්තූර යවන්න තරම් කාලයක් මට තිබුණෙම නෑ. සර් පිටට තට්ටුවක් දාලා ආයෙ හම්බවෙමු කිව්වට ආයෙ හම්බවෙන්න කාලයක් තිබුණෙ නෑ. ජීවිතේ හැටි එහෙම වෙන්න ඇති.

ගුරුවරයෙක් විදිහට මම හඳුනගත්ත ජැක්සන් සර් නළුවෙක් විදිහට රඟපෑ අන්තිම චිත්‍රපටයේ අන්තිම ඡායාරූප ටික ගත්ත ඡායාරූප ශිල්පියා මම වෙයි කියලත් මම කවදාවත් හිතුවෙ නෑ. සර්ගෙ නළුවෙක් විදිහට ගත්ත ඒ අන්තිම පින්තූර ටිකට මට හිතාගන්න බැරි තරම් ප්‍රතිචාර ලැබුණා. ඒත් ඒ හැම ප්‍රතිචාරයක්ම මම බාරගත්තෙ සර් නෑ නේද කියන දුක්බර හැඟීමෙන්. කලාවේදියෙක් ලෙස සර් සතු වූ දැනුමට, හැකියාවට, ප්‍රතිභාවට හැමදාම මට තිබුණෙ ආදරයක් සහ ගෞරවයක්. අවසානයේදි ඉතුරු වුණේ කවදාවත් අමතක කරන්න බැරි මතක අහුරක්.

I සංජීවිකා