හේතුවක් නැතුව මට බැන්නා
උඹ මාර මැවුම්කරුවෙක් කීවා
ගොක්වලට ජැක්සන් අයියා මාර ආසයි
කළු ගල්වලටත් මාර ආසයි
කඳුළු වැක්කෙරෙද්දීම අයියා වෙනුවෙන්
අන්තිම තොරණ ගොක් කලාවෙන්ම හැදුවා... වල ළඟ සැරසුවා
සම්මානනීය කලා අධ්‍යක්ෂ ධම්මික හේවදුවත්තගේ සංවේදීම මතකයෙන්....
Q ධම්මික... ඔයාට මුලින්ම ජැක්සන්ව මුණගැහුණ දවස මතකද?
ඔව්. මට ජැක්සන් අයියව මුලින්ම මුණගැහුණේ ''ඇහැලේපොළ කුමාරිහාමි'' චිත්‍රපටයේදීයි. අයියා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ චරිතය කළා. ඉංගිරිය ප්‍රදේශයේ මගේ ස්ටුඩියෝවක් තිබුණා. අපි එහේ තමයි ඇහැලේපොළ කුමාරිහාමි චිත්‍රපටයේ සැලැස්ම ගැහුවේ. රාජ සභාවේ මුලින්ම රූගත කළ පළමු දවසේම තමයි ජැක්සන් අයියගේ මුල්ම රූගත කිරීම් යෙදිලා තිබුණේ. අපි පාන්දර වෙනකම් රාජසභාව හැදුවා. රූගත කිරීම් පටන්ගන්න තිබුණේ දහයට විතර. කොහොමටත් ජැක්සන් අයියා රංගනයෙන් එකතුවෙන ඕනෑම නිර්මාණයකදී ඔහු නියමිත වෙලාවට කලින්ම රූගත කිරීම් කරන තැනට ආවා. එදත් ජැක්සන් අයියා උදේ හයහමාරට පමණ සෙට් එකට ඇවිත් හිටියා. ඒ වෙද්දී පාන්දර වෙනකම් මම වැඩකරපු නිසා ලෑස්තිවෙලාම මම ඇඳට වෙලා පොඩ්ඩක් හාන්සි වෙලයි හිටියේ. වෝකි ටෝකි එකත් ළඟ තියාගෙනයි හිටියේ. එකපාරටම වෝකියට කෝල් එකක් ඇවිත් ''ජැක්සන් අයියා ධම්මිකව හොයනවා. ටිග් ගාලා සෙට් එකට එන්න'' කියලා කිව්වා. මට හිතාගන්නවත් බැරිවුණා. මම ඉක්මනට රාජසභාවට ගියා. මාව දැකපු ජැක්සන් අයියා අත්දෙක දෙපැත්තට දිගුකරලා ''කොල්ලෝ.... නියමයි. උඹ කොහොමද මේක කළේ...'' කියලා ඇහුවා.
Q ''ඇහැලේපොළ කුමාරිහාමි'' රූගත කිරීම් අවසානයේදී ධම්මිකට නැවතත් ජැක්සන්ගෙන් දැවැන්ත වැඩකට ආරාධනා ලැබුණා නේද?
ඔව්... ''ඇහැලේපොළ කුමාරිහාමි'' චිත්‍රපටය රූගත කිරීම් අවසන් කරලා මම සතියකට විතර පස්සේ චිත්‍රපටයට ඇන්ටික් ෂොප්වලින් ගත්තු බඩු භාරදෙන්න යමින් ඉඳිද්දී ජැක්සන් අයියගෙන් දුරකථන ඇමතුමක් ආවා. ''ධම්මික... ජැක්සන් අයියා කතා කරන්නේ. කොල්ලෝ මට ඔයාව පොඩ්ඩක් හම්බවෙන්න ඕනේ. මගේ බම්බලපිටිය ඔෆිස් එකට එනවද...? කියලා ඇහුවා. ඒ ඇමතුමෙන් දවසකට පස්සේ මම බම්බලපිටිය ජැක්සන් අයියාගේ කාර්යාලයට ගිහින් ඔහුව මුණගැහුණා.... ඔහු මාව ඉතා සුහදව පිළිඅරගෙන මට දස්කොන් ටෙලිනාට්‍යයේ පිටපත අතට දුන්නා. ඒක මට පුදුමාකාර සතුටක් ගෙන දුන්නා. ''දස්කොන්'' කතාව අපි ඉතා හොඳින් කළා. ජැක්සන් අයියගෙන් අපි බොහෝ දේවල් ඉගෙන ගත්තා. ජැක්සන් අයියා අපිට වේදිකා නාට්‍යවලදී සිදුවුණු සිදුවීම්, අතීත කතා කිව්වා. ඒවායින් අපිට ඉගෙන ගන්න බොහෝ දේවල් තිබුණා. ජැක්සන් අයියා කතා කරද්දී ඒ කට දිහා බලාගෙන ඉන්න මම හරියට ආසා කළා. ඒවායින් අපිට ඉගෙනගන්න බොහෝ දේවල් තිබුණා... සමහර තැන්වලදී ''උඹ මාව හරියට Read කරපු කෙනෙක් කියලා කියපු තැන් තිබුණා.
ජැක්සන් අයියට වැඩකරද්දී වයස කිසිම දෙයක් අදාළ වුණේ නැහැ. අයියා එක්ක ගොඩක් තරැණ පිරිස් වැඩ කළා. උන්ගේ වයස, හැඟීම්, හැකියාවන් හඳුනාගන්නට ලොකු ඉවක් ඔහුට තිබුණා. ජැක්සන් අයියා ළඟ බොහෝ පොත්පත් තිබුණා. ඒවායින් මගේ කලා කටයුතුවලදී අදාළ පොත්පත් මට බලන්න කියවන්න ගෙනැත් දුන්නා. අවශ්‍ය කලා නිර්මාණවල පින්තූර ගෙනැත් දුන්නා. ජැක්සන් අයියාට හොඳ චිත්‍ර ඇඳීමේ හැකියාවක් තිබුණා. ඒ නිසා අවශ්‍ය කලා නිර්මාණ පවා ක්ෂණිකව ඇඳලා ඒවා මට පෙන්නුවා. මුලින් ඒ දේවල් හැම දෙයක්ම හොයලා බලලා මම ට්‍රැක් එකට ආවට පස්සේ ජැක්සන් අයියා මාව අතහැරලා දානවා. ඊටපස්සේ ජැක්සන් අයියගේ හිතේ ඇඳුණ කලා නිර්මාණය මා තුළින් හැඩවෙන බවට ඔහු තුළ විශ්වාසයක් තිබුණා. ''දස්කොන්'' ටෙලිනාට්‍යයෙන් මට හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි සම්මානය ලැබුණා.
Q මේ හැමදේටම කලින් ධම්මික ඔහුගේ නිර්මාණයක රඟපාලා තිබුණා නේද...?
ඔව්නේ. ඒකත් හරි පුදුමාකාර අවස්ථාවක්. ''දස්කොන්'' ටෙලිනාට්‍යය රූගත කිරීම් කරලා මම ගෙදර ආවා. ඒ වෙද්දී ජැක්සන් අයියගේ සුන්දර මතකයන් මා ළඟ තිබුණා. මම ගෙදර ඇවිත් දවස් දෙකකට පස්සේ ජැක්සන් අයියාට ඡායාරූපයක් යැව්වා. ඒ ෆොටෝ එක යවපු ගමන් ජැක්සන් අයියා මට කතා කළා. එහෙම අරගෙන පොඩි ආදරණීය වචනයකුත් කියලා ''ඒයි.... උඹ මට කිව්වෙවත් නැහැ'' කියලා කතාව පටන් ගත්තා. ඉස්සර මට රඟපෑමේ පොඩි ආසාවක් තිබුණා. ජැක්සන් අයියා ''අබා'' චිත්‍රපටය කරද්දී (ඒ කාලේ මම නිර්මාණයක සහය කලා අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කළා) මම අපේ නාරද ධනංජය අයියට හිතවත් මාර්ගයෙන් අබා චිත්‍රපටයේ රඟපාන්න පොඩි අවස්ථාවක් හදාගත්තා. ඒ කාලේ මම කොණ්ඩේ ටිකක් වවලා තිබුණේ. මම ඒකේ හබල කණ්ඩායමට එකතුවෙලා පොඩ්ඩක් රඟපෑවා. හැබැයි ජැක්සන් අයියාට මාව මතකයක් නැහැ. ඉස්සර මම හරි කැහැටු පොඩි කොල්ලෙක්. ඒකෙදී මම ජැක්සන් අයියයි, සුමින්ද අයියයි එක්ක ගත්තු ඡායාරූපයක් තිබුණා. ඒකේ කොපියක් මම ජැක්සන් අයියට යැව්වා. ඒක යවනකම් මම ඒ අතීතය ගැන ජැක්සන් අයියට වචනයක්වත් කිව්වේ නැහැ.
Q ජැක්සන්ගේ පසුකාලීන බොහෝ නිර්මාණවල ධම්මිකට කලා අධ්‍යක්ෂකගේ අවස්ථාව ලැබුණා නේද?
ඔව්. දස්කොන් ටෙලිනාට්‍යයට පස්සේ ඔහුගේ බොහෝ නිර්මාණවල කලා අධ්‍යක්ෂණය මට ලැබුණා. ඊටපස්සේ ''සී රජ'' නමින් ටෙලිනාට්‍යයක් කළා. ඒ වෙද්දී මට කලා අධ්‍යක්ෂණයෙන් උපරිම නිදහස දීලයි තිබුණේ. මම ගැන විශ්වාසයක් ඔහු තුළ තිබුණා. මම හැම නිර්මාණයකදීම අධ්‍යක්ෂකවරයාට පොඩි සප්‍රයිස් එකක් දෙන්න උත්සාහ කළා. ඒක ජැක්සන් අයියා දැනගෙන හිටියා. මට නිර්මාණය ගැන කිව්වා. සමහර ඒවා චිත්‍ර විදිහට ඇඳලා පෙන්නුවා. ඒ ඇඳලා පෙන්නන, කියන චිත්‍රයට වඩා පොඩි බෝනස් එකක් දෙන බව ජැක්සන් අයියා දන්නවා. එයා සෙට් එකට එද්දී ඒ සප්‍රයිස් එක දැකලා අත්දෙක දෙපැත්තට කරලා ''උඹ මාර මැවුම්කරැවෙක්'' කියලා කියන ඒ වචන ටිකට මම හරි ලෝබයි. ඒ වචන ටික මම අහන්න හරි ආසයි. ඒ නිසා ජැක්සන් අයියගේ හැම වැඩකදීම එහෙම මම පොඩි බෝනස් එකක් දුන්නා.
Q ධම්මික ඔය බෝනස් එක දෙන්න ගිහින් ජැක්සන් අයියගෙන් බැනුම් ඇහුවා කියලයි ආරංචිය...?
ඔව්නේ. ඒ ''එකගෙයි සොකරි'' චිත්‍රපටයේදීයි. ඒකේ පටන් ගනිද්දීම ''කොල්ලෝ පොඩි බජට් එකක් තියෙන්නේ. ඒක මතක තියාගනින්'' කියලා කිව්වා. ඔන්න ඉතින් එකගෙයි සොකරි එකේ සෙට් එක මම ගැහුවා. එළියක සොකරි නටන තැනක් තමයි නිර්මාණය කරන්න තිබුණේ. මම පොඩි පලුද්දක්වත් තියාගන්න කැමැති නැහැ. ඉතින් ඔන්න සෙට් එකට ජැක්සන් අයියා ආවා. සෙට් එක දැකලා ජැක්සන් අයියා මට විනාඩි දහයක් විතර බැන්නා. හේතුවකුත් නැහැ. මුහුණේ වැරදි පෙනුමකුත් නැහැ. හැබැයි බැන්නා. මම සොකරි මඩුව හැදුවා. එතැනට එන පාර දිගටම ලස්සනට සැරසුවා. ජැක්සන් අයියා බැනලා බැනලා ''දැන් මම මේ පාර දිගේ ඉඳන්ම ෂූට් කරන්න ඕනෙනේ. දැන් මට මෙතැන ගන්න තියෙන රුකට් ටික වැඩිවෙනවා.'' මේ සොකරි මඩුව පිටපතේ තිබුණේ නැහැනේ...'' කියලා කිව්වා. මට බනින්න හේතුව වුණේ අයියා හිතුවාටත් වඩා හොඳට මම ඒ නිර්මාණය කරපු නිසා කියලා බැණුම් ඇහුවට පස්සෙයි මම දැනගත්තේ.
Q බොහෝ නිර්මාණවල කලා අධ්‍යක්ෂණය කළ ධම්මිකට ජැක්සන්ගේ ජීවිතේ අවසන් ගමන මඟ සැරසිලි කරන්නටත් සිදුවුණා නේද...?
ඔව්.. අදටත් මගේ හිත කම්පා කරවන සිදුවීම ඒකමයි. ජැක්සන් අයියා ගොක්වලට මාර පෙරේතයි. ඒ සාම්ප්‍රදායික කලාවට ඔහු මාරම ආසයි. ඒ වගේම කළුගල්වලටත් මාර ආසයි. එකගෙයි සොකරි කරද්දීත් ''ගොක් නම් ධම්මික... ධම්මික නම් ගොක්...'' කියලා ජැක්සන් අයියා ඇතුළු කට්ටියම මට විහිළු කළා. ඉතින් ජැක්සන් අයියගේ නැතිවීමෙන් ඒ තොරණ ගහන්න වුණෙත් මටයි. අයියා කැමැති විදිහට ගොක් කලාවෙන්ම මම ඒ තොරණ නිර්මාණය කළා. අයියගේ වල ළඟ සැරසුවෙත් මමමයි. අදටත් ඔහු ගැන හිතද්දී ඇස්වලට කඳුළු එනවා.
I දිශානි ජයමාලි