2024 ජනවාරි 06 වන සෙනසුරාදා

රණ්ඩුවෙවී යාළු වුණත් කොන්දේසි විරහිතව හැමදාමත් ආදරෙයි

 2024 ජනවාරි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 162

 සොඳුරු මිතුරු නිල්හාන් සෙනෙවිරත්නගේ ආදරණීය මතකයෙන් 

''අම්මෝ ලොකුවට ෂර්ට් අඳිනවා මෙයා.. කොහොමද රස්නෙ නැද්ද?'' ඒ ප්‍රශ්නයට කිසිදු උත්තරයක් නිල්හාන් නොදුන්නේය.

Q ඇයි උත්තරයක් නොදුන්නෙ?

මට එහෙම කවුරුත් කියන්නෙත් නෑ. මට තරහ යනවා එහෙම ඇහුවම. ලොකුවට ෂර්ට් අඳින්නෙ ඒක මගේ කැමැත්ත හින්දනෙ. එහෙම හිතුණා මට. 

ඒ උත්තරයටත් ඒ ප්‍රශ්නයටත් අයිති සිදුවීම් සිදුවූයේ මීට බොහෝ කලකට පෙරාතුවය. නිල්හාන්ගේ හිතට තරහ දැනුණු ඒ ප්‍රශ්නය ඇසුවේ පසු කලෙක අප්‍රමාණ මිත්‍රත්වයකින් වදනින් මෙතෙකැයි නිර්වචනය කළ නොහැකි ආදරයකින් ඔහුගේ ජීවිතයට ළං වූ මිත්‍රයෙකි. මිත්‍රත්වයේ සීමාවෙන් එහාට ගිය සහෝදරත්වයකින් හිතට දැනුණු ළබැඳියෙකි. 

Q මුල්ම හමුවීමේ මතකයට යමු ඉතින්?

ඒ දවස්වල මම සලමන් ෆොන්සේකාගෙන් නාට්‍ය ගැන හදාරන්න ගියා. මොහාන් මගේ හොඳ යාළුවෙක්. දවසක් පන්ති ඉවර වුණාම මොහාන් මට කීවා යමු අපේ ගෙදර, අයියගෙ නාට්‍යයකුත් තියෙනවා බලන්න කියලා. ඉතින් මම ගියා. 
ජැක්සන් ඇන්තනී නම් ඒ සොඳුරු මිත්‍රයා නිල්හාන් සෙනෙවිරත්නට මුණගැසුණේත් ''අම්මෝ ලොකුවට ෂර්ට් අඳිනවා මෙයා'' යැයි කියමින් ජැක්සන් නිල්හාන්ගේ හිතට තරහ හිතුවිලි ගෙනාවේත් ඒ හමුවීමේදීමය. 

ඇසළ කළුවර කරන්න යද්දි ජැක්සන් අයියට උනන්දුවක් තිබිලා මාව ගන්න මගේ යාළුවෙකුට කියලා තිබුණා මාව සම්බන්ධ කරන්න. ඒත් ඒ යාළුවාට මාව සම්බන්ධ කරගැනීම මඟ හැරී තිබුණා. 

Q කවුද ඒ යාළුවා?

මගේ හොඳම යාළුවෙක්. 

Q මම අහන්නෙ කවුද ඒ යාළුවා?

කමල් අද්දරආරච්චි. 

ඒ කතාන්දරයේ අග මුල නිල්හාන් පසු කලෙකදී දැනගත්තේ ජැක්සන්ගෙනි. හිතවත්කමට ඒ ඇත්ත නොදැනීම කියැවුණේය.

Q කාත් එක්කද ඇසළ කළුවර බලන්න ගියේ?

සබීතා අක්කා මට හරි හිතවත්. ඇසළ කළුවර බලන්න මාව එක්කගෙන ගියේ සබීතා අක්කා. 

Q ඇසළ කළුවර දැනුණේත් ජැක්සන් ඇන්තනී ගැන මහා ආදරයක් ඇතිවුණේත් කොහොමද කියන ප්‍රශ්නයට දෙන උත්තරය වෙනුවෙන් සාක්ෂියක් තියෙනවද?

ඔව්. මගේ පුංචි දින පොත සාක්ෂියි. ඉස්සර මම මගේ තිබුණු පුංචි දින පොතේ හැමදේම වගේ ලියනවා. ඇසළ කළුවර මගේ පපුවටම වැදුණා. මම එදා ඇවිල්ලා දින පොතේ ලිව්වා. මම ඇසළ කළුවර බලන්න ගියා. ජැක්සන් අයියා මගේ සහෝදරයෙක් වගේ වුණා නම් එච්චරකට හිතන්න පුළුවන් මනුස්සයෙක් එයා. ඒ විදිහෙ දෙයක් මම ලිව්වෙ. 

ජීවිතය වරෙක මහ පුදුමයකි. අවැසි දේ නොදී මඟහරින සේම අවැසි දේ නොඉල්ලුවත් දෙන හැටිද මහ පුදුමයකි. එදා දින පොතේ වචන කිහිපයකට ගැටගැහුණු ප්‍රාර්ථනාව සංසාර පැතුමක් සේම දළු ලෑවේය. බැඳීම් කෙතරම් සොඳුරුදැයි ගැඹුරුදැයි විවරණය කරන්නට වචන පොහොසත් නොවන තැන් කොතෙකුත්ය. ආදරය, ප්‍රේමය සහ බැඳීම් විවරණය කරන්නට ලොව කිසිදු භාෂාවක ශබ්දකෝෂයක් පොහොසත් නැතැයි සිතේ. 

ඇත්තටම ජැක්සන් අයියයි මායි අතර තිබුණෙ පුදුම බැඳීමක්. පුදුම ආදරයක්. ඒ ආදරය වැඩි හින්දම ද කොහෙද අපි හරියට රණ්ඩු වෙනවා. පුංචි දේටත් හිත රිද්දගෙන තරහ වෙන්නෙම මම. මම තරහ වුණාම අයියා කියනවා ගර්ල් ෆ්‍රෙන්ඩ් වගේ පොඩි දේටත් රණ්ඩු වෙනවා. රණ්ඩුවෙලා තරහ වෙනවා කියලා. 

ආදරය සහ ආදරය තුළින් උපදින බැඳීම් ආත්මීය හුස්මක් සෙයින් දැනෙද්දී රිදෙන තැන්, රිදවන තැන් සේම රිදවගන්නා තැන් ද මුණගැසේ. ඒ ආදරයේත් ඒ බැඳීමේත් ඒ සහෝදරත්වයේත් මිත්‍රත්වයේත් එවැනි තැන් බොහෝ වූයේය. 

ජැක්සන් අයියට ඊට කලින් ඇඳුම් දෙක තුනක් කරලා තිබුණත් සුමති සම්මාන උළෙලකට මම නිර්මාණය කරපු ඇඳුමෙ ඉඳන් එයාගේ ජීවිතේ බොහෝ අවස්ථාවල එයා වෙනුවෙන් ඇඳුම් නිර්මාණය කළේ මම. සුමති සම්මාන උළෙලකදී මම එයා වෙනුවෙන් නිර්මාණය කරපු ඇඳුම ඇඳගෙන එයා මාලනී අක්කත් එක්ක ඉන්න පින්තූරයට එයා මාර ආසයි. එයා හැමදාම කියපු දෙයක් තමයි ගෙදර ''වෙඩින් ෆොටෝ'' එකවත් නැහැ, මේක තියෙනවා කියලා. මාලනී අක්කට එයා එයාගේ සුරංගනාවි කියලා කියන්නෙ. දවසක් මාලනී අක්කා ලෙඩ වෙලා ඉද්දි එයා මාලනී අක්කට යවපු ''මැසේජ්'' එකක් වැරදිලා මට එවලා. මට මතක විදිහට 2004 විතර. මගේ දේවතාවිය කියලා එවපු ඒ ''මැසේජ්'' එක එයා වැරදිලා එවලා තියෙන්නෙ මට. මම කිව්වා අයියේ මගේ දේවතාවිය කියලා ඔයාට වැරදිලා ''මැසේජ්'' එක එවලා තියෙන්නෙ මට කියලා. ආ මම ඒක ඔයාට එවලද ඇහුවා. ගමන් බිමන් යද්දි එයා හුඟාක් වෙලාවට මාත් එක්ක ගියපු වෙලාවල් තිබුණා.

කලාකරුවන් ගැන එයා හිතන විදිහ, එයා දකින විදිහ, එයා තේරුම් ගත්ත විදිහ, හැමදේම එයා මාත් එක්ක කියනවා. එයා දන්නවා ඒ විශ්වාසය මම හැමදාම රකිනවා කියලා. හිත රිදවගෙන අපි තරහ වෙලා හිටපු කාලවල් තිබුණත් කවදාවත් ජැක්සන් අයියගෙයි මගෙයි බැඳීම නැතිවුණේ නෑ. අයියගෙ ජීවිතේ ළඟින්ම හිටපු අය මට කියලා තියෙනවා අයියෙ ජැක්සන් සර් ඔයාට පුදුම ආදරයක් තියෙන්නෙ කියලා. එයත් ටිකක් ආඩම්බරකාරයෙක්. මමත් ටිකක් ආඩම්බරකාරයෙක්. හැබැයි ඒ ආඩම්බරකම ඇතුළෙ ආදරය, ළෙන්ගතුකම, බැඳීම, මනුෂ්‍යත්වය හැමදේම හිත පිරෙන්න තිබුණා. එක ගෙයි සොකරි චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණය කරන්න මට දෙන්නම් කිව්වාම මම නිකම් ඇහුවා අයියෙ මාත් එන්නද ''ලොකේෂන්'' බලන්න යන්න කියලා. අයියා දුන්න උත්තරය තමයි එපා එපා උඹව ගෙනිච්චම මට වෙන්නෙ කරඬුව ගෙනිච්චා වගේ තමයි කියලා. අයියා එහෙම කියන්නෙ මම එක්ක ගියාම එයාට ''ස්ට්‍රෙස්'' වගේ වෙලාවකට. මම පොල් සම්බල් එක්ක බත් හරි කනවා. ඒත් අබා චිත්‍රපටය කරද්දි ලොකු පිරිසකට උයන කෑම කන්න වුණාම මට රස නෑ. මම එහෙම කන්න ආසා නෑ. ඒක තමා අයියා මට අර විදිහට කියන්නෙ. ඒ චිත්‍රපටය කරද්දි මට ඇඳුම් නිර්මාණය කරන්න දුන්නෙ මාසෙකට විතර කලින්. මාව අගය කළාට මට කියනවා උඹත් එක්ක වැඩ කරන්න අමාරුයි. එහෙම කියලා. කුස පබා චිත්‍රපටය කරද්දි තිබුණු ''මීටින්'' එකේදි කොහොමද නිල්හාන් කියලා ඇහුවාම ජැක්සන් අයියා කිව්වලු නිල්හාන් තමයි හොඳම, හැබැයි හරි කරදරයි, හරි ගණන් කියලා. මට ජැක්සන් අයියා එක්ක තිබුණෙ වෘත්තිය බැඳීමක් නෙවෙයි. ඒ අවස්ථා නැතිවෙලා ගියාට මට එහෙම දුක හිතිලා නෑ. ඒත් එයා දෙන ඇගයීමට මගේ ''ඩිමාන්ඩ්'' එක එයා තේරුම් ගත්ත එකට මට හරි ගෞරවයක් තිබුණා. මම ආසයි ඒකට. ජැක්සන් අයියගෙ දරුවන් ගැන හරි දෙයක් කියන්න තියෙනවා නම් මම ඒක එයාට කෙළින්ම කියනවා. මම කියන දේ ජැක්සන් අයියා අහනවා. ජැක්සන් අයියගෙ ළඟින් ඉන්න අය අයියෙ අපි කිව්වට වැඩක් නෑ, ඔයා කියන්න කියලා මට කියන වෙලාවල් තියෙනවා. අබා චිත්‍රපටය පෙන්නද්දි අයියගෙ කැබ් එකේ අපි දෙන්නා ලංකාව වටේම වගේ ගියා. අයියා වාහනේ එළවද්දි මම අබා චිත්‍රපටය ගැන පත්තරවල හොඳ කියලා තියෙන ඒවා වගේම විවේචනය කරලා තියෙන දේවලුත් එයාට ඇහෙන්න කියවනවා. මම අයියත් එක්ක එහෙම යන්න ආසයි. එයා කියන දේවල්වලින් මට ඉගෙන ගන්න දේවල් හුඟක් තිබුණා සහ මම වෙලාවකට එයා කියන දේවල් පොඩි එකෙක් වගේ අහගෙන ඉන්නවා. ඒත් හිතට වේදනාවක් දැනෙන්නෙ අයියට ඔය අනතුර වෙන කාලෙත් අපි දෙන්නා තරහ වෙලා හිටියෙ. හැබැයි ආදරේ එහෙමමයි. බැඳීම එහෙමමයි. ඒ නිසා තමයි කොන්දේසි විරහිතව මම මැරෙනකම්ම මැරුණු එයා වෙනුවෙන් මට දෙයක් කරන්න තියෙනවා නම් ඒ දේ මම කරන්නේ. මට නිල් කියලා, හුඟක් වෙලාවට නිල් කියලා කතා කරපු නැත්නම් කොල්ලො කියලා කතා කරපු ජැක්සන් අයියා දැන් නැහැ කියන්න මම දන්නවා. 

හුස්මක් තරම් බැඳීමකින් ජීවිතය තුළ සිටි මිනිසුන් ඒ හුස්ම හැර ගියත් මතකය හැර නොයන හැටි අරුමයක් නොවේ. අක්මුල් විහිදා ළය ලෙයට තුරුල් වූ කවර බැඳීමක් වුවත් එයාකාරය.

එදා ජැක්සන් අයියා නැතිවුණු දවසේ උදේ පාන්දර එක දිගට ඒ ගෙදර අයගෙන් සහ ළඟම අයගෙන් ඇමතුම් එද්දි මට හිතුණා මොනම හරි දෙයක් වෙන්න ඇති කියලා. ඒ මහ පාන්දර මම ඇඳේ දරදඬු වෙලා වගේ ගියා. ඒත් ඒ අසුබ ආරංචිය මට අහන්න වුණා. ජැක්සන් අයියා කියන්නෙ ජීවිතයට හුඟක් ආදරය කරපු කෙනෙක්. සලංහන්තේ ඉඳන් ලෝකෙ වටේ ගිය කෙනෙක්, ගඟ දිගේ ගිය කෙනෙක්, ඇවිදපු කෙනෙක් මේ වගේ අනතුරකින් ජීවිතයට සමු දෙයි කියලා මම හිතුවෙ නෑ. ජැක්සන් අයියගෙ සහෝදරයා සේනක අයියා නැතිවුණාම එයාගේ අන්තිම ඇඳුම හැදුවෙත් මම. එදා ජැක්සන් අයියා මට කිව්වා මම මැරිච්ච දවසට උඹ මගේ ඇඳුමත් කරයි නේද කියලා. ඒ විහිළුව මෙහෙම ඇත්තක් වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවෙ නෑ. අයියා ආසා පාට, අයියට ගැලපෙන පාට මම දන්නවා. ඒ ගැලපෙන පාටින් ඒ වටිනා සුන්දර මනුස්සයාට අවසන් වරටත් වටිනා ඇඳුමක් මගේ අතින් නිමැවුණා. 

මතක මඟ දිගේ ඇවිද යා හැකි දුර අනන්තය. බොහෝ දේ අවසානයේ ජීවිතය ශේෂ කරන එකම දෙයත් එපමණකි. රිදවන්නට සේම සනසන්නට ද ඒ මතකයන්ට හැකිය. කොන්දේසි විරහිතව සංසාර බන්ධන තනන්නට සේම බිඳින්නට ද ඒ මතකයන්ට හැකිය. එනයින් බොහෝ දේ අවසානයේ සියල්ලටම වඩා මතක සොඳුරුය. කොන්දේසි විරහිතව ආදරය කරන්නට ඒ මතක මඟ කියයි.

I සංජීවිකා