2024 ජනවාරි 06 වන සෙනසුරාදා

හීනයක්ද... අරුමයක්ද.... මට හිතාගන්න නොහේ...

 2024 ජනවාරි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 54

සමුදීමක් සනිටුහන් නොවූ හමුවීමක් තිබුණාද කොහේ හෝ... සමුදීමක්, සමුගැනීමක්, අත්හැරීමක්, මඟහැරීමක් නොවූ හමුවීමක්, බැඳීමක්, ආදරයක්, ප්‍රේමයක්, ස්නේහයක් තිබුණාද... කොහේ හෝ... එය එසේ නොවන වග මම දනිමි... තවද කොහේදී කොතැනකදි හෝ සෑම හමුවීමක්ම, සමුගැනීමකින්ම අවසන් විය යුතුමය... එහෙත් අවසන් වෙන කිසිවක් කෙළවර නොවේ. අවසන යනු ඇරඹුමක ද්වාරයයි... කෙළවර සනිටුහන් වන තාක් අවසන් වෙවී සියල්ල යළි යළිඳු ඇරඹේ... සාංසාරික චාරිකාව පුරාම භව අවසන අනන්ත ගමනක් වෙනුවෙන් තවත් ද්වාරයක් විවර කරවයි. 

ඉතින් සුහදයාණෙනි...

ඉතින් සුලවතාණෙනි අප යළිත් හමුවිය යුතුමය.

'සීරුවෙන්' නැරඹූ දින අනේ ඇත්තටම මොහොතකට මම තිගැස්සුණෙමි. ලෝකයේ හැම වර්ණයක්ම අඳුනන ඔය ඇරුණු ඇස් සදාකාලිකව අඳුරේ සැරිසැරූ කළු වර්ණය හැරෙන්නට කිසිදු වර්ණයක් නොමදත් අන්ධයකුගේ චරිතයට ඒ තරම් ආත්මීය ආලයකින් බන්ධනය වූයේ කෙසේදැයි මම ක්ෂණයකට වික්ෂිප්ත වුණෙමි. 

දෑස නොපෙනෙන මිනිසෙකුගේ හදගැස්මට එතරම්ම සහකම්පනයෙන් ඔබ බැඳී ගියේ නළු භූමිකාවෙන් ඔබ්බට දිගු දිවිගමනේ ජීවන රස්තියාදුව මෙන්ම සාංසාරික රස්තියාදුව ද සොඳුරු චාරිකාවක් වූ හෙයින්ම යැයි මට සිතේ. ආදරණීය ආමන්ත්‍රණය තුළ ජැක්සන් අයියේ.. අපූර්ව රස්තියාදුකාරයකුට හැරෙන්නට ඒ තරම් හිතුවක්කාරී, ඒ තරම් රම්‍ය සුරම්‍ය ලෙස මනරම් මනසකින් සාම්ප්‍රදායකත්වයේ සීමා ආක්‍රමණය නොකර අතික්‍රමණය කළ නොහැකිය. ළෙන්ගතු ආඥාදායකත්වයක් තුළ ආදරණීයකු විය නොහැකිය. 

නිහතමානීම ආඩම්බරකාරයකු ද විය නොහැකිය. වේදිකාව ද, විසූක දස්සනය ද, සිනමාව ද, ගීතය ද, සාහිත්‍යය ද, සංස්කෘතික කුහුඹු පැණියකු වෙසින්‍් අතික්‍රමණය කළ අමුතුම මාදිලියේ ගවේෂකයකු නොවුණේ ද ඔබ. ඉඳින් මතක මහ කන්ද පාමුල හිඳ හිස ඔසවන විට මතක අස සිත්තම් වන සොඳුරුතා අපමණය. එහෙත් නියත දහමට අවසඟව යා හැකිද කිසිවෙකුට. ඉඳින් සම්, මස්, ලේ, නහර, ඇට මිඳුළු විනිවිද ළය ලෙයට දැනුණු හදවත් හඬවා ඔබේ හුස්ම ඔබ අවසන් කළේය. 

දුල රන් තරුවක් ලෙසින් දැල්වුණු තවත් එක් පහනක් මතක මං දොර මතක පමණක් රඳවා නික්ම ගිය බව සැබැවි. සදානන්ද සරාගී සුවඳ තවරාණ සිපගත් ජීවන කුසුම් මරණයේ සීතලට තුරුල් වී හුස්මක් නොගන්නා ඉසව්වක තනි වෙද්දී පපුවටම දුක දැනෙන්නේ ආදරය සහ ප්‍රේමය නිසාම විය යුතුය. ආදරයේත් ප්‍රේමයේත් සියලු අක්මුල් බිඳහල තැන සංසාර සුවිසැරියේ සමාප්තිය සනිටුහන් වන වග මම දනිමි.

අවපස අහසක විකසිත තරුවක් කවිකාර හිතක් අස පද ගෙත්තමකට මං තනද්දී ජීවිතය කෙතරම් සොඳුරුදැයි පුදුමදැයි වේදනාත්මකදැයි සිතේ. ඒ අන් කිසිවකුත් නිසා නොව හමුවීම්, බැඳීම් සහ සමුගැනීම් නිසාමය.

සුහදයාණෙනි එය එසේමය. ඉඳින් හුරු සුවඳ අරගෙන හුරුපුරුදු ඇත්තන් හමුවට එනු මැනව දවසක... 

සසර මෙතෙකින් නිම නොවන බව දනිමි. 

ඉතිං අපි ආයෙත් හමුවෙමු...

I සංජීවිකා