2024 ජනවාරි 20 වන සෙනසුරාදා

ජෝතිපාලගේ ගීත විඳින්න මම හරි ආසයි - ගිහාන් විජේසිංහ

 2024 ජනවාරි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 44

'අපේ මතක' දිගේ ඇවිද ආ දුර කොතෙක්දැයි මම දන්නෙ නැහැ. එහෙත් බොහෝ දුරම නැතත් බොහෝ දුරක් හෝ ඇවිදවිත් ඇතැයි සිතුණේ 'මුහුණුපොතේ ආදරේ', 'හදේ සුසුම්', 'තීරණය නු‍ඹේ අතේ', 'ආදරෙයි මම තියාගන්නම්' වැනි ගී සිත්තම් ආ මඟ දිගේ ආපසු ඇවිදිද්දී හමුවන හෙයින්මය. උපන් බිමෙන් බොහෝ ඈතක කැනඩාවේ ජීවත් වුවත් සිංහල ගීතයට බැඳි ආදරය හිතෙන් පිටමං නොවූ සඳ එහි සිට ඔහු ගයයි. 

Q ඉතින් ගිහාන් ඔයාගෙම සින්දු කීයක් විතර කළාද මේ වෙද්දි?

මගේම සින්දු පහක් මම කරලා තියෙනවා. 

Q 'මගේම සින්දු' ඇරුණම වෙනත් සින්දු කරලා තියෙනවා වගේ කතාවක්ද ඒ උත්තරෙන් කියැවෙන්නෙ?

හ්ම්..

Q ඉතින් කියන්න?

ඔක්කොම සින්දු දහයක් විතර කියලා ඇති. අනිත් ඒවා Cover songs. 

Q 'මගේම සින්දු' කියන්න පටන් ගත්තෙ කොහොමද? මම අහන්නෙ ආරම්භය සිද්ධ වුණේ කොහොමද කියලා?

මගේ යාළුවෙක් හිටියා අමල් කියලා. එයා මට සින්දු ලියන ආරාධනා ඒකනායක අඳුන්වලා දුන්නා. මම මේ කියන්නෙ මීට අවුරුදු පහකට විතර ඉස්සර කතාවක්. ආරාධනා තමයි මට අපේ මතක කියන මා ගැයූ පළමු ගීතය ලීවෙ. එතකොටත් මම කැනඩාවෙ. එහි සංගීතය නිමැවූයේ ප්‍රියන්ත නාවලගේ. 

Q ඉතින් ඊටපස්සෙ?

ඉතින් ඊටපස්සෙ මාමඬලේ ගැමුණු වික්‍රමසූරිය මම වෙනුවෙන් ලියූ මුහුණුපොතේ ආදරේ කියන ඒ ගීතයේත් සංගීතය නිර්මාණය කළේ ප්‍රියන්ත නාවලගේ. ඒ විදිහට මගේම කියලා සින්දු පහක අයිතිකාරයෙක් වෙන්න මට පුළුවන් වුණා. 

Q ගීතයක් ගයා අහවර වූ පසු ඊට ලැබෙන ප්‍රතිචාර ඔබේ හිතට දනවන්නෙ කොහොම හැඟීමක්ද?

ඇත්තටම මම සංගීතයට ගීතයට හුඟක් ආදරෙයි සහ ආසයි. සමාජ මාධ්‍ය හරහා ගීතය ශ්‍රාවකයන් අතරට ගියාට පස්සෙ ලැබෙන ප්‍රතිචාර ජීවිතයේ වෙනම සතුටක්. ඒක සල්ලිවලින්වත් වෙන කිසිම දෙයකින්වත් ගන්න බැරි දෙයක්. 

Q කැනඩාවේ ඔබට තෘප්තිමත් විය හැකි තරම් ශ්‍රාවකාගාරයක් ඔබ වෙනුවෙන් නිර්මාණය වෙලා තියෙනවද?

ඔව්. කැනඩාවේ මගේ සින්දු අහන පිරිසක් ඉන්නවා. ඒ අය මගේ සින්දු අහලා දාන හැම Comment එකකටම මම හරි ආසයි. ඒක තව නිර්මාණයක් කරන්න මට හොඳ උත්තේජනයක්. 

Q රසිකයන්ගෙන් ලැබුණු හොඳම ප්‍රතිචාරය ලැබුණෙ කාගෙන්ද?

ලක්ෂ්මන් හිල්මිගෙන්. 

Q කොහොම ප්‍රතිචාරයක්ද එයා දක්වලා තිබුණෙ?

අනුන්ගෙ සින්දු කියන්නෙ නැතුව තමන්ගෙ නිර්මාණ කරන එක හොඳ දෙයක් කියලා ඔහු කියලා තිබුණා. 

Q Cover songs අතරින් ඔබට ලැබුණු හොඳම ප්‍රතිචාරය මොකක්ද?

මිදි ඇඹුලයි කියන පැරණි ගීතය මම ගායනා කළා. ඒක 1960 ගණන්වල නිර්මාණය වෙච්ච ගීතයක්. දැන් කාලෙ ඇහෙන්නෙ නැති ඒ වගේ සින්දුවක් අරගෙන කියන එක ලොකු දෙයක් කියන ප්‍රතිචාරය තමයි මට ලැබිලා තිබුණෙ. 

Q සිංහල සින්දු ඇරුණම අහන්න කැමැති වෙනත් භාෂාවන්ගෙ ගීත තියෙනවද?

ඔව්. හින්දි සහ දෙමළ සින්දුවලට මම හරි ආසයි. ඒත් ඉංග්‍රීසි සින්දුවලට නම් එච්චර ආසා නෑ. 

Q එතකොට සිංහල චිත්‍රපට ගීතවලට කැමැති නැද්ද?

අනේ ආසයි. මම හුඟක් ප්‍රිය කරන චිත්‍රපට ගීත තියෙනවා. විශේෂයෙන් එච්.ආර්. ජෝතිපාල ගායකයාගේ ගීවලට මම හරි ආසයි. ඒ ගීත අහලා මම හරිම වින්දනයක් විඳින කෙනෙක්. 

Q ලංකාවෙ ප්‍රසංගයකදි සින්දුවක් කියන්න කියලා ලැබුණු ආරාධනා නැද්ද?

තිබුණා. ඒත් ඒ ආරාධනා ලැබුණෙ හරිම අර්බුදකාරී වෙලාවක. ලංකාවෙ තෙල් ප්‍රශ්නය හොඳටම උග්‍රවෙලා තිබුණු කාලෙ මම ලංකාවට ආවා. ඒ කාලෙ තිබුණු ප්‍රසංගයකදි එහෙම ගීතයක් ගයන්න ආරාධනාවක් ලැබුණත් තෙල් ප්‍රශ්නය නිසා ඒ ආසාවයි අදහසයි අත්හරින්න සිද්ධ වුණා. 

Q ආයේ අඬගැහුවොත් ලංකාවෙ ප්‍රසංගයකට එන්න ගයන්න කියලා එනවද?

මේ අවුරුද්දෙ මම ලංකාවට ඇවිත් යන්න එන්න ඉන්නෙ. එහෙම ආවම මම සින්දුත් කියයි. 

I සංජීවිකා