2024 ජනවාරි 27 වන සෙනසුරාදා

මෙන්න බොලේ කුකුළොත්! කඳුකරේ මීදුමට සුද්දා වශීවෙයි...

2024 ජනවාරි 27 වන සෙනසුරාදා, ප.ව. 02:0081

යන යන තැන මොනවාහරි දෙයක් කන, නිදහසේ ඔහේ සැරිසරන අපේ ඇමෙරිකානු මිත්‍රයා ඔන්න මේ පාර කඳුකර පළාතේ සංචාරයකට ගියා. පහුගිය දවස්වල යාළුවා හිටියේ නුවරඑළිය පැත්තේ. තේ වතු, තේ කම්හල් එහෙමත් බලන්න ගිහිල්ලා තිබුණා.

මේ ගමන අතරතුර ලංකාවේ කඳුකර පවුලකින් ආරාධනාවක් ලැබුණා... අපේ යාළුවට තමන්ගෙ ගෙදරට පොඩ්ඩක් ගොඩවෙන්න කියලා. ඇත්තටම අපේ යාළුවට ලංකාවේ ගෙදරකට යන එක හරිම අපූරු අත්දැකීමක් වුණා.

''ආ... මෙන්න කිටී කෙනෙක් ඉන්නවා...''

ගෙදරට ගොඩවෙන පාරේ පඩිපෙළේ හිටපු පූසෙක් දැකලා, අපේ යාලුවා ඔන්න ඔහොම කිව්වා. මෙයා වටපිට බල බල මේ අමුතු අත්දැකීම ගන්න ආවා මේ ගේ ඉස්සරහට. ඉස්සරහට ආපු තරුණයෙක් යාළුවා පිළිගත්තා.

''ආ... මෙන්න මේ ගෙදර බල්ලෙකුත් ඉන්නවා...''

ඉතින් ලොකු හෙවිල්ලක් බැලිල්ලක් නෑ දන්නවානේ අපේ ඇමෙරිකානු යාළුවගේ හැටි. හතර වටේම ඇවිද්දා. මේක ටිකක් ලොකු ගෙයක්. කුස්සියට යනකොට මෙන්න තවත් පූසෙක් ඉන්නවා.

''අන්න අතන කුකුලෙක් ඉන්නවා...''
''අපි ළඟ ගොඩක් කුකුල්ලු ඉන්නවා...''

මේ ගෙදර සත්තු ගොඩයි. යාළුවා බලගෙන යද්දී කුස්සියේ ඉන්නවා කුකුල්ලු හතර පස් දෙනෙක්ම.

''හෙලෝ චිකන්...''

''ගොඩක් කුකුල්ලු ඉන්නවා. ඒකෙ තේරුම තමා. හැමදේම විස්තර කරන්න පුළුවන් කියන එක...''

කුකුළෝ ටික මෙන්න බොලේ අපේ යාළුවට බයවෙලා යන්න ගියා.

ඊටපස්සේ මෙයාට ගෙදර කට්ටිය පොඩ්ඩක් වාඩිවෙන්න කියලා තේ එකක් දෙන්න හැදුවේ. බිස්කට් පීරිසියක් එහෙම ගෙනැත් දුන්නා. අප යාළුවාත් ඒක ගේන්නත් කලින් බිස්කට් කන්නයි ලෑස්තිය.

''ආ පොඩ්ඩක් ඉන්න. විනාඩි තුනක්. අපි තේ එක අරගෙන එන්නම්...''

බිස්කට් එක කන්න හදද්දීම ගෙදර නෝනා එහෙම තමා කිව්වේ.

''ආ විනාඩි තුනක් යනවාද? මට බිස්කට් එකක් කාලා බලන්න පුළුවන්ද?''
''හා කාලා බලන්න.''
''මොනවද මේ... බිස්කට්වල නම.''
''ඉඟුරු බිස්කට්...''

කොහොම හරි අපේ යාළුවා ඉඟුරු බිස්කට් කන්න පටන් ගත්තා. ඒකෙ තියෙන්නේ ස්ට්‍රෝන් රහක්ලු. යාලුවා ඉඟුරු බිස්කට් කන එක නතර කළේ නෑ. තේ බිබී ඉඟුරු බිස්කට් කෑවා.

මේ ගෙදර හැමෝම බොහොම සුහදව කටයුතු කළා විතරක් නෙවෙයි, අපේ යාළුවට අනවශ්‍ය විදිහට කරදර කරෙත් නෑ. හරිම අපූරු විදිහට තමයි ඔවුන් යාළුවට සැලකුවේ. විශේෂයෙන්ම විශේෂයක් නොකළත්, සාමාන්‍ය ආගන්තුකයකුට ලංකාවේ හිමිවෙන සත්කාරය ඔවුන් අපේ යාළුවට කළා.

මේ ගෙදර හිටියා අපූරු දරුවෝ දෙන්නෙක්. එයා ලංකාව ගැන තිබුණු පොතක් අරගෙන ඇවිල්ලා යාළුවට පෙන්නුවා.

''මේ මොනවද?''
''මේවා මැණික්...''
''මේවා කීයක් විතර වෙනවද?''

අපේ යාළුවා ඇහුවත් පොඩි අය නම් ඉංග්‍රීසි දැනගෙන හිටියේ නෑ. ඒත් ඉතිං සංචාරක කර්මාන්තය ඇතුළේ සංචාරකයෙක් මැණික් ගන්න ගියොත් නම් සුද්දා සුද්ද වෙනවා. වෙලාවට මේ ප්‍රශ්නේ පොඩි අයගෙන් යාළුවා ඇහුවේ. මේ පොත බල බලා එක එක දේවල් ගැන කතා කළා.

''ඔන්න බලාගන්න කොහොමද ශ්‍රී ලංකාවේ ඩ්‍රම්ස් වාදනය කරන්නෙ...''

ඩොල්කියක් අරගත්තු පුංචි දරුවෝ දෙන්නා ඒක වාදනය කරන්න පටන් ගත්තා.

''මගේ ළඟ ගිටාර් එකක් තිබුණා නම් මේගොල්ලොත් එක්ක එකතු වෙන්න තිබුණා...''

කොහොම වුණත් පොඩි දරුවො දෙන්න තමන්ගේ තරමට හොඳ තට්ටුවක් දැම්මා. අපේ යාළුවත් අත්පුඩි ගගහා සතුටු වුණා. ඇත්තටම මේ ගෙදරදී අපේ අමුත්තට විඳගන්න ලැබුණේ සුපිරිම අත්දැකීමක්.

''ඕගොල්ලන්ට සිංදුත් කියන්න පුළුවන්ද?''

ඔන්න ඊටපස්සේ පටන් ගත්ත සාජ්ජේ. අපේ පුංචි යාළුවෝ ටික ගෙදර අනිත් කට්ටියත් එක්කත් එකතුවෙලා සිංදු කිව්වා. හැමෝම හොඳට විනෝද වුණා.

ඊටපස්සේ මේ ගෙදරින් එළියට බැස්ස අපේ යාළුවා අවට කඳුකර දර්ශන ටික නරඹන්න. අපේ යාළුවා දැක්කේ පුදුම ලස්සන දර්ශනයක්.

''බලන්න මේ දර්ශනය කොච්චර ලස්සනයිද?''

ලස්සනම ලස්සන වීව් එකක් තමා මේ කඳුකර නිවස තිබුණේ.

පුංචි දරුවෝ ඇවිල්ලා ඒ දර්ශනය සුන්දරත්වය වැඩි කරන තව තව දේවල් අපේ යාළුවට පෙන්නුවා. ඊටපස්සේ මෙතනට බල්ලත් ආවා.

''බලන්න මේ බල්ලා ඉන්නේ පාරාදීසයක...''

ගෙදර හිටපු සුරතල් බල්ලව තුරුළු කරගෙන අපේ යාළුවා මේ දර්ශනය දිහා බලාගෙන හිටියා.

''ඇත්තටම මේක පුදුමාකාර දර්ශනයක්. මේක ශ්‍රී ලංකාවේදී මං දැක්ක හොඳම දර්ශනය විය යුතුයි...''

කඳුකර පුංචි නිවෙස ළඟින් පුළුන් වගේ සුදු වලාකුළු පාවෙනවා. ඇත්තටම ලංකාවේ අපිත් මේ වගේ දර්ශනයක් දැකලා නෑ. අපේ යාළුව නොසෑහෙන්න මේ පිළිබඳ කතා කළා.

කොහොම හරි අපේ රටේ කඳුකර නිවසකදී මේ සංචාරකයාට ලැබුණු ආගන්තුක සත්කාරය නම් අගය කළ යුතුම එකක්. හැමෝම බොහොම සතුටු වුණා. විශේෂයෙන්ම අපේ ඇමෙරිකානු මිත්‍රයා. ඇත්තටම මේක තමයි වෙන්නත් ඕනෑ.


I නිසල්