විශ්‍රාම ගිය රජයේ සේවකයෙක් දැන් ඉඳල හිටලා ටෙලි නාට්‍යවල සුළු චරිත රඟපානවලු.
මාසෙට ලැබෙන පෙන්ෂන් එකයි මේ අමතර ආදායමත් එක්ක ඔහුට යාන්තම් ගෙදර දොර් වියහියදම් ටික ෂේප් කරගන්න පුළුවන්ලු.
ඔන්න දවසක් ෂූටිං ඉවරවෙලා ටිකක් රූ වෙලා ගෙදර එන ගමන් අහල පහල ගෙදරක බල්ලෙක් වත්තෙන් එළියට පැනලා මෙයාගෙ කකුල හපා කෑවලු.
ඒ වෙලේම ඉස්පිරිතාලෙට ගිහින් ප්‍රතිකාර අරගෙන ආවෙ අර බල්ලා ඉන්න ගෙදර අයිතිකරුවෙක්ගෙ වාහනයක.
පහුවදා ඉඳලා මේ මනුස්සයා හැමදාම උදේ හවස අර බල්ලා ඉන්න ගෙදර ගේට්ටුවට ගහලා අහනවලු ඕගොල්ලන්ගෙ බල්ලා මැරිලද? කියලා. හැමදාම උදේ හවස අහන නිසා අර ගෙදර කට්ටිය ඇහුවලු එහෙම අහන්නෙ ඇයි කියලා.
මට දොස්තර කියලා තියෙන්නෙ මාව කාපු බල්ලා දවස් 7ක් ඇතුළත මැරුණොත් එයාට ඇවිත් කියන්න කියලා. ඒකයි උදේ හවස අහන්නෙ... ඔහු කිව්වලු.
පහුගිය දවස්වල මහත් ආන්දෝලනයක් ඇති කළ එක්තරා සිද්ධියක් නිසා දැන් කලා ලෝකෙ හැමෝම තම තමන්ගෙ ජංගම දුරකථන ඉතාම පරෙස්සමෙන් ආරක්ෂා කරගෙන ඉන්නවලු.
ඔය කියන සිද්ධියට පාදක වුණේ ජංගම දුරකතනයක තිබුණා ඉතාම පෞද්ගලික වීඩියෝවක්. කාලෙකට ඉස්සර ගත්තු එකක්. ඒක තිබිලා තියෙන්නේ එක්තරා ශිල්පිනියකගෙ පරණ ෆෝන් එකේ.
ඒ ශිල්පිනියගෙ හොඳම මිතුරියගෙ ෆෝන් එක කැඩිලයි කියලා ආරංචි වුණු ගමන් එයාගෙ අර පරණ ෆෝන් එක දීලා හොඳ හිතින්. ඒත් සිද්ධ වුණේ කවුරුත් නොහිතපු දෙයක්. අර පරණ ෆෝන් එකේ තිබුණා අතිශය පෞද්ගලික දේවල් යාළුවා ලීක් කරලා.
තම තමන්ගෙ ෆෝන් ගැන දැන් කට්ටිය පුදුම අවධානෙකින්ලු ඉන්නෙ.
අනිත් එක ඕනෙම කෙනෙකුට පෞද්ගලිකත්වයක් කියලා දෙයක් තියෙනවනේ. ඒකට ගරු කරන්න අපි කවුරුත් ඉගෙන ගන්න ඕනෑ. ඒ වගේම අනිත් අය තමන් කෙරේ තබන විශ්වාසය රකින යුතුකමත් මිනිස්සු ළඟ තියෙන්න ඕනෑ. නැත්නම් අනුන්ගේ දුකේදී පිහිටවෙන්න ගිහින් කාට කාට මොන මොන විදිහට ඉල්ලං කන්න වෙයිද දන්නෙ නෑ.
හෙට අනිද්දට එන්න තියෙන අලුත් චිත්‍රපටයක් ඊයේ පෙරෙදා විශේෂ පිරිසකට කොළඹ ජනප්‍රිය සිනමාහලක ප්‍රදර්ශනය කරලා තියෙනවලු.
ඒකට ආරාධනා ලැබුවේ නිෂ්පාදකවරයගේ හා අධ්‍යක්ෂකවරයාගේ ළඟම හිතවතුන්.
ඔන්න ඒකට එක්තරා කලා ශිල්පියෙකුට එන්න බැරිවෙලා. හරියට ඊට පහුවදාම අධ්‍යක්ෂකවරයාට ඒ ශිල්පියාව වෙනත් උත්සවයකදී මුණගැහිලා තියෙනවා.
හරි හරි අපි කිව්වොත් තමයි ඔයාට එන්න බැරි. ඩිරෙක්ටර් යාළුවට දොස් කියලා.
සොරි මට හදිසි වැඩවගයක් තිබුණා ඒකයි එන්න බැරිවුණේ. මට ආරංචියි හරිම සංවේදියි කියලා අර ශිල්පියා කිව්වලු.
සංවේදීද කියලත් අහනවා. මම ගිය මාසෙ ඩෙංගු හැදිලා ඉස්පිරිතාලෙ හිටියා බ්ලඩ් කවුන්ට් එකත් හොඳටම බැහැලා. ඒකට පොඩ්ඩක්වත් අඬපු නැති මගේ නෝනා, ඊයේ ෆිල්ම් එක බලලා ඉකි ගගහා ඇඬුවෙ. බොහොම අමාරුවෙන් නවත්තගත්තෙ. අධ්‍යක්ෂවරයා නෝනාව පෙන්නලා කිව්වලු.
අපේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධ උදවිය නොයෙක් හේතු නිසා පිටරට යනවනෙ. ඔන්න ඒ වගේ කලා පවුලකුත් දැන් අවුරුදු ගාණකට කලින් බටහිර රටකට ගියා.
ආරංචියේ හැටියට ඉතිං රස්සා දෙක තුනක් කරලලු රෝල ගෙනියන්නෙ. ඒත් ඉතිං ලංකාවෙ ඉන්න සමහර යාළුවන්ට වෙනම චිත්‍රයක් මවලා පෙන්වන්නත් උත්සාහ කරනවලු.
නිවාඩු දවස්වල පාක්වලට ගිහින් කොටට ඇඳගෙන පින්තූර අරගෙන මෙහෙ යාළුවන්ට එවනවලු අපි එහෙ මොඩ්ලිං කරද්දි ගත්තු ෆොටෝස් කියලා.
පහුගිය දවසක තරමක් අවිවේකී මැදිවියේ රංගන ශිල්පියෙකුට තංගල්ල පැත්තෙ ටෙලිනාට්‍යයක රූපගත කිරීමක් තිබුණා.
කොළඹින් ඔහුට විතරක් වාහනයක් යවන එක තේරුමක් නැති නිසා ඔහුත් පාන්දර ෂූට් එකට කලින් දවසෙ රෑ ඒ.සී. බස් එකක නැගලා එන්න එකඟ වුණා. ඒ දිනවල තිබුණු අවිවේකීකම නිසාම අලුත් ටෙලි නාට්‍යයේ පිටපත කියවන්නටවත්, ඔහුගේ දෙබස් ටික බලාගන්නවත් කාල වේලාවක් සොයාගන්න බැරිවෙලා.
රෑ එළිවෙනකං බස් එකේ යන ගමන් ස්ක්‍රිප්ට් එක කියවන්නයි, දෙබස් ටික බලාගන්නයි ඔහු හිතාගෙන බස් එකට නැග්ගලු රෑ 11ට විතර.
ඔන්න සීට් එකේ වාඩිවෙලා ස්ක්‍රිප්ට් එක අතට ගත්තා විතරයි බස් එක ඇතුළෙ ලයිට් ටික නිව්වලු. ඔහු කොන්දොස්තරගෙන් ඒ ගැන ඇහුවම පිළිතුරු ලැබුණෙ මෙහෙමලු.
මහත්තයට පේනවනෙ බස් එකේ හිටගෙනත් කට්ටිය යනවනෙ. ඉතිං ඇතුළෙ ලයිට් දාල ගියොත් අනිවාර්යයෙන් පොලීසියට අහුවෙනවා. ඉතින් මහත්තයා පාඩුවේ නින්දක් දාගෙන එන්නකො.
► Text – Mithra