මැසි සම්මේලනය පටන් ගත්තා. ජාත්‍යන්තර මැසි ලොක්කා අපෙන් මෙහෙම ඇහුවා.
මොනවද ඔබට තියෙන ගැටලු. අපි තීරණය කළා මෙතන රටවල් ගණනාවක මැස්සො ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා තම තමන්ගේ රටවල් වලට අවස්ථාවක් දෙනවා ගැටලු ගැන දැනුම් දෙන්න.
එක එකා නැගිට්ටා. උන් ඇවිල්ලා කඩ්ඩෙන් පිහියෙන් කියතෙන් නියනෙන් බන්ඩි කියතෙන් දීපු කතා මම පෙරාපු රත්තරන් වගේ සුද්ද හිංගලෙන් මේ කියන්නෙ. ඉස්සෙල්ලාම නැගිට්ටේ අමෙරිකානු මැසි සංගමයේ ලේකම්.
ඒ මැස්සා නැගිටිනකොට පට්ට චියර් එකක් තිබුණේ. උගේ නමත් මැක්සි.
මැස්සි... මැස්සි... මැස්සි... මැස්සි...
අරේ දුනියා ජය හෝ ඇමරිකන් මැස්සී...
ඉන්දියන් මැස්සෙක් නැගිටලා කෑ ගැහුවා. සම්මේලන සප්පායම් වෙන්න දීපුවයින් ටිකක් විතර පෙරේතකමට අරන් ඌ හිටියේ. ඉතින් යූ එස් ඒ මැස්සා කතාව පටන් ගත්තා.
ලෝකේ බලවත්ම රටේ ජීවත් වුණාට ලෝකේ ඉන්න හිඟනම මැස්සෝ අපි
මූ ගත් කටටම කියපු කතාවට අපිට තූ කියලා හිතුණා. ඇයි යකෝ රටේ නම්බුව තියලා කතා කරපන්. ලොකු පොයි රටවල් වලින් ඇවිල්ලා හිඟන කතා කිව්වම හිඟන රටවල් වලින් ආපු අපිට මොකද වෙන්නෙ...
ඇයි ඔබ එහෙම කියන්නෙ?
අපේ රටේ පාරවල් පවා වතුර දාලා හෝදනවා. වැසිකිළි අපද්‍රව්‍ය උන් පොහොර හදන්න ගන්නවා. ඒවයේ වතුර අරන් ෆිල්ටර් කරනවා. පාරක තොටක කිසිම තැනක කුණු බිංදුවක් නෑ හොයාගන්න. අපි දැඩි අර්බුදයක ඉන්නෙ.
එතකොට ඔබලා කන්නෙ බොන්නෙ මොනවද?
ඔබලා කන්න දෙයක් තියෙන්න එපැයි. ඔබන්න තියා ගෑවෙන්නවත් මදි තියෙන ටික.
ඒ කියන්නෙ කුණු නෑ?
නෑ...
ඉතින් මොකද මේකට විසඳුම...
බොනවා නම් ඉතින් මල් පැණි තමයි
ඉතින් බීපල්ලකෝ...
මල් පැණි බිව්වම වෙරි වෙනවා
ඉතින් හොඳයිනේ...
වෙරි වුණාම පාරේ යන්න බෑ පොලීසියෙන් අල්ලනවා...
හපොයි... අමෙරිකාව රට වුණාට මුන් විඳින දුක බලපල්ලකෝ. මගේ ළමයිව මම එහේ යවන්න හිතන් හිටියේ. අදම උන්ගේ පාස්පෝට් ඉරලා විසි කරන්න ඕන.
ඉන් පස්සෙ නැගිට්ටේ එංගලන්තෙ මැස්සෙක්. ඌ සුදුම සුදු පාටයි.
අපේ කතාවත් අමෙරිකන් මැස්සට වඩා වෙනස් නෑ. අපිත් ඒ දුකමයි විඳින්නෙ. මේ ළඟදි අපි කන්න දෙයක් නැතුව කුණු බක්කියක් හොයාගෙන ගියා. ටවුන් එකේ කොනක එකක් තිබ්බා. අනේ ඈත තියා දුවලා දුවලා දුවලා යද්දි ඇස් පෙනි පෙනී මෙහෙම මෙහෙම ටැක්ටරේ ඇවිල්ලා අරන් ගියා. මට දුකේ බෑ. ඇත්තමයි කියන්නෙ මම සති දෙකකින් කුණු නාමයක් දැකලා නෑ.
ඔය අතරේ අපිට කෑම ලැබුණා. ඒවා ඇවිල්ලා ආනයනය කරලා තිබුණේ අපේ රටෙන්. කුණු කියන්නෙ අන්න කුණු. පට්ට රහ කුණු.
රුසියාව, ප්‍රංශය, ජර්මනිය, ඕස්ට්රේලියවා වගේ විවිධ රටවල්වල මැස්සෝ උන්ගෙ දුක කිව්වා. අන්තිමට නැගිට්ටේ ඉන්දියාවේ එකා.
දෙයියනේ කියලා අපිට නම් කෑෙමන් බීමෙන් වරදක් නෑ. අපේ ගැන්සි නිදාගන්නෙත් කුණු උඩ. කන්නෙත් එවා. අලුත් අගමැතිතුමා නම් කුණු අයින් කරන්න පියවරක් අරන් තියෙනවා. මට පේන්නේ ඉදිරියේදි ප්‍රශ්න මතු වෙයි. නමුත් දැනට අවුලක් නෑ
අන්තිමට නැගිට්ටේ අපි එක්ක ගිය අපේ මැසි සංගමේ ලොක්කා.
දෙවියන් වහන්සේට පින් සිදු වේවා...
අර මොකටද?
අපිව මේ වගේ රටක ඉපැද්දුවාට
ඇයි?
අපි ගෙයින් එළියට බැහැපු තැන ඉඳලා කුණු. අතින් අරන් කටට දාගන්න දෙයක් නෑ. කට ඇරියාම ඇති කුණු කටේ. අපි කන්නෙ කුණු. බොන්නෙ කුණු. නාන්නෙ කුණු. නිදාගන්න තියෙන්නෙ කුණු. ඇඟේ කුණු. නහයේ කනේ කුණු. ඉගෙන ගන්නෙ කුණු. ටීවී එක දැම්මොත් යන්නෙ කුණු. රේඩියෝ එක දැම්මොත් යන්නෙ කුණු. සින්දු, පත්තර ගත්තෝත් තියෙන්නෙ කුණු. ගොසිප් සයිට්වලට ගියොත් තියෙන්නෙ එක එකාගේ කුණු. ඒක මඟුල් සක්වලක් වගේ. කුණු කියන්නෙ කුණුවලින් තොර ලොවක් නෑ අපිට.
අපිට තියෙන්නෙ කුණු ගොඩවල් නෙමෙයි කුණු කඳු. ඒවා නාය යනවා. ගංගා දිගේ ගලනවා. ටැප් වලින් එනවා. ළිංවල පිරෙනවා. පාර දිගේ තියෙනවා. ගස් ගල් වල ගෑවිලා තියෙනවා. රේල් පාරේ තියෙනවා. කෝච්චි පෙට්ටි වල තියෙනවා. වැඩක් නෑ කියලා. මම නම් කියන්නෙ අපි ලබන අවුරැද්දෙ ඉඳලා මේ සංගමේට එන්නෙ නෑ. අපිට එන්න හේතුවක් නෑ අපිට ප්‍රශ්න නෑ.
අපේ ලොක්කගේ කතාව අහලා එක හෙලා කට්ටිය කෑ ගහලා එක දෙයක් කිව්වා.
ඒ තමයි අපේ මැසි සංගම් ලොක්කව ජාත්‍යන්තරේ ලොක්කා කරන්න කියලා. අන්න එහෙමයි සම්මේලනය නිමා වුණේ.
ඉතින් අපිට කුණු පිහිටයි.
මම
හොස්ස ළඟින් ගිය මැස්සා