අර්ජුන මේ දවස්වල ලොකු වැඩකට අතගහලා වගේ?
ඔව්... ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා එක්ක කරන අලුත්ම චිත්‍රපටය තමයි ඝරසර්ප. මේකේ අධ්‍යක්ෂණය හා තිර රචනය ජයන්ත අයියා. නිෂ්පාදනය පැත්තෙන් මම සම්බන්ධ වෙනවා.
ඝරසර්ප - මොකද්ද මේකේ තේරුම?
ගෙට රිංගුව සර්පයා කියන එක
මේ අර්ජුනගේ පළවෙනි නිර්මාණය නෙමෙයිනේ. සමහර නිර්මාණ තාමත් අතරමඟ නතරවෙලා. මොකද මේ?
අපේ සමාගමෙන් මුලින්ම කළේ ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ චිත්‍රපටයයි. ඒ චිත්‍රපටය 2012 තිරගත වුණා. නොයෙක් ප්‍රශ්න ආවා. සිනමා කර්මාන්තයේ තියෙන මාෆියාව විසින් ඒ චිත්‍රපටයට වැටෙන්නම ගැහුවා. ඒත් ඒක ලෝ බජට් චිත්‍රපටයක් නිසා බේරුණා. DVD නිසාත් ඒක බේරුණා. ඒකෙන් මම කොහොම හරි ණයකාරයෙක් වුණේ නෑ.
ඇයි එහෙම වුණේ?
ඒක මේ මාෆියාකාරයෙක් සහ එයාගේ හෙන්චයියන්ගේ වැඩක්. කට්ටිය හිතුවා ඒකෙන්ම මම සිනමාවෙන් සමුගනියි කියලා.
ඊටපස්සේ කරපු නිර්මාණයක් තාමත් අතරමඟ නතරවෙලා නේද...?
ඔව්.. ඊටපස්සේ මම කරපු කුසල් චිත්‍රපටය ඉවර කරලත් දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. තාම පෙන්නන්න හම්බවුණේ නෑ. මට හිතෙනවා මාෆියාකාරයා මෙතනටත් ක්‍රියා කරලා තියෙනවා කියලා. හැබැයි ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ චිත්‍රපටය අත්හැරියා වගේ මම මේක අත්හරින්නේ නෑ. 2012 හිටපු අර්ජුන කමලනාත් නෙමෙයි දැන් මේ ඉන්නේ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය, නිෂ්පාදනය කළේ මමමයි. ඒක සතුන් දාලා කරපු දැවැන්ත චිත්‍රපටයක්. හරියට මහන්සි වුණා.
අර්ජුන ඉන්නේ දැන් කලකිරීමෙන්ද?
ඔව්... ඇත්තටම කලකිරෙනවා. මේ පාර මට අසාධාරණයක් වුණොත් මම කරන ක්‍රියාකාරකම් ලංකාවේ කිසිම කලාකාරයෙක් ඉතිහාසයේ කරලා නැතිවෙයි. මාව කුඩුපට්ටම් කරන්න හදන මාෆියාකාරයාට සහ හෙන්චයියන්ට මේ පාර මම ඔළුව නවන්නේ නෑ. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු විස්සක් වෙනවා. ඒ විස්සම මට ගැහුවා.
මොනවද ඒ ප්‍රශ්න?
මේ හෙන්චයියන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි මට සල්ලි ලැබෙන්නේ කොයින්ද කියලා. සමහර මට උදව් කරන අයව ගෙවල්වලට හම්බවෙන්නත් මම යනවා. මට ඉතාමත් විශාල වෘත්තිකයන් පිරිසක් ඉන්නවා. ඒ අය මට උදව් කරනවා. මම මේ කිසිම කෙනෙක්ට බොන්න දීලා නෑ. ගෑනු දීලා නෑ. ඒත්... ඒ අය මට උදව් කරනවා. මගේ ගාව කළු සල්ලි නෑ. මේ හැම සතයක්ම දාඩිය මහන්සියෙන් හම්බකරපුවා. මේක දැවැන්ත නිර්මාණයක්.
අර්ජුන ඝරසර්ප චිත්‍රපටයේ රඟපාන්නේ නැත්තේ ඇයි..? චරිතයක් ලැබුණේ නැද්ද?
ජයන්ත අයියා බලකරලා තමයි අමීෂා රඟපාන්නේත්. මම චරිත බදාගන්නේ නෑ. මගේ ගාව කිසිම තණ්හාවක් නෑ.
අමීෂාගෙයි අර්ජුනගෙයි ජීවිතේ ගත්තොත් ලස්සන ගෙයක්... දෙන්නාගේ කාර්යබහුලත්වයත් එක්ක කොහොමද මේ ගෙවල් දොරවල්වල කටයුතු කරන්නේ?
මෙතන තිබ්බේ වෙන ගෙයක්. මගේ අම්මයි තාත්තයි හදපු ගෙයක්. ඉතින්... අපි ඒ ගේ ටිකක් අලුත් කළා. මේක අවුරුදු තුනකට උඩදී හදන්න පටන් ගත්තු ගෙයක්. අපි දෙන්නාගේ කැමැත්තට අපේ ප්ලෑන් එකට හදපු කලාකාමී විදිහට හදපු ගෙය සම්පූර්ණයෙන් ඉවර කළේ දැන් අවුරුද්දකට විතර උඩදි.
අර්ජුන අද ඉන්න තැනට එන්න පුදුමාකාර දුකක් වින්ඳා නේද..?
ඔව්... මාරම කට්ටක් කෑවා. හැබැයි ක්ෂේත්‍රයේ බොහෝ මිනිස්සු ආපු දවසේ ඉඳන් මාව කැපුවා. සියයට අනූවක් කළේ මට යන්න දීලා මට ගැහුවා. මම දන්නේ නෑ ඇයි එහෙම මිනිස්සු කුහක කියලා. මම උඩින් යන්නේ නෑ. මම පොළොවෙ පයගහලා ජීවත් වෙන මනුස්සයෙක්.
අමීෂායි ඔයයි ගත කරන ජීවිතේ කොහොමද..?
හොඳයි. ගොඩාක් සතුටින් අපි දෙන්නා ඉන්නවා.
අවුරුදු ගාණක් ක්ෂේත්‍රයේ හිටපු අර්ජුන - අමීෂාගේ විවාහ උත්සවය හරිම චාම් විවාහයක් වුණා නේද..?
ඔව්.. ඒක ඇත්ත. අමීෂායි මායි දෙන්නම ඒ ගැන කතා වුණා. වෙඩින් එකට වෙන්කරපු සල්ලිවලින් තමයි අපි කුසල් film එක කළේ. නිස්කාරණේ එක දවසකට වියදම් කරන සල්ලිවලින් අපි හොඳ යමක් කළා. අද වෙඩින් කරන එක විලාසිතාවක් වෙලානෙ. අඩුම ගාණේ වෙඩින් ඇල්බම් එක ගන්නවත් මිනිස්සුන්ට සල්ලි නෑ, ණයවෙලා හතර වටේ. මේක බොරුවක්නේ... මොකක්දෝ රැල්ලකට අපේ මිනිස්සු අහුවෙලා. එක දවසේ ආතල් එකට තමන් හම්බකරපු ඔක්කොම සල්ලි යට කරනවා. අපි වෙඩින් එකක් ගත්තේ නෑ. ළඟම අයට කියලා මවුපියන්ගේ ආශිර්වාදය ධර්මයේ ආශිර්වාදය ඇතුව අපි පොතේ ලියලා අත්සන් කළා. කවදාවත් ණයවෙලා මඟුල් කන්න එපා. ඒක හිතට බරක්.
කාලයක් අර්ජුනයි අමීෂායි තරහවෙලා දෙන්නා දෙපැත්තේ කියලා ගියපු රාවය මොකක්ද..?
මෙහෙමයි... අපි දෙන්නට අපල කාලයකුත් තිබුණා. එතකොට අපි විවාහවෙලා නෑ. ඒ නිසා අමීෂාගේ අක්කා කෙනෙක් කටාර්වල හිටියා. එයා එහෙට ගියා. ගිහින් මාස තුනෙන් අමීෂා ආවා. හැබැයි ගිය එක ගැන රාවය ගියා. ඒත්... ආව එක ගැන කතාවුණේ නෑ. ගොඩාක් අය කිව්වේ අමීෂා අර්ජුනව දාලා රට ගියා කියලයි.
► Text – Dishani / Pic - Internet