2024 මාර්තු 02 වන සෙනසුරාදා

සිනාලන්තයක් මවාලන සුප්ප සුපිරි දිලියා - දිලීප් තේජන කනකරත්න

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 2183

''අම්මට හුළං ගහන්න කවුද යකෝ මේ සුප්ප සුපිරි සඳ වංකගිරි කෑල්ල''

පට්ටම වන්නමක් සමාජ මාධ්‍ය වේදිකාවේ නටන මේ හාදයා දැක්කම එහෙම නොහිතුණොත් තමයි පුදුමෙ. සල්ල සලං සලං සලං වගේ වචන දොළක් ගලනවා වගේ කොහොම කටෙන් වැක්කෙරෙනවද හිතද්දි ඇබිත්තක් නෙවෙයි ගඟක් තරම් රන්කිරි කට ගාන්නැති මූට නම් ඈ... කියලා හිතෙන්නෙ මට විතරක් නෙවෙයිද මන්දා. 

කවුද බොලේ දිලිප්...

ඒ රස සරාගයේ දිලිසි දිලිසි සිනා සලද්දි බුරුතු පිටින් මිනිස්සු හිනා ගස්සවන හාදයා කවුද කියලා හොයන්න හිතුණා. ඉන්න තැනකින් කතා කරන්න කියලා මුහුණුපොත ඔස්සේ පණිවිඩයක් තියලා කතා කරද්දි එයත් ලංකාවෙන් ගිහින්. දිලිප් තේජන කනකරත්න දැන් හිටු කියලා මිනිස්සු හිනස්සවන්නෙ නවසීලන්තයෙ ඉඳන්. හිනාවෙලා හිනාවෙලා ඇස් දිලිසෙනකම් කම්මුල් රිදෙනකම් හිනස්සවලා හිනස්සවලා අන්තිමට ''අම්මට'' කියලා අවසානය සටහන් කරන දිලියා නැත්නම් දිලිප් නවසීලන්තයේ ඉඳන් සිනාලන්තයකට අප කැටුව යන අරුමයේ රස විඳිද්දි මරු ඩබල ප්‍රහසනය තුළින් වගේම ගායකයෙක් ලෙසත් හඬ කැවීම් ශිල්පියෙක් ලෙසත් ඔහු අප කැටුව ගිය රස සපිරි සුපිරි ඉසව් මගේ මතකයට නැගේ.

ඉතින් ඉතින්...

''වට්ටක්කයි තිත්ත කැකිරියි පට්ට පදිරියි කිව්වලු''

නෙහ්...

Q දිලිප්.. ටික දුරක් ඇවිදිමු අතීතයේ පාර දිගේ?

අවුරුදු දොළහක් විතර හඬ කැවීම් ශිල්පියෙක් ලෙස කාටූන් හඬ කැව්ව අතීතයක් මට තියෙනවා. රුපියල් අඩුවෙන් හම්බවෙච්ච කාලයක් වුණත් කාටූන් හඬ කැව්ව ඒ කාලෙ මතකත් හරි සුන්දරයි. මමයි මගේ යාළුවා චමත් හසරංගයි පටන් ගත්ත මරු ඩබලත් නැගලම ගිය ප්‍රහසනයක්. ඉතින් ඊටත් පස්සෙ මම හඬ කැවීම් ශිල්පියෙක් නිසා ඒ කෑල්ලයි රඟපාන කෑල්යි‍ෙ මේ කෑලි දෙකම එකතු කරලා අලුතින් ප්‍රහසනයක් පටන් ගන්න මට හිතුණා. ඒක මිනිස්සුන්ට හුඟක් දැනිලා තියෙන බව මට දැනෙනවා. 

Q කොහොමද එහෙම දැනෙන්නෙ?

මට එන ප්‍රතිචාරවලින් තමයි ඒ විත්තිය දැනෙන්නෙ. තාම බැණලා දොසක් කියලා කිසිම ප්‍රතිචාරයක් දැනිලා නෑ. ලැබිලත් නෑ. හැමෝම නියමයි, පට්ට ආදරෙයි, මේ අපේ ගෙදර වෙච්ච කතාවක්ද හිතුණා, මේ මට වෙච්ච දෙයක්ද හිතුණා, ඔය වගේ නානප්‍රකාර විදිහට තමන්ගෙ පපුවෙ තියෙන ආදරය පෙන්නන ප්‍රතිචාරම තමයි ලැබෙන්නෙ. මම හිතපු නැති ප්‍රේක්ෂකාගාරයක් ඒ වීඩියෝ නිසා මා වටා එක්වෙලා. අනේ ඇත්තමයි ලංකාවෙන් ඇවිත් නවසීලන්තය වගේ රටක ඉද්දි ඒ ප්‍රතිචාර මගේ පපුවටම දැනෙන්නෙ හරිම උණුසුම් විදිහට. මම මාර ආදරෙයි මගේ වටා එකතු වෙච්ච මගේ වීඩියෝ රසවිඳින ඒ හැම ප්‍රේක්ෂකයෙකුටම. එක වීඩියෝවකින් පස්සෙ තව වීඩියෝවක් කරන්න මට හුස්ම දෙන්නෙ, මට හයිය දෙන්නෙ, කරපං කරපං කියලා මගේ හදවතම මාව පොළඹවන්නෙ ඒ ආදරය. 

Q මේ වෙද්දි වීඩියෝ කීයක් විතර කරලා තියෙනවද?

මම හිතන්නෙ විසිපහක් විතර කරලා තියෙනවා. 

Q පිටපත් රචකයයි කැමරා ශිල්පියයි අධ්‍යක්ෂකවරයයි තුන්දෙනාම ඔයාමයි. එහෙමද?

ඔව්.. ඒ තුන්දෙනාම මම. ඒ කියන්නෙ දිලියා. නැත්නම් දිලිප්. 

Q දිලිප්.. මම දැක්ක විශේෂයක් තමයි ලැබෙන හැම ප්‍රතිචාරයකටම ප්‍රතිචාර දක්වන ඔබේ ළෙන්ගතුකම. කවර අරමුණක් හින්දද හැම ප්‍රතිචාරයකටම ප්‍රතිචාර දක්වන්නෙ?

මගේ වීඩියෝ එකක් බලන්න කාලය වෙන් කරන, ''ඩේටා'' වැයකරන ඊටපස්සෙ ප්‍රතිචාර දක්වන හැම කෙනෙක්ටම මම මගේ ගෞරවය ප්‍රකාශ කරන්න ඕනෑ. අද වෙද්දි ලංකාවෙ බහුතරයක් මිනිස්සුන්ට තියෙන ආර්ථික ප්‍රශ්න, ඒ අය ඉන්න පීඩනය, ආර්ථික අර්බුදය හමුවේ එයාලගේ හිත්වල තියෙන අවිනිශ්චිතභාවය මට දැනෙනවා. අද නවසීලන්තයේ ජීවත් වුණත් මම පය ගහලා හිටියෙත් ඔය පොළොවෙමයි. මට හුඟක් අය කියනවා හිතේ ප්‍රශ්නෙකින් ඉන්න වෙලාවක, වැඩ ඇරිලා මහන්සියෙන් ඉන්න වෙලාවකට ඔයාගෙ වීඩියෝ එකක් බලලා ඇති තරම් හිනා වෙනවා, සැහැල්ලු වෙනවා කියලා. මම කරන දේකින් එහෙම දෙයක් කෙනෙක්ට වෙනවා නම් සතුටක් සැහැල්ලුවක් කෙනෙක් විඳිනවා නම් ඊට වඩා සතුටක් මට කොහොමත් නෑ. ආදරයට ආදරයෙනුත් ගෞරවයට ගෞරවයෙනුත් ප්‍රතිචාර දැක්වීම මානුෂිකත්වයේ සන්නිවේදනයක් විදිහටයි මම තේරුම් අරන් ඉන්නෙ. 

Q ප්‍රසිද්ධිය කියන්නෙ කොහොම දෙයක් කියලද දැනෙන්නෙ?

ප්‍රසිද්ධ වීම භයානක දෙයක් සමහර විටෙක. ඒ වගේම එය සුන්දර අත්දැකීමක්, ඒත් සමහර විට. සමාජ මාධ්‍ය කියන එක හරි තියුණුයි. අද ලැබෙන ආදරය හෙට වෙනස්ම මනෝභාවයක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. දරාගන්නට හැකි සහ නොහැකි ප්‍රතිචාරත් කෙනෙකුට ලැබෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රසිද්ධිය කියන්නෙ මොකක්ද කියන එක සහ සමාජ මාධ්‍යයේ ඇත්ත ස්වභාවය තේරුම් අරගෙන ඒ තුළ සැරිසරනවා නම් යහපත් කියලා තමයි මම හිතන්නෙ. 

Q යමුද ටිකක් ඇවිදින්න ඉස්කෝලෙ දවස්වලට?

මම ඉස්කෝලෙ ගියේ මාතර රාහුල විද්‍යාලයට. මම ඉස්කෝලෙ ගියේ කලාවත් එක්ක ලොකු බැඳීමකින්. මමත් චමත් හසරංගත් පාසල් වියේ ඉඳන්ම හොඳම යාළුවෝ. එකම සංගීත කාමරයේ ඉඳන් අපි දෙන්නා සංගීතය ඉගෙන ගත්තෙ. ඇත්තටම චමත්ටත් මටත් තියෙන්නෙ අතීතයත් එක්ක ආව ගමනක්. සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් මම උපාධිය ලබාගත්තෙ සංගීත විෂය ඔස්සේ. ලංකාවෙ ඉද්දි මම සංගීත කණ්ඩායමක් එක්කත් හිටියා. ඒ වගේම පාසල් වියේදී නාට්‍ය තරගවලට ඉදිරිපත් වෙච්ච නළුවෙක් වෙන්නත් මට පුළුවන් වුණා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් පවත්වන වේදිකාවෙන් මහ පොළොවට කලා සම්මාන උළෙලකදී පාසල් මට්ටමින් හොඳම නළුවා වෙන්නත් මට පුළුවන් වුණා. ඒ මතක හරි ලස්සනයි. අද හරි උණුසුම් විදිහට ඒ මතක මට දැනෙනවා. 

Q ලංකාව වගේ රටක බහුතර කලාකරුවන්ගේ ආර්ථිකමය පසුබිම ඔබ දකින්නේ කොහොමද?

ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි පොදුවෙ ගත්තම කලාවේ බොහෝ ශානරයන් තුළ වෘත්තීමයභාවයක් නොමැති වීම. මට මතකයි බොහෝ විට හඬ කැවීම්වලදි ගෙව්වෙ හරි පොඩි ගාණක්. ආධුනික අයට වගේම ප්‍රවීණ හඬ කැවීම් ශිල්පීන්ටත් හුඟක් තැන්වලදි ගෙව්වෙ බොහොම සුළු ගාණක්. ඒ ගණන් සමහර විට ගෙව්වෙ මාස ගණන් පහුවෙලා. අපේ රටේ බහුතරයක් කලාකරුවන්ට 'බ්‍රෑන්ඩඩ්' ඇඳුම් පැළඳුම්, බෑග්, සපත්තු, ඔරලෝසු ගන්න තියා සාමාන්‍ය දෙයක් හිතේ හැටියට ගන්නවත් ආර්ථිකයක් නෑ. ඒත් සිනමාව කර්මාන්තයක් විදිහට තවත් කලා මාධ්‍යයන් කර්මාන්තයක් විදිහට ස්ථාපිත වූ බොහෝ රටවල කලාකරුවන් ඉන්නෙ රජවරු වගේ. රැජිනියන් වගේ. ඒ අයට මිනිස්සුන්ගෙ ආදරය, ගෞරවය වගේම සුපිරි විදිහට හැමදේම තියෙනවා. ඉතින් ඔවුන් ඉන්නෙ අර්බුදයක නෙවෙයි, මානසික පීඩනයක නෙවෙයි. ඒ නිදහස් සැහැල්ලු මානසිකත්වය කලාකරුවෙකුට අවශ්‍යයි. විශ්වීය නිර්මාණ බිහිවීමට ඔවුන් පළමුව ඒ නිස්කාංසු මානසිකත්වය තුළ සිටිය යුතුයි. ඒත් අපේ රටේ කලාකරුවන් වැඩි දෙනෙක් ඉන්නෙ ප්‍රශ්නවලින් හෙම්බත්වෙලා. හරි වේදනාවක් එහෙම හිතද්දි දැනෙනවා. ඇත්තටම හොඳ කලාවේදීන් බිහි කරන්න රටේ ආර්ථික නිදහස බලපානවා. 

Q ඔබේ ප්‍රහසන නිර්මාණ තුළ මම දකින විශේෂත්වයක් තමයි අමු ගතිය. සංස්කරණයෙන් වියුක්ත වීම නිර්මාණයකට හරි සුන්දර වග ඔබ විශ්වාස කරනවද?

ඔව්.. සංස්කරණය වෙන්න වෙන්න ස්වභාවික රසය නැතිවෙනවා කියන එක මම විශ්වාස කරනවා. සමාජ මාධ්‍ය තුළ සැරිසරද්දි හමුවෙන නිදහසට මම හරි ආසයි. සංස්කරණයෙන් සීමාව ඉක්මවා ගිය තැන්වල නැවතිලා අමු රසය මරන්න මම කොහොමත් කැමති නෑ. ඇත්තටම පිරිපහදු කරන තැන්වලට වඩා ස්වභාවිකත්වය ඉස්මතු කරන තැන් හරි සුන්දරයි. මට හිතෙන්නෙ එහෙම. 

Q ජීවිතයේ හයියට එදා මෙදා තුර හිටියෙ කවුද?

මගේ ආදරණීය තාත්තා අද මේ ලෝකෙ නෑ. ඒත් ඒ මතකය හැමදාමත් සුවදායී මතකයක්. මගේ තාත්තා දයානන්ද කනකරත්න. අම්මා අදටත් මගේ හැම දේකදිම ආශිර්වාදයක් වෙලා ඉන්නවා. ඇය කමලා කඹුරුගමුව. අම්මා ඇත්තටම මගේ හොඳ ප්‍රේක්ෂකයෙක්. මගේ නංගි ඉසුරි ජයනිකා. අයියා කෙනෙක් සහ නංගි කෙනෙක් අතරේ තියෙන ආදරය අපි දෙන්නම උපරිමයට වින්ද සහ විඳින දෙන්නෙක්. ඒ වගේම චමත් හසරංග කියන්නෙ මගේ ජීවිතේ ඉතිහාසගත මිත්‍රත්වයක්. අකුරක් හරි උගන්වපු ගුරුවරු, වචනෙකින් හරි ආශිර්වාද කරපු යාළු මිත්‍රයො, එකම එක ''කමෙන්ට්'' එකකින් හරි උත්තේජනයක් සපයපු මගේ ප්‍රේක්ෂකයන්, මේ හැමෝම මගේ ජීවිතය අස්සෙ මට දැනිච්ච මිනිස්සු. 

අන්තිමට කියන්න මම ඉතුරු කරගත්ත ලස්සනම නම තමා චමාලි කාරියවසම්. ඇය තමයි අද දවසේ මගේ ජීවිතේ ලොකුම හයිය. මේ තරම් නිදහස් මනසකින් මට මේ කලා කටයුතු කරගෙන යන්න පසුබිම නිර්මාණය කරලා දෙන්නෙ ඇය. ආර්ථික වශයෙන් බිරිඳක් විදිහට පුදුමාකාර හයියක් දීගෙන ආදරය සහ උණුසුම තුළ මා මානසිකව සුවපත් කරමින් ඇය ජීවිතයට දෙන රුකවරණය හරි සුන්දරයි. ඇය අද දවසේ මගේ ජීවිතය ඇතුළෙ ඉන්න ප්‍රධාන චරිතයක්. ආදරයට ආදරය කිරීමත් ගෞරවයට ගෞරව කිරීමත් මානව සබඳතාවල සුන්දරම පැතිකඩක්. 

I සංජීවිකා