2024 මාර්තු 16 වන සෙනසුරාදා

සුරම්‍ය මතක ඉතිරි කර රම්‍යා... යන්න ගියාය

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 29

''බ්‍රහ්ම කෙලියක්නෙ යකෝ මේක, මුන්ගෙ අඬු දිග ඇරෙනකොට මුං ගහන පදේට නටන්න ඕනෑ අපි... එව්වා කොහෙද... එව්වට කාර්බොලික් සබන් ගාලා නාලා වරෙන්..'' ඒ කැලණි පාලමේ මැටිල්ඩාය.

''වේලාව උදෑසන හයයි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. ප්‍රකාශය රම්‍යා වනිගසේකර'' විසින් යැයි කියද්දි පුදුම සිතුණේ ඒ රම්‍යා තුළ හුස්ම ගත් මැටිල්ඩාත් මැටිල්ඩා තුළ හුස්ම ගත් රම්‍යාත් එක්කෙනෙක්ම දැයි සිතා ගන්නට අසීරු තරම් ගැඹුරු ලෙස ඇය ආත්මීය ආලයකින් සහ සහකම්පනයකින් ඕනෑම රංගන භූමිකාවක් විචිත්‍රවත් කළ හෙයිනි.

ආර්.ආර්. සමරකෝන්ගේ කැලණි පාලම තුළ මානවීය හැඩතල වර්ණවත් කළ රම්‍යා 1930 ජූලි 17 වැනිදා කෑගල්ල කොටියාකුඹුරේදී මෙලොවට සැපැමිණියේ ඒ පවුලේ පස්වැනි දරුවා ලෙසය. දරුවන් හත් දෙනකුගෙන් යුත් පවුලක පස්වැනියා වූ රම්‍යා 1974 වසරේදී චන්දි ගුණතිලක නිෂ්පාදනය කළ හේවායෝ වේදිකා නාට්‍යයේ පසුබිම් ගායිකාවක ලෙස වේදිකාව තුළ අබිසෙස් ලද්දාය. ඉනික්බිති ජයතිස්ස අලහකෝන් නිෂ්පාදනය කළ වේදිකා නාට්‍ය සමුදායක පසුබිම් ගායිකාවක ලෙස වේදිකාව තුළ සැරිසැරූ රම්‍යා 1976 වසරේදී රංජිත් ධර්මකීර්තිගේ හස්තිරාජ මහත්තයා ඔස්සේ වේදිකා නාට්‍ය කලාව තුළ තම රංගනමය මුද්‍රාව සනිටුහන් කළාය. රංජිත් ධර්මකීර්ති නාට්‍යවේදියාගේම අංගාරා ගඟ ගලා බසී වේදිකා නාට්‍ය ඔස්සේ ඇය පසුබිම් ගායිකාවක ලෙස එයට ප්‍රාණය එක් කළේද එහි සංගීත අධ්‍යක්ෂවරයා වූ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස යටතේය.

වේදිකා නාට්‍යමය රංග සුවිසැරිය තුළ රම්‍යා තම සලකුණ සටහන් කළ සමාරම්භය ලෙස හැඳින්විය හැක්කේ 1978 දී වේදිකාව ඔපවත් කළ චූලා කාරියවසම්ගේ මනරංජන වැඩවර්ජන වේදිකා නාට්‍යයයි. එහි ගුණවතී මැටිල්ඩා බවට පරිවර්තනය වූයේ කැලණි පාලම ඔස්සේය. කැලණි පාලම ඇයට ජීවිතය හා ප්‍රේමය යා කළ පාලමක් වූයේ එහි නිෂ්පාදක ආර්.ආර්. සමරකෝන් ඉනික්බිති ඇගේ ආදරණීය ස්වාමියා බවට පත්වූ හෙයිනි. අහසින් වැටුණු මිනිස්සු, ඉඩම, මූදු පුත්තු, මා හේනේ රිරී යකා, ලියතඹරා, සිරිසඟබෝ, හිරු නැති ලොව වේදිකා නාට්‍ය ඔස්සේ වේදිකාව තුළ රම්‍යා මුද්‍රාව අසිරිමත් කළ ඇය 41 වසරක් පුරා කැලණි පාලම තුළ මැටිල්ඩා වූවාය. පළිඟු මැණිකේ, සඳ තනිවෙලා, කන්දෙ ගෙදර, දියණියෝ, කූඹියෝ, මැණික් නදිය ගලා බසී, නෑනලා, යර්ස් බොස් වැනි විසූක දස්සන ඔස්සේත් රිදී නිම්නය, මාරුතය, ටිකිරි සුවඳ, සරිගම වැනි සිනමා චිත්‍රණ ඔස්සේත් සොඳුරු ආගමන තැබූ ඇය සිනමාවටත් ගුවන්විදුලියටත් ක්ෂේත්‍රගත වූයේ 1982 වසරේදීය. 26 වසරක් පුරා ගුවන්විදුලිය තුළ තම හඬ පෞරුෂයේ මහිමය විදාහල රම්‍යා ගුවන්විදුලියේ 'යංස' යුගය සනිටුහන් කළ අවසන් රම්‍යාව ද වූවාය.

OCIC, කලා භූෂණ, ජනාධිපති ආදී සම්මාන බොහොමයකින් සම්මානිත වූ රම්‍යා වඩාත් සුරම්‍ය මතකයක් වන්නේ ජනප්‍රසාදය ඔස්සේ ලබාගත් ආදරය තුළ යැයි මට සිතේ...
ඉඳින් සැබැවින්ම සුරම්‍ය මතක කන්දරාවක් ශේෂ කර රම්‍යා යන්නම යන්නම යන්නම ගියාය...

එහෙත් සසර මෙතෙකින් නිම නොවන බව දනිමි.

I සංජීවිකා
සේයාරූ I  සුමුදු හේවාපතිරණ