ඔන්න මචෝ අද අරගෙන ආවා Virtual reality ගැන අපේ සුදාලා දැනගන්නම ඕනෑ Y Trend එකක්. මේ වෙනකොටත් ගොඩක් දෙනා දන්නවා VR තාක්ෂණය ගැන. ඉතින් සමහරවිට ඔයත් මේ අත්දැකීම විඳලා ඇති. සමහරවිට විඳලා නැතුවත් ඇති. ඒ කොහොම වුණත් ලෝකයේ අනාගතයේ Entertainment පැත්තට මේ සීන් කෝන් එකෙන් ලොකු බලපෑමක් එල්ල වෙන්න නියමිතයි. ඒ නිසාම අපේ වස්තුලා මේ කතාව දැනගෙනම ඉන්න ඕනෑ එකක්.
Virtual reality සීන් එක ගැන සිංහලෙන් කියනවා නම් මචෝ ඒක අපිට හඳුන්වන්න වෙන්නෙ "අතත්‍ය යථාර්ථය" කියලා. ඒත් මචෝ දන්න දැනෙන විදිහට VR තාක්ෂණය කියන සීන් කෝන් එකෙන් අපි මේ කතාව ගලපගමු. මේ තාක්ෂණයේදී සිද්ධ වෙන්නේ පරිශීලකයන්ගේ යථාර්ථයට සමීප වන අතත්‍ය පරිසරයක් නිර්මාණය කරලා දීම. ඒ කියන්නේ මචෝ අපිට බොරු ලෝකයක් හදලා දෙනවා ඇත්ත වගේ දැනෙන. මේ ත්‍රිමාණ පරිසරය නිර්මාණය කරන්න භාවිත වෙන්නේ පරිගණක මෘදුකාංග. ඒ වගේම සීන් එක අපිට පෙන්නන්න භාවිත වෙන්නෙ හිස්වැසුමක් නැත්නම් කණ්නාඩි වගේ අමුතු ගැජට් එකක් වෙන්න පුළුවන්.
ඇත්තටම මේ සීන් එක අත්දැකපු එක්කෙනෙක්ට නම් අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනෑ නෑ. ඒත් ලෝකෙ ජීවත්වෙන අපි හැමෝටම මේ තාක්ෂණය අත්දකින්න ලැබෙන දවස වැඩි ඈතක නෑ. මීට අවුරුදු තිහ හතළිහකට කලින් අපි කවුරුත් හිතුවේ නෑ smartphone එකක් ජීවිතේ අත්‍යවශ්‍යම අංගයක් බවට පත්වෙයි කියලා. ඒත් ඒක එහෙම වුණා. ඒ වගේම තමා ඉදිරි දශක කිහිපය අතරතුර VR තාක්ෂණයත් අපේ ජීවිතයේ කොටසක් බවට පත්වෙනවා.
කොහොම වුණත් විද්‍යාඥයන් කියන විදිහට VR තාක්ෂණයට තියෙන අර්ථ නිරූපණය දවසින් දවස වෙනස් වෙනවා. මොකද මචෝ මේ හරහා කරන්න පුළුවන් දේවල් ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනවා. ඒ නිසා ඇත්තටම මේ සීන් එකට හරි පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීම අපහසුයි. මේ වෙනකොට නම් ලෝකයේ VR තාක්ෂණය බහුල වශයෙන් භාවිත වෙන්නේ Entertainment වෙනුවෙන්.
3D තාක්ෂණයත් එක්ක හිමිහිට ඉස්සරහට ආපු Filming, Gaming වගේ industries ඔක්කොම VR තාක්ෂණයට සෙට්වෙලා තියෙනවා. මෙච්චර කල් මේ වගේ විනෝදාස්වාදය සපයන දේවල්වල අත්දැකීම පුළුවන් තරම් යථාර්ථයට සමීප කරන්න තමා මිනිස්සු උත්සාහ කළේ. VR තාක්ෂණයේ නැගීම ඒ දේ පහසු කළා. VR Headset කියන්නේ සල්ලි තියෙනවා නම් ඕනෑම කෙනෙක්ට බොහොම පහසුවෙන් මිලදී ගන්න පුළුවන් උපාංගයක්. ඇත්තටම මේක පට්ට Y Trend එකක්. ලෝකෙ පුරා ඉන්න ගොඩක් කෙල්ලො කොල්ලෝ VR Headset එකක් මිලදී ගන්න හීන දකිනවා.
මේ තාක්ෂණය භාවිත කරනකොට ඇහෙන සද්ද, පේන රූප ඔක්කොම ඔයාගේ මොළය රවට්ටනවා. රූප ශබ්ද හඳුනා ගැනීමේ අපේ මොළයේ ක්‍රියාවලියට මේක හරහා ලොකු බලපෑමක් කරලා අපි යථාර්ථයක ඉන්නවා වගේ හැඟීමක් සම්පූර්ණයෙන්ම අපිට දනවන්න මේ තාක්ෂණයට පුළුවන්. චිත්‍රපටයක් බලලා ගන්න අත්දැකීම වගේ නෙවෙයි මචෝ, කන්දකින් වැටෙනවා නම් ඔයාට ඒක එහෙම පිටින්ම දැනෙනවා. වාහනයේ යන එක වුණත් දැනෙනවා. ඉතින් මචෝ මේ සීන් එක මිනිස් මොළය එහෙම පිටින්ම රවට්ටන පිස්සුම පිස්සු සොයා ගැනීමක්.
VR Box ගැන සුදාලා දැනටමත් අහලා තියෙන්න පුළුවන්. ඒවා නම් ටිකක් ගණන්. ටිකක් කිව්වට ටිකක්වත් නෙවෙයි, ලක්ෂ කෝටි ගණන් දක්වා VR Box දැන් වෙළෙඳපොළේ තියෙනවා. මේ වෙනුවෙන්ම දැන් Film, Game හැම දෙයක්ම නිර්මාණය වෙනවා සුදෝ. දැනට නම් මේ වගේ දේවල් භාවිත කරන්නේ තරමක් සුපිරි පන්තියේ සල්ලි තියෙන අය. ඒත් ඉතාම ඉක්මනින් මේ තාක්ෂණය ලෝකෙ පුරා හැම පන්තියකම මිනිස්සු අතර පැතිරිලා යන්න පුළුවන් සුදෝ.
මිනිස් මොළේ ක්‍රියාකාරිත්වයට බලපෑම් කරන මත්ද්‍රව්‍යවලට මිනිස්සු ඇබ්බැහි වෙනවා කියලා සුදාලා දන්නවා. මේ සීන් එක හරහාත් අන්න ඒ වගේ ඇබ්බැහිවීමක් සිද්ධ වෙන්න බැරි නැහැ. තාම සීන් කෝන් එක ලෝකෙට අලුත් නිසා මේ හරහා මිනිස් සංහතියට වන බලපෑම මොන වගේ එකක්ද කියන එක පිළිබඳ පැහැදිලි අවබෝධයක් කාටවත් නැහැ. ඒත් දැනටමත් VR එක ඇබ්බැහියක් වෙලා තියෙන අය ලෝකෙ සමහර තැන්වලින් අපිට හම්බවෙනවා.
හැබැයි මචෝ ඒ සීන් කෝන් එක කොහොම වුණත් ලෝකෙ පුරා industries ගොඩක් මේ තාක්ෂණය භාවිත කරන්න පටන් අරගෙන තියෙනවා. මේ හරහා එයාලා ඒ ඒ ක්ෂේත්‍ර තුළ කරන්න පුළුවන් දේවල් අධ්‍යයනය කරනවා. විශේෂයෙන්ම මිලිටරි පැත්තේ වැඩවලදි මේක ලොකුවටම භාවිත වන බවට සාක්ෂි සාධක හම්බවෙනවා මචෝ. යුද හමුදා මෙහෙයුම්, ගුවන් හමුදා පුහුණුවීම් ආදියේදී පූර්ව අත්දැකීම් ලබාගන්න මේ තාක්ෂණය මේ අය භාවිත කරනවා.
Health පැත්තෙන් උදාහරණයක් කිව්වොත් විවිධ මානසික රෝගවලට ප්‍රතිකාරයක් විදිහට දැන් දැන් VR තාක්ෂණය භාවිත කරනවා. මොකද මෙච්චර කල් ලේසියෙන් කරන්න බැරිවුණු මොළය රවට්ටන වැඩේ මේ සීන් එකෙන් ලේසියෙන්ම කරන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයක්ම වගේ තාම තියෙන්නේ පර්යේෂණ අදියරක. අධ්‍යාපනික මෙවලමක් විදිහටත් මේ තාක්ෂණය භාවිත කරන්න දැන් සමහරු පෙළඹිලා ඉන්නවා.
කොහොමත් මේ වගේ දේවල් ආරම්භයේදී භාවිත වෙන්නේ අධ්‍යාපනික අර්ථයෙන් තමා. සුදාලා දන්නවනේ රූපවාහිනිය වුණත් ලෝකෙට හඳුන්වලා දුන්නේ අධ්‍යාපනික මෙවලමක් විදිහට. පස්සේ තමයි ඒ දේවල්වලින් වෙනස් වෙනස් වැඩ කරන්න මිනිස්සු පටන් ගත්තේ.
ඔය අමුතු කතා පැත්තකින් තිබ්බොත් මචෝ, මේක ආතල් වැඩක්. VR තාක්ෂණය හරහා ගෙදර ඉඳගෙන චිත්‍රපට ශාලාවේ Films බලන්න පුළුවන්. ඕනෑ නම් Film එකක චරිතයක් වෙලා ජීවත් වෙන්න පුළුවන්. Game එක ඇතුළට ගිහිල්ලා Game එක Play කරන්න පුළුවන්. ඒ වගේම මචෝ අපිට සාමාන්‍යයෙන් කරන්න බැරි දේවල් කරන්න, අපිට සාමාන්‍යයෙන් යන්න බැරි තැන්වලට යන්න VR තාක්ෂණය හරහා දැන් පුළුවන්.
ඉතින් මචෝ මේක සිරාවටම ඔලුව කරකවලා යන ආතල් Trend එකක්. තාමත් අපිට මේ සීන් එක ගොඩක් අලුත්. ඒ නිසාම අනාගතය පිළිබඳ ගුණ දොස් කියන එක සාධාරණ නැහැ. ඒත් අනාගත ලෝකය අමුතුම තැනක් බවට පත්වෙනවා කියන එකට නම් මේ සීන් කෝන් එක ලොකු උදාහරණයක්. හැබැයි සුදෝ මොනව කළත් පරිස්සමෙන් කරන්ට ඕනෑ එච්චරයි. හරිය.
I නිසල්