මුඩුක්කුවෙන් ආ කුමාරිකාව ඇයයි මලීෂා ක්හර්වා
මුළු ලොවක් ඇයව හඳුනන්නේ "මුඩුක්කුවෙන් ආ කුමාරිකාව - The Princess From The Slum" නමින්. ජීවිතය පිළිබඳ අපූරු කතාවක් ලෝකයට කියා දෙන ඇය මලීෂා ක්හර්වා. දැන් ඇය නිරූපිකාවක්. ඒ වගේම සමාජ මාධ්‍ය තුළ ප්‍රබල චරිතයක්. විශාල රසික පිරිසක් ඇයට ආදරය කරනවා.
මීට වසර කිහිපයකට කලින් මලීෂා ජීවත් වුණේ ඉන්දියාවේ මුම්බායි නගරයේ මුඩුක්කු පරිසරයක. මුහුද මායිමේ තෙත්බර පරිසරයක මූලික පහසුකම්වත් නැති පුංචි මුඩුක්කු නිවසක ඇගේ බාල කාලය ගත වුණා. ඇගේ ජීවිතය වෙනස් කළ අපූරු පුද්ගලයා ඇයට මුණගැසුණේ 2020 වසරේදි. ඔහු හොලිවුඩයේ ජනප්‍රිය සිනමා තරුවක් වුණු රොබට් හොෆ්මන්. රොබට්ට ඉන්දියානු සංචාරයක් අතරතුරදි පුංචි මලීෂාව මුණගැසුණා. ඒ වෙනකොට ඇයට වයස අවුරුදු දොළහක් විතර ඇති.
ඒක හරිම අපූරු කතාවක්. රොබට් ඉන්දියාවෙන් පිටත්වෙලා යන්න බලාපොරොත්තුවෙන් හිටියේ යුරෝපයේ නර්තන වැඩසටහන් වගයක් සිදු කරන්න. ඒත් හදිසියේම කොවිඩ් වසංගතය නිසා ඔහුගේ සංචාරයට සීමා පැනවුණා. මේ එක්කම මුඩුක්කු පරිසරයක් තුළ ගීතමය රූප රචනාවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් රොබට්ට තිබුණා. ඒත් මුඩුක්කුවේ තියෙන දුක ලෝකෙට කියලා දෙන්න නෙවෙයි ඔහුට ඕනෑ වුණේ. ඔහු වෙනස් විදියක වීඩියෝ නිර්මාණයක් කරන්න හිතපු නිසාම නළුවෙක් වෙනුවට මේ පරිසරයෙන්ම චරිත එකතු කරගන්න කල්පනා කළා.
“දැක්කම ඇස් ඉවතට ගන්න බැරි තරම් ලස්සන අපූරු ළමයෙක් ඉන්නවා"
රොබට්ට ඒ ආරංචිය කිව්වේ මිත්‍රයෙක්. ඒ තමා මලීෂා. ඒත් ඇයව බලන්න ගියාම ඇය තමන්ගේ නිර්මාණයට ලස්සන වැඩියි කියලා තමා ඔහුට හිතුණේ. ඒ නිසා පුංචි මලීෂාගේ ඥාති සහෝදරියකට තමයි, ඒ නිර්මාණයට දායකත්වය ලබාදෙන්න අවස්ථාවක් ලැබුණේ. ඒත් අහිමිවුණු අවස්ථාව පිටිපස්සේ ලොකු වාසනාවක් රැඳිලා තිබුණා.
මලීෂා සතුව තිබුණු අපූරුම හැකියාව තමයි ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස හැසිරවීමේ හැකියාව. මේ නිසාම රොබට්ට ගොඩක් දේවල් කියලා දෙන්න මේ පුංචි මලීෂා කටයුතු කළා. ඇගේ නිවසටත් රොබට් ගියා. ඒ පුංචි නිවසේ මලීෂයි ඇගේ පුංචි සහෝදරයයි සහෝදරියයි අම්මයි තාත්තයි තමා ජීවත් වුණේ. රොබට්ට නම් මේ හැමදෙයක්ම අලුත් පුදුම හිතෙන අත්දැකීමක් වුණා. මේ සම්පූර්ණ සිදුවීම මේ අතර වීඩියෝගත කරන්නත් ඔහු ඇතුළු කණ්ඩායම වගබලා ගත්තා.
රොබට්ට ඒ අතර හින්දී භාෂාව කියලා දෙන්නත් මලීෂා අපූරු උත්සාහයක යෙදුණා. මේ අපූරු හමුවීමත් එක්ක මලීෂාගෙ බලාපොරොත්තුව කරළියට එනවා. ඇය විටෙක සඳහන් කරනවා "මට නිරූපිකාවක් වෙන්න ඕනෑ" කියලා. ඇයට ඒ බලාපොරොත්තුව ඇතිවෙන්න හේතු කාරණා සපයන්නෙත් රොබට් හොෆ්මන්. ඒ නිසාම මේ අපූරු හමුවීමෙන් පස්සේ මලීෂාව අත නොහැර ඉදිරියටම ගෙනියන්න ඔහු උත්සාහයක නිරත වෙනවා.
රොබට් මේ පුංචි දැරිවියට ඉන්ස්ටග්‍රූම් පිටුවක් නිර්මාණය කරලා දෙන්න කටයුතු කළා. අද වෙනකොට මලීෂාට අවුරුදු දාසයක්. දැන් ඇයට ඉන්ස්ටග්‍රූම් හරහා අනුගාමිකයන් ලක්ෂ හතරහමාරකට අධික පිරිසක් ඉන්නවා. ඒ වගේම ඇය ළමා නිරූපිකාවක් විදියට තමන්ගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරලා, ඉන්දියාවේ නිරූපණ ක්ෂේත්‍රයේ චරිතයක් බවට පත්වෙමින් ඉන්නෙ. බොහෝ දෙනෙක් ඇය පිළිබඳ කතා වෙනවා වගේම, ඇයට ආදරය කරනවා.
කොහොම හරි එදා හමුවීමෙන් පස්සේ රොබට් මලීෂා වෙනුවෙන් අරමුදලක් පවා නිර්මාණය කරන්න කටයුතු කළා. ඒ අරමුදලත් ඇයට ගොඩක් උදව් වුණා. නිරූපණ ක්ෂේත්‍රයේ අවස්ථා ඇයට උදා වෙන්න පටන් ගත්තේ මේ කතාව ජනප්‍රිය වීමත් සමඟ. ද හින්දු පුවත්පත ඇතුළු ඉන්දියානු මාධ්‍ය වගේම ජාත්‍යන්තර මාධ්‍යයත් ඇය පිළිබඳ අවධානය යොමු කළා. මේ හැමදෙයක්ම සිද්ධ වුණේ පුංචි මලීෂාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින්.
එක ආදරණීය කාරුණික හමුවීමක් ජීවිතය කොතරම් වෙනස් කරනවද කියලා කියන්න මලීෂාගෙ කතාව තරම් අපූරු උදාහරණයක් තවත් නම් නෑ. හිමිහිට ජීවිතය වෙනස් කරගන්න පටන් ගත්ත මලීෂා ඇතුළු පවුල මුඩුක්කුවෙන් මිදිලා දැන් කුලී නිවසක තමා ජීවත් වෙන්නේ. ඇත්තටම දැන් එයාලා හෙමිහිට දියුණු වෙනවා.
පසුගිය වසරේ මාර්තු මාසයේදි, සුඛෝපභෝගී ඉන්දියානු රූපලාවණ්‍ය නිෂ්පාදන සන්නාමයක් වන Forest Essentials එහි ප්‍රචාරක මුහුණුවර විදිහට නව යොවුන් මලීෂාව තෝරාගෙන තිබුණා. ඒ වගේම ඉන්දියාවේ ජනප්‍රිය සඟරා කවර කිහිපයකටම පෙනී ඉන්න මලීෂා සමත් වුණා.
“මට ගොඩක් දේවල් සඳහා අවස්ථාව ලැබෙනවා. ඒත් මම ඒ ඔක්කොම බාරගන්නේ නෑ. මට ඉගෙන ගන්න ඕනෑ"
මේ වෙනකොට අධ්‍යාපනයට ප්‍රමුඛත්වය ලබා දීලා තියෙන නිසාම තමන්ට ලැබෙන අවස්ථා තෝරා බේරාගන්න පුංචි මලීෂා කටයුතු කරනවා. ඒත් ඇය කියන විදිහට ඇය දවසක පූර්ණ කාලීනව නිරූපණ ක්ෂේත්‍රයට එකතු වෙන්න සූදානමින් පසුවෙනවා. ඇත්තෙන්ම දවසක ඇයට බොලිවුඩයේ සිනමා තාරකාවක් බවට පත්වෙන්නත් ලොකු අවස්ථාවක් තියෙනවා.
අවස්ථාවන් හැමෝටම උදා වෙන්නේ නෑ. ඒ වගේම අවස්ථාවක් උදා වුණාම ඒ අවස්ථා කළමනාකරණය කරගන්න හැමෝටම ලෙහෙසි නෑ. අපි බලමු මේ අපූරු යොවුන් නිරූපිකාවගේ කතාව කොහොම ලියවෙයිද කියලා.
I චමිඳු