2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා

මම ඉන්නවා ලංකාවේ කඳු නගිනවා ලංකාවේ...

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 65

මෑත කාලීනව ශ්‍රී ලංකාවට පැමිණෙන YouTube Travelers ලා ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ යමින් තියෙනවා. ඔන්න පහුගිය දවසක තවත් ජනප්‍රිය Traveler කෙනෙක් වෙන ඩැනී ලංකාවේ ඇතුළේ Video series එකක් පටන් ගත්තා. 

Subscribes ලා ලක්ෂ තුනහමාරක් විතර ඉන්න ඩැනීගේ YouTube Chanel එක තමා Dany #gotaworldtosee. ඩැනී ලංකාවට ඇවිත් පළවෙනියටම වැඩ පටන් ගත්තෙ කොළඹ.

“කොළඹ කියන්නෙ ඇත්තටම සංචාරයට සුදුසු නගරයක්. සුපිරි හෝටල්, හොඳ පිහිනුම් තටාක ඇතුළු පහසුකම් රැසක් තියෙනවා" 

කොළඹ ගැන හොඳ කියන ගමන් ඩැනී වැඩේ පටන් ගත්තා. 

“ලංකාවේ අලුත් ගොඩනැගිලි හරිම අපූරුයි. මම ගිය වතාවේ ආපු වෙලාවෙ මේ ගොඩනැගිල්ල ආවරණය කරලා තිබුණේ. දැන් ඒක ඉවත් කරලා"

අලුතින් විවෘත වුණු ඇලවෙන නිවුන් ගොඩනැගිලි දෙක සහ වන්ගෝල්ඩ්ෆේස් ගොඩනැගිල්ල ඇතුළු කොළඹ නවීන ඉදිකිරීම් පිළිබඳව ඉතාම සතුටින් තමා ඩැනී කතා කළේ.

ලංකාවේ ගොඩනැගිලි කිහිපයක් පිළිබඳවම තොරතුරු හොයාගෙන තිබුණු හැටි ඒවා හැමෝටම පැහැදිලි කළා. නෙළුම් කුලුන අපූරු ඉදිකිරීමක් බවත් එය චීනය විසින් ඉදිකරන ලද්දක් බවත් ඩැනී කිව්වා.

“කවුද ඉදි කළේ කියන එක නෙවෙයි කාරණාව. කොළඹ සංවර්ධනය වෙලා තියෙනවා කියන එක තමයි කාරණාව. මට පෙන්නන්න ඕනෑ 'මොඩර්න්' කොළඹ"

අපිට අගය නැතත් අපේ ප්‍රධාන නගරය පිළිබඳ අවධානය තියෙන බව ඩැනීගෙ කතාබහෙන් හොඳටම තේරුණා. අපේ රට මොන වගේ තත්ත්වයක තිබුණත්, කොළඹ කියලා කියන්නෙ ලෝකෙ තීරණාත්මක ආර්ථික දේශපාලන අග නගරයක්.
මෙහෙම කතාබහ කර කර කොළඹ ඇවිදින අතර ඩැනීට තවත් අපූරු වැඩක් වුණා. 

“මගේ පර්ස් එක දැන් වැටුණා. ඒක මම දැක්කෙ නැහැ. ත්‍රීරෝද රථ රියැදුරෙක් තමයි මට ඒක පෙන්නුවේ"

ඩැනීගේ පසුම්බිය බිම වැටිලා තිබිලා. ඒක අපේ කෙනෙක් පෙන්නලා. ඇත්තටම ඒක මහා ලොකු දෙයක් නොවුණත් මේ වගේ වීඩියෝ එකක් අතරතුර මේ චූටි සිදුවීම අපේ රටේ මිනිස්සුන්ගේ ප්‍රතිරෑපයට යම් යහපත් බලපෑමක් කළා. 

වන්ගෝල්ෆේස් Shopping mall එකට ගියපු ඩැනී ඇත්තටම ඒ නිර්මාණයත් බොහොම අගය කළා. ඇතුළේ කතාබහ කරන ගමන් ගොඩක් දේවල් ලෝකයත් එක්ක බෙදා ගත්තා.

ඉර බැහැගෙන යන හැන්දෑවේ ගෝල්ෆේස් එකේ ඇවිදින්නත් ඩැනී අමතක කළේ නෑ. මේ අතර ලංකාවේ කොල්ලෙක් ඩැනීට ටිකක් කතා කළා.

“වීඩියෝ කෝල් එකකද ඉන්නේ?" 

කියලා අපේ කෙනා ඇහුවෙ ඩැනීගෙ කැමරාව නිසා. තනියම කතා කර කර ගිය ඩැනී කොහොම හරි මේ අපේ තරුණයත් එක්ක කතා කරන්න පටන් ගත්තා. 

“නෑ මම මේ වීඩියෝ කරනවා. මොකක්ද ඔයා කරන්නේ?”
“මම මේ සින්දුවක් අහනවා"
“මොන විදිහෙ සින්දුවක්ද?"
“සිංහල රුප් සින්දුවක්" 

සින්දුව ගැනත් ගායකයෝ ගැනත් විස්තර අහලා දැනගත්ත ඩැනී ඒ සින්දුවට ටිකක් ඇහුම්කන් දුන්නා. පස්සෙ දෙන්නම නම ගම කියාගෙන දැන හඳුනාගෙන එකිනෙකාට සමු දුන්නා.

දිගින් දිගටම ලංකාවේ ගොඩනැගිලි සහ සංවර්ධනය ගැන තමයි ඩැනීගේ අවධානය යොමුවෙලා තිබුණේ. මෙන්න ඊටපස්සේ පෝට් සිටිය බලන්න ඩැනී ගියා.

“තාම පෝට් සිටිය සම්පූර්ණයෙන්ම විවෘත වෙලා නෑ. ඒත් මෙතැන ඇත්තටම ලස්සනයි. ඩුබායි vibe එකක් තියෙන්නේ" 

වරාය නගරයේ අලුතින් ඉදිවුණු කුඩා පාරවල් අතර සංචාරය කරපු ඩැනී වරාය නගරයේ වෙරළටත් ගියා. 

“ප්‍රධාන නගරයක වෙරළක් තිබීම හරිම අපූරු දෙයක්. ඇත්තටම මේ වෙරළ ගැන මම කලින් වතාවේ දැනගෙන හිටියෙ නැහැ"

ඇත්තටම ලංකාවේ ගොඩක් දෙනෙක් තාමත් දන්නෙ නෑ වරාය නගරේ තියෙන වෙරළ ගැන. ඒක ඇත්තෙන්ම විශාල වෙරළ තීරයක්. ජල ක්‍රීඩා සඳහා වුණත් පහසුකම් සපයලා තියෙනවා. ඩැනී මේ හැමදෙයක්ම ලෝකෙට පෙන්නුවා.

කොහොම හරි අවසානයේ ඔහු වීඩියෝව ඉවර කළේ මෙහෙම.

“ලංකාවේ ඉන්න බලාපොරොත්තු වෙනවා. කඳුවලට යන්න, මිනිස්සු මුණගැහෙන්න. මේ තමයි ආරම්භය"

I චමිඳු