2024 මැයි 04 වන සෙනසුරාදා

මෝඩ ජෝක් නෙවෙයි මචෝ සුපිරි ආතල් පොකුරක්!

 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 71

ඔන්න මචෝ අපි අද අරගෙන ආවා Television එක ඇතුළේ තාමත් නැගලා යන Trend එකක්. දැන් TV නම් තරුණ පරම්පරාවෙන් ටිකක් ඈත්වෙලා යන ලයින් එකක් තියෙන්නෙ. කොහොම වුණත් අපේ සුදාලා දන්නවා TV එකට Programs Category තියෙනවා. ඒ අතරින් එක ජාතියක් ගැන තමා අපි අද කතා කරන්න යන්නේ. 

Game Shows කියන්නෙ රූපවාහිනී මාධ්‍ය තුළ නරඹන්නන්ට විනෝදාස්වාදය සපයන තවත් වැඩසටහන් වර්ගයක්. ලංකාවෙ නම් එක එක නළු නිළියො ඇවිල්ලා බෝල අල්ලන ඒවා, බැලුම් පුම්බන ඒවා, පුටුවල කැරකෙන ඒවා මේ දවස්වල Viral වෙනවා සුදාලා දැකලා ඇති. ඒ වගේම මිලියන ගණනින් තෑගි දෙන ප්‍රශ්න අහන වැඩසටහන් එහෙමත් දැන් සෑහෙන්න තියෙනවා. තරගකාරී ඒ හැම වැඩසටහනක්ම අයත් වෙන්නේ මෙන්න මේ Category එකට තමා මචෝ.

ලංකාවේ විතරක් නෙවෙයි, මුළු ලෝකෙම දැන් නැවතත් මේ වගේ විනෝද ක්‍රීඩා සම්බන්ධ පුංචි රුල්ලක් නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම රූපවාහිනිය තරුණ පරපුරෙන් ඈත්වෙන කාලේ  මේ වගේ වැඩසටහන් හරහා හරි පිරිස තමන් වටේ එකතු කරගන්න තමයි ඒ අය උත්සාහ දරන්නේ. ඇත්තෙන්ම ඒකෙ ටිකක් විතර ප්‍රතිඵල නැතුවමත් නෙවෙයි.

මේ තරගවල සාමාන්‍ය ස්වභාවය තමයි Host ඉන්නවා රූපවාහිනිය පාර්ශ්වයෙන්. ඔහු නීතිරීති පහදා දෙමින් තරගය මෙහෙයවනවා. රූපවාහිනියේ නිෂ්පාදන කණ්ඩායම හරි, වෙනත් විනිශ්චය මණ්ඩලයක් හරි තරගය සඳහා විනිශ්චය ලබා දෙනවා. විනිශ්චය මණ්ඩලයත් සංදර්ශනාත්මකව තමයි භාවිත කරන්නේ. මේ සීන් එකේදි  ජයග්‍රාහකයන්ට ත්‍යාග හිමිවෙනකොට නරඹන්නන්ට විනෝදාස්වාදය ලැබෙනවා.

ඇත්තටම මචෝ මේ වැඩසටහන් වර්ගයේ ආකෘතිය ගැන ලොකුවට පැහැදිලි කරන්න අවශ්‍ය නෑ. මොකද අපේ සුදාලා ඔක්කොමලා වගේ මේ ජාතියේ වැඩසටහන් නරඹලා තියෙනවා. ඒත් වර්තමානයේ මේ වැඩසටහන් ගැන කතා කරන්න කලින්, අපි මේ වැඩසටහන්වල ඉතිහාසය ගැනත් චුට්ටක් කතා කරන්න ඕනෑ මචෝ.

අපි ටෙලිවිෂන් එක ගැන නිතර කතා කළත් රේඩියෝ එකත් මේකෙ ආරම්භයට සම්බන්ධයි. 1930 දශකයේ අග තමා රේඩියෝවට වගේම ටීවී එකටත් මේ වැඩසටහන් ආකෘතිය හඳුන්වා දීලා තියෙන්නේ. කොහොම වුණත් 1950 වගේ වෙනකොට ඇමෙරිකා එක්සත් ජනපදයේ දිවා කාලයේ රූපවාහිනී වැඩසටහන් අතර අනිවාර්ය අංගයක් බවට Game Shows පත්වෙලා තියෙනවා. මේවා පැන විසඳුම් වැඩසටහන්, ප්‍රහේළිකා විසඳීමේ වැඩසටහන් විදිහට තමා ආරම්භ වෙලා තියෙන්නේ.

කොහොම හරි මචෝ වර්තමානයේ මේ සීන් එක Reality Program කියන වැඩසටහන් ආකෘතියත් එක්ක තමා මෙච්චරම නැගලා යන්න පටන් ගත්තේ. මුලින්ම ඇමෙරිකාව පැත්තෙන් තමයි සීන් එක කරළියට ආවේ. පස්සේ මේ වැඩසටහන් ලෝකෙ පුරාම ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. ඒත් එක්කම මේ වැඩසටහන් ආකෘති සම්බන්ධව ගැටලුත් මතුවුණා. පස්සේ මේ ආකෘති හදපු අය ඒවා වෙනත් රටවල්වලට විකුණුවේ මුදලට. අදටත් අපේ රටේ විකාශය වන මේ ජාතියේ සමහර වැඩසටහන්වල කර්තෘ අයිතිය වෙනුවෙන් රූපවාහිනී නාලිකා මව් සමාගම්වලට ගෙවීම් සිදු කරනවා.

1990 ට පස්සේ මේ වැඩසටහන්වල ලොකු ආභාෂයක් ලබාගත්තේ බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, කැනඩාව වගේ රටවල්. ඇමෙරිකානු මොඩලේ වැඩසටහන් තමයි මුල් කාලේ ලෝකයේ අතිශය ජනප්‍රිය වුණේ. කොහොම හරි මේ සීන් එක ඇතුළෙ කැනඩාව ලොකු කොටස්කාරයෙක් වුණා. මුලින්ම ඇමෙරිකාව ඒවා බලලා පස්සේ ඒවා වෙනත් විදිහට හදලා ලෝකෙට අරගෙන ගියා. කැනඩාවේ රූපවාහිනී ආයතන මේ සීන් එකේ ලොකුවට හිටියා. පස්සේ කැනඩාවෙ අයටත් ඇමෙරිකාවේ වැඩසටහන්වලට සහභාගි වෙන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒවා වෙනම හොයලා බලන්න ඕනෑ Interesting කතා.

ඒත් මේවත් එක්ක අතිශය විනෝදාත්මක ක්‍රීඩා ආදිය මුහුවෙන්න පටන් ගන්නකොට ජපානය අලුත් මොඩලයක් මේ වැඩසටහන්වලට අරගෙන ආවා. සුදාලා අටපට්ටමෙන් එහෙම ඒ කාලෙ බැලුවේ මෙන්න මේ ජාතියේ ආතල් එකක්. මේවා නිකම් ශාරීරික ප්‍රයෝග මළල ක්‍රීඩා වගේ දේවල්වලින් ලොකුවට ආභාෂ ගත්ත තරග. වැටෙනවා, නැගිටිනවා, අපිට හිනා යනවා. වෙනම ආතල් එකක්. හැබැයි මුල් කා‍ලේ මචෝ ඇමෙරිකාව සහ අනිත් රටවල් මේ ආකෘතිය දැකලා ලොකුවට හිනා වුණා. එයාලා  මේක ජෝක් එකට ගත්තා.

හැබැයි මචෝ පස්සෙ පස්සේ මේ ජපන් උන්ගේ ආකෘතියත් එක එක වෙනස්කම් සහිතව ලෝකෙ පුරා ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. %ස්ටන්ට්^ සම්බන්ධව ඇමෙරිකාවේ නිර්මාණය වුණු අතිශය ජනප්‍රිය රියැලිටි වැඩසටහන්වලට ආභාෂය ලැබුණේ මේ ජපනුන්ගේ පිස්සු Game Shows වලින් කියන එක ප්‍රසිද්ධ රහසක්.

මුල් කාලීනව මේ වගේ තරග සඳහා යොදාගත්තෙ නරඹන්නන් අතරින් තෝරාගන්නා පිරිස්. ඒත් පසුකාලීනව මේ තරග සඳහා විශාල වශයෙන් යොදාගත්තේ ජනප්‍රිය චරිත. නළු නිළියන්, ගායකයන්, ක්‍රීඩකයන්, දේශපාලනඥයන් පවා මේ තරගවලට එකතු කරගන්න රූපවාහිනී ආයතන කටයුතු කරන්න පටන් ගත්තා. වැඩිදුර යන්න ඕනෑ නෑ, ලංකාවෙම මේ ජාතියේ වැඩසටහන් ටික මතක් කරලා බැලුවොත් සුදාලට සීන් එක තේරෙයි. ඉස්සර වොන්ඩලයිට් කුමර කුමරියෝ වගේ වැඩසටහන් තිබුණා. දැන් තියෙනවා නළු නිළියන්ට ඩක ඩක පුටුව වගේ වැඩසටහන්.

මෑත කාලීනව මේක ලොකුවටම ජනප්‍රිය වෙන්න හේතුව වුණේ කොරියානු ජනප්‍රිය රුල්ල. කොරියානු සිනමාව, කොරියානු සංගීතය ලෝකය පුරා ජනප්‍රිය වෙන්න පටන් ගත්තම ඒ චරිත භාවිත කරලා Game Shows සැලකිය යුතු ප්‍රමාණයක් හැදෙන්න පටන් ගත්තා. ඒ වැඩසටහන් හිතාගන්න බැරි විදිහට ලෝකය පුරා ජනප්‍රිය වුණා. ඇමෙරිකාව, යුරෝපය පවා මේ වගේ වැඩසටහන් වැළඳ ගැනීම පුදුමයක්. කොරියානු ආභාෂය මේ අලුත් රුල්ලට ලොකු හේතුවක් වුණු බව ඉතාම පැහැදිලියි.
කොරියාව විතරක් නෙවෙයි, ජනප්‍රිය සංස්කෘතියේ ඉදිරියෙන් ඉන්න විනෝදාස්වාදය සම්බන්ධව වැඩිපුර කටයුතු කරන සියලුම රටවල් තුළ මේ වැඩසටහන් ආකෘතිය නැවතත් ක්‍රමයෙන් ඉදිරියට එමින් තියෙනවා. විශේෂයෙන්ම ඉන්දියාව සහ චීනය දැන් දැන් මේ වැඩසටහන් එක්ක ලොකු පෙරළියක් කරන බව පේනවා. ඒ වගේම තායිලන්තය වගේ රටවලුත් අපිට අමතක කරන්න බෑ.

කොහොම වුණත් මචෝ මේක වෙනම ආතල් එකක්. සුපිරිම සුපිරිම ආතල් එකක්. කෙනෙකුට නිකම් මෝඩ ජෝක් එකක් වගේ පේන්නත් පුළුවන්. ඒත් ඉතින් ප්‍රායෝගික ජීවිතයේදී මිනිස්සුන්ට මේ වගේ විනෝදය ලබන්න තියෙන අවස්ථා එන්න එන්නම නැතිවෙන නිසා, මිනිස්සු මේ වගේ දේවල් හරි බලලා හිනා වෙන්න පෙළඹිලා තියෙනවා. ඒක තමා ඇත්තම කතාව.

I නිසල්