2024 මැයි 04 වන සෙනසුරාදා

හැමදේම දමලා ගහලා ගෙදර යන්න හිතුණා - රෙබෙකා දිල්රුක්ෂි

 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 50

Q රෙබෙකා... ඔබ ළඟදීම තිරගත වීමට නියමිත සසික හේරත්ගේ කුළුඳුල් සිනමා පටය වන මහාචාර්ය චරිත් ගුණතිලක සහ  ධම්මික ගීකියනගේ ගේ නිෂ්පාදනයක් වන "සිහින සමීකරණ" චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. අපි මුලින්ම ඒ ගැන කතා කළොත්?

ඔව්... මම කලින් ඉඳන්ම සසික අයියව (සසික හේරත්) හඳුනනවා. ඊට පෙර ඔහු සහාය අධ්‍යක්ෂණය කළ නිර්මාණය කිහිපයකටම මම සම්බන්ධ වුණා. ඒ වගේම මම දායක වුණු වේදිකා නාට්‍ය ගැන වගේම මගේ රංගනය පිළිබඳ යම් වැටහීමක් ඔහුට තිබුණා. ඒ නිසාම ඔහුගේ කුළුඳුල් අධ්‍යක්ෂණයට මට කතා කළා. ඉතින් හරිම ආසාවෙන් මම "සිහින සමීකරණ" නිර්මාණයට දායක වුණා. මේකරූගත කිරීම් කළේ 2019 අවුරුද්දේ.

Q රෙබෙකා දායක වුණු චරිතය ගැන කතා කළොත්?

මම "සිහින සමීකරණ" චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන්නේ "දිල්කි" කියන ගෑනු ළමයගේ චරිතයට. දිල්කි කියන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු තරුණියක්.

Q මීට අමතරව ඔබ සම්බන්ධ වුණු නිර්මාණ මොනවාද?

මීට අමතරව මම සුපුන් රත්නායක අධ්‍යක්ෂණය කරන "තත්පරයක් දෙන්න" ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව සේනාත් විමලවීර අධ්‍යක්ෂණය කරන "අළු පාට දේදුනු" ටෙලිනාට්‍යයටත් රංගනයෙන් දායක  වෙනවා. ඉදිරියේදි තවත් නිර්මාණය කිහිපයක්ම එන්න තියෙනවා.

Q රෙබෙකා පුංචි තිරයට සම්බන්ධ වෙන්න පෙර වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණු රංගන ශිල්පිනියක්. ඒ ආරම්භය කොහොමද?

මගේ කලා ජීවිතය ආරම්භ වුණේ පාසලෙන් සහ පල්ලියෙන්. මගේ ගම බණ්ඩාරවෙල. මම ඉගෙන ගත්තේ බණ්ඩාරවෙල මධ්‍ය මහා විදුහලෙන්. පාසලේ නාට්‍ය හා රංග කලාව ඉගැන්වූ මාලා දමයන්ති ගුරුවරිය නිසා තමයි කලාවෙන් මම මෙච්චර දුරක් ආවේ. ඇගෙන් ලැබුණු පන්නරයත් එක්ක මේක විෂයක් ලෙසින් වැඩිදුරටත් හදාරන්න මට ඕනෑ වුණා. මම උසස් පෙළ අවසන් කරලා ශ්‍රීපාලි විශ්වවිද්‍යාලයට තේරුණා. එහිදී මම බොහෝ දේවල් ඉගෙන  ගත්තා. එතැන් සිට නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

Q බණ්ඩාරවෙල ඉඳන් කොළඹට ඇවිත් කලාවට සම්බන්ධ වෙනවට ගෙදරින් කැමැත්තක් තිබුණද?

මම තමයි පවුලේ එකම දරුවා. "රංගන ශිල්පියෙක් හෝ රංගන ශිල්පිනියක් වෙන්න නම් කොළඹට එන්න ඕනෑ" කියන අදහස ඒ අයගේ හිතේ තිබුණා. ඒ නිසා රංගනයට  එකතු වෙනවට ගෙදරින් මුලින් ටිකක්වත් කැමති වුණේ නැහැ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ මම කොළඹ බෝඩිම්වල නතර වුණා. ඒ වෙලාවෙදිත් "ඕක තේරුමක් නැති වැඩක්. ගෙදර එන්න" කියලා අනන්තවත් කිව්වා. මගේ අම්මයි තාත්තයි කරන්නේ ව්‍යාපාර.

Q බණ්ඩාරවෙල ඉඳන් කොළඹ ඇවිත් කොළඹ බෝඩිම් කාමරවල ගෙවුණු ඒ ජීවිතයට හුරු වුණේ කොහොමද?

ඒක ලේසි වුණේ නැහැ. මම පවුලේ එකම දරුවා නිසා සැලකිල්ල උපරිමයෙන්ම ලබපු කෙනෙක්. අඩුම තරමින් මම තනියම කඩේකටවත් ගිහින් තිබුණේ නැහැ. ඒ නිසා මිනිසුන් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියලවත් මම දැනගෙන හිටියේ නැහැ. කැම්පස් එකට ආවට පස්සේ හරියට මාව කරකවලා අතහැරියා වගේ දැනුණා. ඒ නිසාම මේ හැමදේම දමලා ගහලා ගෙදර යන්න හිතුණු වාර තිබුණා. ගෙදර වින්ද සැප කොළඹදි ලැබුණේ  නැහැ. අඩුම ගාණේ තේ එකක්වත් මම තනියම හදාගන්න දැනගෙන හිටියේ  නැහැ. හැබැයි කොළඹට ආවට පස්සේ තනියම උයාගන්න සිදුවුණා. මම කැම්පස් එකෙන් අයින් වුණාට පස්සේ ගෙදරින් සල්ලි ඉල්ලගන්න බැහැ. කවදාවත් අම්මා තාත්තා මට සල්ලි නොදී ඉඳලා නැහැ. හැබැයි මම ඇත්තටම හරි හිතුවක්කාරයි. ඒ නිසා "කොයි වෙලාවක හරි හරියාවි" කියලා හිත හදාගත්තා.

Q හැබැයි ඒක හිතන තරම් ලෙහෙසි වු‍ණේ නැහැ නේද?

නැහැ. සමහරදාට බෝඩිමේදි ලෙඩ වුණාම අතේ තියෙන සල්ලිවලින්  බෙහෙත් ගත්තොත් මට කන්න සල්ලි නැහැ. කෑවොත් බෙහෙත් ගන්න  නැහැ. ඒ වගේ දෙගිඬියාවෙන් මම ඒ කාලේ ජීවත් වුණා. මම සමහර කාලවලදි අමතර පන්ති පවා කළා. හැබැයි ඒවා හරි ගියෙත් නැහැ. ගෙදරින් කීයක් හරි එව්වාම මම ඒක බොහොම පරිස්සම් කළා. බැරිම වුණොත් යාළුවෙක්ගෙන් ණයට අරගෙන ගෙදරින් සල්ලි එව්වාම ඒ ණය පියැවුවා. සමහර දවස්වලට ගෙදරට එක එක පාඨමාලාවලට කියලා බොරු කියලා  සල්ලි ඉල්ල ගත්තා.

Q ඔය තරම් දුකක් විඳගෙන කලාවට සම්බන්ධ වෙන්න ආසාව ඇතිවුණේ පුංචි කාලෙ ඉඳන්මද?

ඔව්... ඉස්කෝලෙදි කවුරු වෙන්නද ආසා කියලා ඇහුවාම සමහරු ඩොක්ටර් කිව්වා. සමහරු ටීචර් කිව්වා. පන්තියේ නීතිඥවරු ඉංජිනේරුවරු හිටියා. මට ඒ හැම කෙනෙක්ම වෙන්න ඕනෑ වුණා. ඒක හරිම වෙනස් හැඟීමක්. රඟපාන්න ලැබුණොත් ඒ හැම චරිතයක්ම වෙන්න පුළුවන් නිසා මම දවසක් "නිළියක් වෙන්න ආසයි" කියලා කිව්වා. නිළියක් වෙන්න අපේ ඉස්කෝලේ කිසිම කෙනෙක් කැමති වුණේ නැහැ. එදායින් පස්සේ කිසිම ටීචර් කෙනෙක් මගෙන් ආයෙත් ඒ ප්‍රශ්නය ඇහුවෙත් නැහැ.

Q දැන් අම්මා තාත්තා ඔයා නිළියක් වීම ගැන සතුටුයිද?

ඔව්... ඔව්... දැන් නම් එයාලා කැමතියි. අපේ ආච්චි නිර්මාණ බලලා "හොඳයි" කියනවා. ඉස්සර මම ගෙදර ගියාම ආයෙත් කොළඹට එන්න දෙන්නේ නැහැ. අඬලා අඬලා හිත රිදවගෙන තමයි මම කොළඹ ආවේ. දැන් එහෙම ගියාම ආයෙ ගෙදර එද්දි "අතේ සල්ලි තියෙනවද?" කියලා පවා අහනවා. දැන් ඒ දෙන්නා සතුටින්.

Q රෙබෙකා රඟපෑ "There is a body “කෙටි චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර ලැබුණා නේද?

ඔව්... "There is a body” කෙටි චිත්‍රපටයෙන් තමයි බොහෝ දෙනා මාව හඳුනා ගත්තේ. ඒක අනුෂ්ක රසාංජනගේ පිටපතක්. ජෝ දිසානායකගේ අධ්‍යක්ෂණයක්. ඒ මම කරන්න ආසාවෙන් හිටපු චරිතයක්. සාරංග දිසාසේකර එක්ක මට රඟපාන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඇත්තටම ඒ කෙටි චිත්‍රපටයෙන්  අත්දැකීම් බොහොමයක් ලබාගන්න මට අවස්ථාව ලැබුණා.

Q ඔබ විවාහකයි. ඔහුගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

මගේ සැමියා ලක්මාල්. එයා නිසා තමයි අද මම කලාවේ රැඳී ඉන්නෙ. අපි විශ්වවිද්‍යාල ප්‍රේමයකින් විවාහ වුණා. සමහර නිර්මාණ මම බාර නොගනිද්දි ලක්මාල් "ඔයාට පුළුවන්. ඔයා කරන්න" කියලා මාව දිරිමත් කළා. මම මහේන්ද්‍ර සර්ගේ වැඩමුළුවලින් ඉගෙන ගත්තා. බත්තරමුල්ල Play house එකට ගියා. ඒ කාලෙදි මම හොරණ හිටියේ. ලක්මාල් මාව උදේට කොළඹට එක්කගෙන ඇවිත් මගේ වැඩේ ඉවර වෙනකම් කොළඹ තැන් තැන්වල ඇවිද ඇවිද දවස  ගෙව්වා. ඒ තරම් පුදුම කැපකිරීමක් එයා මම  වෙනුවෙන් කළා.

I දිශානි ජයමාලි