2024 මැයි 11 වන සෙනසුරාදා

කන්න ඕනෑ බොන්න ඕනෑ

 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 01:59 31

 ඒත් කාලා කාලා චොබ්බ චබීලා වාඩිවෙලාලු! 

ඔන්න මචෝ අද අපි අරගෙන ආවා තරමක් අමුතු විදියේ Y Trend එකක්. මේක කෑම බීම ගැන Trend එකක්.

“කන්න ඕනෑ බොන්න ඕනෑ කාලා බීලා සැපේ ඉන්න ඕනෑ." 
“කාල මරණං අකාල මරණං කියලා දෙකක් තියෙනවා. ඒ නිසා කාලම මැරෙනවා."

අපේ සුදාලා කන බොන මිනිස්සුන්ගෙන් මේ වගේ කතා අහලා ඇති. ඇත්තටම මචෝ අධික ලෙස ආහාර ගැනීම කියලා කියන්නේ මේ වෙනකොට ලෝකෙ පුරා තියෙන හරිම බරපතළ Trend එකක්. මේක එක්තරා විදිහකට ඇබ්බැහිවීමක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. Food Addition කියලා දැන් ගොඩක් දෙනෙක් මේ ගැන කතා වෙනවා.

තරගෙට ආහාර ගැනීම පිළිබඳ අපි මීට ටික කාලෙකට කලින් කතා කළා අපේ මචංලට මතක ඇති. අපි එදා කිව්වා මේ ගැන තවදුරටත් කතා කරනවා කියලා. මේ වෙනකොට මේ අධික ලෙස ආහාර ගැනීමේ පිස්සුව ලෝකෙ පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. විශාල බෝ නොවන රෝග ප්‍රමාණයකටත් මේ Trend එක හේතුවක්.

අධික ලෙස ආහාර අරගෙන ලෝක ප්‍රසිද්ධ වුණු බටහිර චරිතයක් මිය ගියා. ඒ නිසාම තමයි අපි මේ කතාව නැවතත් කරළියට අරගෙන ආවේ. අධික ලෙස ආහාර ගැනීමත් එක්ක මේ වන විට ජනප්‍රිය වීමට අවස්ථාවක් අලුතින් නිර්මාණය වෙලා තියෙනවා. ආසාවට කෑම කනවට වඩා මේක රැල්ලක් වෙන්න මේ තත්ත්වයත් හේතු වුණා.

අපි මීට කලින් කතා කරලා තියෙන "Mukbang” shows වගේ දේවල්වලින් තමා මේ රැල්ල සමාජ මාධ්‍ය තුළ ඇති කළේ. මේ වන විට අධික ලෙස ආහාර ගන්නා පිරිස් YouTube ඇතුළු සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධිය වෙනුවෙන්ම මේ වැඩේ කරනවා. සමහරුන්ගේ ආදායම් මාර්ගයත් මේ විදිහට කෑම කන එකම තමා. අපි හිතනවට වඩා වැඩි පිරිසක් මේ ජාතියේ සංදර්ශනාත්මක ආහාර ගැනීම්වලට පෙළඹෙමින් ඉන්න බව පැහැදිලියි. ඒ නිසාම මචෝ මේක සුළු කොට තකන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි.

ලංකාවේ චරිත තුන හතරක් මේ වැඩේ ජයටම කරගෙන යන්න පටන් අරගෙන ඉන්නෙ. එයාලා නම් කියන්නේ ඒක එයාලගේ වැඩක්, අනිත් අයට අදාළ නැහැ කියලා. හැබැයි මේ කිසිම කෙනෙක්ට නිරෝගී ජීවිතයක් උරුමයි කියලා නම් අපිට කියන්න බෑ. ඒ වගේම මේගොල්ලෝ නිර්මාණය කරන රැල්ලට තවත් පිරිස් බිලිවෙන එක නවත්තන්නත් පහසු නෑ.

සාමාන්‍යයෙන් මචෝ සමාජයක තරබාරු බව කියලා කියන්නේ අනිවාර්යෙන්ම දකින්න ලැබෙන දෙයක්. සමාජයෙන් කොන් වෙන්න, අප්‍රසාදයට ලක්වෙන්න මේ තරබාරු බව ඇතැම් කාලවලදී හේතුවක් වුණා.

දැන් තත්ත්වය ඊට වඩා වෙනස්. තවමත් සමහරු තරබාරු අයට කැමති නෑ තමා. ඒත් චබී කියන සංකල්පයත් එක්ක තරබාරු බවෙත් ලස්සනක් දකින්න මිනිස්සු පටන් අරගෙන තියෙනවා. ඇත්තෙන්ම ඒකේ වරදක් නැහැ. වරද තියෙන්නේ අධික ලෙස තරබාරු වීම මේ වන විටත් නිර්මාණය වෙමින් ඇති මේ ජනප්‍රිය රැල්ලේ ගොදුරක් වීමට වැඩි ඉඩකඩක් තිබීම.

ඇත්තෙන්ම මේක නූතනයේ මිනිසුන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් නිර්මාණය වී ඇති ප්‍රධානතම අවදානමක් විදිහට හඳුන්වන්න පුළුවන්. ලංකාවේ තත්ත්වය ගත්තොත් පහුගිය දවසක වාර්තාවකින් කතාව සරලවම තේරුම් ගන්න පුළුවන් මචෝ.
බෝ නොවන රෝග හා සම්බන්ධ අවදානම් සාධක හඳුනා ගැනීම සඳහා 2021 වසරේ දී සෞඛ්‍ය අමාත්‍යංශය සිදුකළ සමීක්ෂණයකට අනුව, ශ්‍රී ලංකාවේ පුරුෂයන්ගෙන් 30% ක් අධිබර හා ස්ථුල ගණයට වැටෙනවා. ලාංකික කාන්තාවන් අතර මෙම ප්‍රතිශතය 47.6% ක්. ඇත්තෙන් මචෝ මේ සීන් එක සම්බන්ධව පොදුවේ ලෝකයේම වැඩි අවදානමකට ලක්වෙලා ඉන්නේ කාන්තාවෝ.

විශේෂයෙන්ම වීදි ආහාර, ක්ෂණික ආහාර වගේ දේවල් නිසා තමා මේ සීන් කෝන් එක මෙච්චරම දරුණු වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් වෛද්‍යවරු කියන්නේ මේක වැරදි ආහාර රටා නිසා සිද්ධවෙන අවුලක් කියලා. ඒත් මේක මානසික ගැටලුවක් සහ ඇබ්බැහිවීමක් විදියටත් හඳුන්වන්න පුළුවන්.

විශේෂයෙන්ම මේ අලුත් රැල්ල සමාජ මාධ්‍යවල සිදුවෙන දිරිගැන්වීම් එක්ක දරුවන්ට මේ තත්ත්වයේ බරපතළ බව පිළිබඳ හැඟීමක් නැති වෙනවා. මේ වෙනකොටත් දරුවන් අතරින් විශාල ප්‍රමාණයක් ස්ථුලභාවයෙන් පෙළෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරලා තියෙනවා. ඉතින් මචෝ මේක සමස්ත ලෝකයම මුහුණ දෙන බරපතළ අවදානමක්.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අන්දමට 1975 වසරේ සිට මේ දක්වා ගත වූ කාලයේදී පුද්ගල ස්ථුලතාවය මධ්‍යම ප්‍රමාණයේ ආදායමක් ලබන රටවල ජනයා අතර තෙගුණයකින් පමණ වැඩිවෙලා තියෙනවා. චීනයට එහෙම මේක දරාගන්න බැරි ප්‍රශ්නයක් වෙමින් පවතිනවා.

කටාර් රාජ්‍ය තමා අධික ස්ථුලතාවයෙන් පෙළෙන පිරිස් අතර ප්‍රමුඛස්ථානයක් අරගෙන තියෙන්නෙ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවන්ට අනුව කටාර්හි ජනගහනයෙන් 70% කට ආසන්න පිරිසක් තරබාරු බවින් හෝ අධික ස්ථුලතාවයෙන් හෝ යුක්තයි.

හරියට හොයලා බැලුවොත්, ලංකාවේ මහ පාරේ වටපිට බල බලා යනකොටත් ඔයාලටත් තේරෙයි අපේ රටේ තත්ත්වයත් එන්න එන්නම බරපතළ වෙනවා කියලා. ඇත්තෙන්ම මචෝ මේ ස්ථුලභාවය, නැත්නම් තරබාරු වීම කියලා කියන්නේ ප්‍රවර්ධනය කරන්න හොඳ දෙයක් නම් නෙවෙයි. ඒත් මචෝ දැන් ඒක Trend එකක් වෙලා ඉවරයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම තරම්ම බරපතළ ඇබ්බැහිවීමක් වෙලත් ඉවරයි. එනිසාම දෙමව්පියෝ දරුවන්ව මේ සීන් කෝන්වලින් ඈත් කරලා තියාගන්න කටයුතු කරන්න ඕනෑ. 

I චමිඳු නිසල්