2024 මැයි 18 වන සෙනසුරාදා

අලි සමනළ කන්ද නගී

 2024 මැයි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 83

ඇල්ලේ චොක්ලට් රොටී
ලංකාව කියන්නෙ සැඟවුණු මැණිකක්

ලංකාවට ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් නිතර නිතර Travelers ලා එනවා. ගොඩක් වෙලාවට එයාලා දමිළ හින්දි උර්දු භාෂාවෙන් තමයි තමන්ගේ videos කරන්නෙ. මේක නව ප්‍රවණතාවක් කියලා කිව්වොත් ඒකෙත් වරදක් නැහැ. සතියක් තුළ ඉන්දියානුවෝ සහ පකිස්ථානුවෝ කිහිප දෙනෙක්ම ලංකාව ගැන වීඩියෝ YouTube ගත කරන එක දැන් සාමාන්‍ය තත්ත්වයක් වෙලා. මේ අතර විවිධ අරමුණු සහිතව එන සංචාරකයෝ ඉන්නවා.

Dasi Traveler කියන්නේ ටිකක් වෙනස් ජාතියෙ කෙනෙක්. ඉතින් මෙයා වීඩියෝ එක කළේ ඇල්ල ටවුන් එකේ. ඇල්ල ටවුමේ තියෙන 'නයිට් ලයිෆ්' එක ලෝකයට පෙන්නන්න තමයි ඔහුට ඕනෑ වෙලා තිබුණේ.

“විදුලි ආලෝකය පිරුණු ඇල්ලෙ අපූරු රවුමක් "

ඇල්ල නගරයේ රාත්‍රියේ සංචාරකයෝ පිරිලා. හෝටල් ඇතුළු කඩ සාප්පු විදුලි ආලෝකයෙන් හැඩවෙලා. ඉතින් අපේ මිත්‍ර පකිස්ථානුවා ටවුන් එකේ ඇවිදින්න පටන් ගත්තා. ඔහු කතා කළේ ඉංග්‍රීසි භාෂාවෙන් නම් නෙවෙයි. කොහොම වුණත් ඔහු කිව්ව සමහර දේවල් අපිට වැටහුණා.

“සර් මොනවා හරි සර්ට අවශ්‍යද? ඕනෑ දෙයක් තියෙනවා නම් කියන්න" 

එහෙම කිය කියා සංචාරක මඟපෙන්වන්නන්, කඩ සාප්පුවල ඉන්න අය සංචාරකයන්ගෙන් ප්‍රශ්න කරනවා. ඉතින් අපේ පකිස්ථානු මිත්‍රයාගෙනුත් මේ අය එහෙම ප්‍රශ්න කළා. ඒත් ඔහු ඒ දේවල් එතරම් ගණන් නොගෙනම ඉදිරියට ගියා.

“බලන්න යතුරුපැදි කුලියට ගන්න ස්ථානයක් රෑට තියෙනවා"

එහෙම ස්ථාන පහු කරගෙන යන ගමන් ඔහු හැමෝටම කිව්වා. ඊට පස්සේ මොනවා හරි කන්න බලාපොරොත්තුවෙන් කඩවල් කිහිපයකින්ම විස්තර ඇහුවා.

“ඉන්දියානු ආහාර තියෙනවද?"

එතැන හිටපු කෙනෙක් ඔහුට මෙනූ කාඩ් එක දුන්නා. එළියෙ ඉඳන්ම ඔහුගේ කාඩ් එක බැලුවත් සතුටු වුණේ නෑ. තවත් තැනකට ගියා.

මේ පකිස්ථානුවා සෑහෙන්න කාලෙක ඉඳන් මේ චැනල් එක කරගෙන යන කෙනෙක්. කෙටි වීඩියෝ තමා ඔහු YouTube එකට දාන්නේ. පකිස්ථානය ගැන ලෝකය තුළ උනන්දුවක් ඇති කරන්නත් ඔහු උත්සාහ කරන බව පේන්න තියෙනවා. මොහුගේ නම අරීෆ් අලී.

අලී ලංකාවට ඇවිල්ලා මුලින්ම ගිහිල්ලා තිබුණේ සමනළ කන්ද තරණය කරන්න. එහිදී ඔහු වීඩියෝ දෙකක් විතර කරලා තිබුණා. පස්සෙ නුවරඑළියට ගිය අලී, 'නයින් ආර්ච්' ගිහිල්ලා බොහොම පුදුම වුණා. ලංකාව කියලා කියන්නේ සැඟවුණු මැණිකක්, ලංකාවේ සැඟවුණු මැණික් ගොඩක් තියෙන බව තමා ඔහු දිගින් දිගටම කිව්වේ.

ඔහු තමාව හඳුන්වන්නේ ලෝකේ සංස්කෘතික විවිධත්වය හරහා සහ ආහාර විවිධත්වය හරහා යන්න කැමති කෙනෙක් විදිහට. කොහොම වුණත් වීඩියෝ හයසිය ගාණක් තිබෙන අලීගේ චැනලයේ විදේශ සංචාර නම් එතරම් දැකගන්න ලැබුණේ නෑ. පේන විදියට ඔහු ලෝකය හරහා යන්න පටන් අරගන්නේ ලංකාවෙන්. මේක තමයි ඉන්දියානු සහ පකිස්ථානු Travelers ලා තමන්ගේ ගමන ආරම්භ කරන විදිහ. නිතරම ඉන්දියානුවෝ මේ වගේ වැඩ කරනවා අපි දැකලා තියෙනවා.

“කැෆේ තියෙනවා, ලොකු හෝටල් තියෙනවා. අන්න බලන්න මොකක්ද.. ලොකු බාර් එකක්"

මේ පකිස්ථානුවා ඇල්ලේ බාර් එක දිහාත් ටිකක් විමතියෙන් වගේ බැලුවා.

“හැබැයි කේ.එෆ්.සී එකක් නම් නෑ"

ඇල්ල නගරයේ රාත්‍රිය ඇත්තටම ලංකාවෙ ගොඩක් දෙනෙකුත් අත්විඳලා නැහැ. සංචාරකයෝ හැමතැනම. ලංකාවද කියලා වෙලාවකට හිතාගන්න බැහැ. 

“අන්න චොක්ලට් රොටි හදනවා"

ඇල්ලේ බොහොම ප්‍රසිද්ධ ආහාරයක් තමයි චොක්ලට් රොටි. ඉතින් ඒ රොටි හදන දිහා ගොඩක් වෙලාවට සංචාරකයෝ කඩ අද්දරට වෙලා බලාගෙන ඉන්නවා. අපේ මිත්‍රයත් එහෙම කඩයක් ළඟ මොහොතක් බලාගෙන හිටියා. ඒත් ඉතින් පකිස්ථානයට රොටී කියලා කියන්නේ අමුතුවෙන් හදන හැටි බලාගෙන ඉන්න තරම් දෙයක් නෙවෙයි. ඔහු එතැනින් පිටත් වුණා.

“ඇල්ල කියන්නෙ ඇත්තටම සජීවී සංගීතය, කොක්ටේල් බියර් හැම දෙයක්ම එක්ක ආහාරපාන පිරුණු රාත්‍රී ජීවිතයක් තියෙන අපූරු නගරයක්."

ඔහු කිව්ව ඇතැම් දේවල් අනුව අපිට ඔහුගේ කතාව තේරුණේ ඒ විදිහට.

කොහොම හරි මෙයා ටවුම හරහා සැලකිය යුතු කාලයක් ඇවිදගෙන ගියා. ඉන්දියානු ආහාර තියෙන කඩයක් තමා හෙව්වේ. ඒත් කෑම කන්න ලොකු උනන්දුවක් පෙන්නුවේ නෑ. මේ ටවුමේ තියෙන වෙනස්ම ගතිය ගැන මෙයා ලොකුවට කතා කළා. කරච්චියත් එක්ක සංසන්දනය කළා.

“මම මීළඟට යන්න බලාපොරොත්තු වෙන්නේ මහනුවර. එහිදී නැවත හමුවෙමු."

ඒ විදිහට තමයි මේ පකිස්ථානුවාගේ වීඩියෝව අවසන් වුණේ. කොහොම වුණත් වෙනත් භාෂාවකින් නිර්මාණය වුණු මේ වීඩියෝව අපිටත් අමුතු අත්දැකීමක් වුණා. 

I නිසල් 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00