2024 මැයි 25 වන සෙනසුරාදා

ඇයි පොලීසියෙන්? ටිම්ට ප්‍රශ්නයක්...

 2024 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 18

පහුගිය දවස්වල අපි නිතර කතාබහ කරපු ටිම් ලංකාවෙන් පිටත් වෙන්න ඉස්සෙල්ලා අවසාන වශයෙන් කරපු Travel Vlog කතා කරන්න අපි හිතුවා. බොරැ මාලයකට එහෙම අහුවෙලා ලොකු ප්‍රශ්නයක් වුණු ටිම් මේ පාර ගෑනු ළමයි දෙන්නෙක් එක්ක යාළු වෙලා. මේ මිත්‍රත්වය හැදුණු විදිය ගැන ටිම් පහුගිය වීඩියෝ එකෙන් අපිට පෙන්නුවා.

ඔන්න කොහොම හරි පහුගිය දවසක කළුතර පැවැත්වුණු මෝටර් ධාවන තරගයක් බලන්න ටිම් ගියා මේ දෙන්නත් එක්ක. ඇත්තටම ටිම්ට මේක ටිකක් විතර වෙනස් අත්දැකීමක් වුණා. 

“කාන්තාවන්වයි පිරිමින්වයි වෙන වෙනම පරීක්ෂා කරනවා."

විස්තර කතා කර කර තුන්දෙනත් එක්ක යද්දී ටිම් කිව්වා. ඊට පස්සේ ප්‍රවේශපත් අරගෙන ගියාම ප්‍රවේශපත්‍රයේ කොටසක් කඩලා ඇතුළට යන්න අවස්ථාව ලබා දුන්නා. ඒත් අපේ ආරක්ෂක අංශයේ නිලධාරියෙක් ටිම්ව අතපත ගාලා හොඳට පරීක්ෂා කළා. 

“මම ටිකක් පුදුම වුණා. ඒක වෙනස් විදියේ චෙක් කිරිල්ලක්."

එහෙම කියලා ගෑනු ළමයි දෙන්නත් එනකම් බලාගෙන හිටපු ටිම් ඒ අයත් එක්ක ඉස්සරහට ගියා. කටුකුරැන්ද ගුවන් හමුදා කඳවුරේ ගුවන් ධාවන පථය තමයි මේ විදිහට මෝටර් රථ, යතුරැපැදි ධාවන තරග සඳහා භාවිත කරන්නේ. 

“ආ එතකොට මේකද ට්‍රැක් එක"
“ඔව් මේක තමා ට්‍රැක් එක"

පිටරටවල වගේ පහසුකම් නැතත් මෙතැන තිබුණු සැණකෙළි සිරිය ගැන නම් ටිම් ටිකක් කැමති වෙලා හිටියේ. 

“මේක ලස්සන කාර් එකක්. මේක ඔයාගෙද?"
“අන්න අරයගේ"

ප්‍රදර්ශනය සඳහා තියලා තිබුණු පරණ කාර් එකක් අමුතු විදිහට සරසලා තිබුණේ. මේක දැකලා තමයි එතැන හිටපු කෙනෙක්ගෙන් ටිම් ඔය විදියට ප්‍රශ්න කළේ. පස්සේ අයිතිකාරයෝ ළඟට ගිහිල්ලා ටිකක් කතාබහ කළා.

“මේකෙන් රේස් පදිනවද?"

“නැහැ.. මේක ප්‍රදර්ශනයට තියලා තියෙන කාර් එකක්."

අපේ කොල්ලෝ දෙන්නෙක් එතැන හිටියා. මේ අමුතු වාහනය ලස්සනට සරසලා කරලා හදලා තිබුණේ මේ අය. එයාලමද මේ වැඩේ කළේ කියලා ටිම් ප්‍රශ්න කළා. කොහොම හරි එහෙම කතාබහ කරලා ටිම් තවත් වටේ ඇවිදින්න පටන් ගත්තා.

ඔන්න එක වෙලාවකදී අපේ කොල්ලෝ ට්‍රැක් එකේ බයික්වලින් වැඩ දාන්න පටන් ගත්තා. විල් ගහනවා, බයිසිකල් උඩ හිටන් යනවා. එක එක ජාතියේ වැඩ කෑලි. ටිම් සහ ගෑනු ළමයි දෙන්නා මේක බලාගෙන හිටියා.

“අන්න අතන පොලිසිය ඉන්නවා. එයාලා මොකද කරන්නේ?”

අපි වැඩ දාන අතරේ පොලිසියත් පැත්තෙන් ඉන්නවා දැකලා ටිම් ටිකක් පුදුමයෙන් වගේ ඇහුවා.

“ආ එයාලත් මේක බලාගෙන ඉන්නේ."
“අයියෝ මම හිතුවා එයාලා ඇවිල්ලා තියෙන්නේ මේක නවත්තන්න කියලා."

ටිම් හිතලා තියෙන්නේ මේ වැඩේ නතර කරන්න තමයි පොලිසියෙන් ඇවිල්ලා තියෙන්නෙ කියලා. ඒක නිසයි එයා එකපාරට ටිකක් පුදුම වුණේ. කොහොම වුණත් මේ වගේ කටයුතු සිද්ධ වෙන්නේ පොලිසියෙන් එහෙම අවසර අරගෙන නිසා එහෙම ප්‍රශ්නයක් ඇතිවුණේ නෑ.

ඔන්න ඊට පස්සේ ටීම් හතර වටේම කරක් ගහන්න පටන් ගත්තා. ට්‍රැක් එකේ තියෙන එක එක වැඩ කෑලි බල බලා ගියා. එතැන හිටපු සංවිධායක මහත්තයෙක් එක්කත් කතා කරලා විස්තර දැනගත්තා. අතරමඟ හම්බවෙන සමහර අයගෙන් ප්‍රශ්නත් ඇහුවා.

ඔන්න ඔය අතරේ තමයි දම් පාට ලංකාවේ නවීකරණය කරපු පාටි බස් එකක් මෙතැනට ආවේ. අර ගෑනු ළමයි දෙන්නගෙන් නිතරම කතා කරන එක්කෙනා ටිම්ට කිව්වා, මේක පාටි බස් එකක්.. මෙන්න මේ වගේ ගොඩක් විස්තර.

“මම පාටි බස් එක පස්සේ යනවා."

එහෙම කිය කියා බස් එක යන පැත්තට ටිම් ගියේ විස්තර දැනගන්න. අමුතු හෝන් සද්දයකුත් දාගෙන ලයිට් පත්තු කරගෙන පිස්සු හැදෙන්න බස් එක එහෙට මෙහෙට කැරකුණා. රේස් එක බලන්න ආපු කොල්ලො කුරැට්ටෝ ඔක්කොමත් බස් එක වටේ කැරකෙන්න පටන් ගත්තා. ටිම් වැඩේ අතහැරියෙත් නැහැ.

ඔන්න ඊට පස්සේ ඒ බස් එකට නැගලා නරඹන්න හැමෝටම අවස්ථාවක් ලබලා දෙන්න කට්ටිය කටයුතු කරලා තිබුණා.

“වාව් බලන්න මේක දිහා. 'සවුන්ඩ් සිස්ටම්' එක, ලයිට්"

'ලයිට්' දාලා ඇතුළේ ආසන 'කුෂන්' කරලා ඒසී එක්ක හදලා තිබුණු මේ බස් එක එකම පිස්සුවක්. ටිම් මේ ගැන ඇත්තටම පුදුම වුණා.

කොහොම හරි ටිම් එක්ක ආපු මේ ගෑනු ළමයි දෙන්නගෙන් නිතරම කතා කරන කෙනා නොනවත්වා බස් එක ගැන ගොඩාක් විස්තර ටිම්ට කිව්වා. ටින් මේ විස්තරත් අහගෙන ගිහිල්ලා බස් එකේ තිබුණු වී.අයි.පී කොටසේ එහෙම වාඩිවෙලා හිටියා. 

“බලන්න මෙන්න මෙයා මේ බස් එක 'ප්‍රමෝට්' කරනවා." 

ටිම් එහෙමත් කිව්වා.

කොහොම හරි මේ සංචාරය නිම කරලා හවස් වෙලා මෙයාලා මෙතැනින් පිටත් වුණා.

I නිසල්