2024 මැයි 25 වන සෙනසුරාදා

සදාචාර - තහනම් වාරණ මැද්දේ ලෝකයම පිස්සු වට්ටපු උණක්! Tik Tok

 2024 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 9

මචෝ අපි Tik Tok ගැන නිතර නිතර කතා කරලා තියෙනවා. Tik Tok නිසා හැදුණු Y Trend සෑහෙන්න ප්‍රමාණයක් අපි දැක්කා. ඒ වගේම ටික් ටොක් මෝඩ ආතල් ගැනත් අපි කතා කළා. ඇත්තටම ටික් ටොක් කියන්නේ වෙනම සීන් කෝන් එකක් මචෝ. ලංකාවේ නම් මේක එක්තරා දුරකට ඇබ්බැහියක් විදියටත් හඳුන්වන්න පුළුවන්. ඔන්න කොහොම හරි අද අපි කතා කරන්න හදන්නේ Tik Tok ගැන වෙනස් කතාවක්.

“ලෝකෙ පුරා ටික් ටොක් තහනම් වීමේ රැල්ල" මේකත් එක්තරා ආකාරයකට Trend එකක් වෙලා තියෙන්නෙ. අපි නිතර නිතර ටික් ටොක් ගැන කතා කරපු නිසා මේක ගැනත් අපි ටිකක් ගැඹුරින් කතා කරන්න ඕනෑ. හැබැයි මචෝ මේක පිටිපස්සේ සමාජ, දේශපාලන, ආර්ථික කතාන්දරත් ගොඩක් තියෙනවා. අපි සරලවම සීන් කෝන් එක පටන් ගමු. මුලින්ම මේ ටික් ටොක් කියන සීන් එක කරළියට ආපු විදිහෙන්ම කතාව ගලපගන්න එක පහසුයි.

2016 දී තමා Tik Tok ආරම්භ වෙන්නේ. Origin එක චීනේ. හැම වසංගතයක්ම පටන් ගන්න චීනෙමයි. දැන් ලෝකෙ පුරා Tik Tok තහනම් කරන්න ඕනෑ කියලයි කියන්නෙ මචෝ. කොහොම හරි අපි ඉතිහාස කතාව දිහා බලමුකෝ. Tik Tok එක ආරම්භ වෙන්නේ ඒ නමින් නෙවෙයි. "ඩොයින්" කියන නමින්. කොහොම හරි පටන් ගන්නකොටම පිස්සුවක් වුණු මේ 'ඇප්' එක 200ක් ඇතුළත චීන්නු අතර පට්ටෙට ජනප්‍රිය වුණා. මිලියන සීයක් විතර වැඩේට Set වුණා සට සට ගාලා. මේක ඇතුළේ හැදෙන වීඩියෝ බිලියනයක් වගේ බැලුවා පට පට ගාලා.

ඊට පස්සේ චීනය දැනගත්තා අපිට සෙට් නම් ලෝකයටත් මේක සෙට් වෙනවා, මේක ආතල් සුපිරි භාණ්ඩයක් කියලා. පස්සේ 2017 දී මේ ආතල් ඇප් එක ජාත්‍යන්තරයට හඳුන්වා දුන්නා. ඒ ටික් ටොක් කියන නමින්. 2018 ජනවාරි මාසේ වෙනකොට තායිලන්තය ඇතුළු රටවල් කිහිපයක නොමිලේ බාගන්න පුළුවන් ඇප්වලින් Number 01 වුණේ Tik Tok App එක.

කොහොම හරි 2018 ඔක්තෝබර් මාසේ වෙනකොට ටික් ටොක් ලෝකේ කොච්චර ජනප්‍රිය වුණාද කියනවා නම් මචෝ ඇමෙරිකාවේ විතරක් මිලියන 80ක්, ලෝකේ වටේම ගත්තොත් මිලියන 100ක් විතර මේ අලුත් ඇප් එක Download කළා. කොහොම හරි මචෝ මේ වෙනකොට බිලියනයක් විතර පිරිසක්  Tik Tok භාවිත කරනවා. ඒ වගේම ලෝකේ සිව්වැනි දැවැන්තම සමාජ ජාලයත් Tik Tok ම තමා.

කොහොම හරි මේ ඇප් එකේ Server සරලව කිව්වොත් දත්ත ගබඩා වුණේ චීනයේ. එතැනින් තමයි මේ සීන් කෝන් එක සම්බන්ධව දේශපාලනික විරෝධය ආරම්භ වුණේ. සමාජ ජාලා ආධිපත්‍යයක් චීනය අතට යනවට ඇමෙරිකාව කොහොමත් කැමති වුණේ නෑ. ඒ වගේම ඉන්දියාවත් මේකට බොහොම තදින්ම විරුද්ධ වුණා. ඒ විදිහට මේක ඇබ්බැහියක් විදියට තරුණයන්ගේ උන්මාදයක් වෙලා සදාචාරය පිරිහීම, කාලය නාස්ති කිරීම වගේ චෝදනාවලට ලොකු ඉඩකඩක් ලැබෙන්න පටන් ගත්තා.

ඇමෙරිකාවට ඇරියස් එකේ හිටියත් ඉන්දියාව තමයි Tik Tok වලට බැස්ටිය දෙන්න ලොකුවටම ගේම ඉල්ලුවේ. ඉන්දු - චීන දේශපාලන අර්බුදය මේකට ලොකු හේතුවක් වුණා. තමන්ගෙ දත්ත පිටට යනවට ඉන්දියාව කොහොමත් කැමති වුණේ නෑ. ඒත් ඉන්දියාවෙ කෙල්ලෝ කොල්ලෝ නම් හිටියේ ටික් ටොක්වලට පිස්සු වැටිලා. 

තොරතුරු වාර්තාවලට අනුව ඉන්දියාවේ ටික් ටොක්වලට දැඩි ලෙස ඇබ්බැහිවුණු බුවාලා මිලියන 52ත් 120ත් අතර පිරිසක් හිටියා කියලා කියනවා. අපේ රටට වඩා ටික් ටොක් උණ ඉන්දියාවේ දරුණුවෙලා තිබුණේ සුදෝ. සමහරු මහ පාරේ ට්‍රුෆික් ඒකේ, ඉගෙන ගන්න අධ්‍යාපන ආයතනයේ, රුකියාව කරන තැන, ගෙදර මුළුතැන්ගෙය, බාත්රෑම් එකේ, කාමරේ ඇඳ උඩ ටික් ටොක් කළේ පිස්සුවෙන් වගේ. ඉන්දියානු රජය චෝදනා කළේ මේක නිසා අනතුරු පවා සිද්ධ වෙනවා කියලා.
කොහොම හරි ඉන්දියාව චීනෙත් එක්ක ඇරියස් එකටම චීනයට අයිති ඇප්ස් 59ක් ඉන්දියාව තුළ තහනම් කරන්න කටයුතු කළා. ඔන්න ඕකට Tik Tok එකත් අහුවුණා. ඉන්දියාවේ ඊට පස්සේ මේකට සමාන එක එක ඇප් වර්ග හඳුන්වා දෙන්න හැදුවා. ඒත් ඒවා එච්චරම සාර්ථක වුණේ නැහැ. තාමත් ඉන්දියාවේ හොරෙන් මේක භාවිත කරන අය නැත්තෙත් නෑ. ලංකාවේ අපිට ටිකක් ගියාම ඉන්දියාවේ ටික් ටොක් බලාගන්න පුළුවන්.

ඉන්දියාවෙන් පස්සේ මේ ගැම්මටම ලෝකෙ පුරා තවත් රටවල් Tik Tok තහනම් කරන්න පටන් ගත්තා. ඉස්ලාමීය රාජ්‍යවලට ආගමික සදාචාර ප්‍රශ්නයන් මතු වුණා. මේ වෙනකොට ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ඊයේ පෙරේදා සෝමාලියාව වගේ රටවලුත් නිල වශයෙන්ම තහනම ක්‍රියාත්මක කරන බව සඳහන් කළා.

කොහොම හරි සුදෝ ඇමෙරිකාවට යුරෝපයට තිබුණු ලොකුම ප්‍රශ්නේ තමා චීන්නු තමන්ගේ තොරතුරු හොරා ගනී කියලා. අපේ ලංකාවේ ගොඩක් සුදාලා නොදන්නවා වුණාට දැන් අපි ජීවත් වෙන්නේ තොරතුරු යුගයක. ලෝකය ඇතුළේ අපිට නොපෙනෙන යුද්ධයක් පවා තියෙනවා තොරතුරු වෙනුවෙන්. ඒත් මචෝ අපිට නම් ඕවා එච්චර ගාණක් නෑ. ඕනෑ දෙයක් ඕනෑ මඟුලක් ඕනෑ තැනක දානවා අන්තර්ජාලයේ අපි. හැබැයි ඒවා අයිති කරගන්න ලොකු ලොකු අය මරාගන්නවා.

ඇමෙරිකාවේ මේ අවුරුද්දේ පනතකුත් සම්මත කර ගත්තා. ඒක ඇමෙරිකාවේ ටික් ටොක් තහනම් කළ හැකි වැදගත් පනතක්. ටික් ටොක් චීන මව් සමාගම වන ByteDance හට එහි පාලන කොටස් විකුණන්න කියලා ඇමෙරිකාව දැන් කියලා තියෙනවා. එහෙම නොවුණොත් මාස හයක කාලයක් ලබා දෙනු ඇති. නැතහොත් ටික් ටොක් යෙදුම එක්සත් ජනපදයේ අවහිර කරන බව තමා මාස දෙක තුනකට ඉස්සෙල්ලා ඇමෙරිකාව කියලා තිබුණේ.

මේ වෙනකොට ලෝකෙ රටවල් දහසයක් දහනමයක් විතර Tik Tok ඍජුවම තහනම් කරලා තියෙනවා. එතකොට මේක තහනම් කරන ක්‍රියාවලිය ඇතුළේ යුරෝපය සහ බටහිර රටවල් ගොඩක්ම ඉන්නවා. සමහරක් රටවල් මචෝ මේ වන විටත් නිල නිවේදන නිකුත් කරලා ඉවරයි. ඔස්ට්‍රේලියාව, කැනඩාව, නෙදර්ලන්තය වගේ රටවල් තහනම් කරපු බව තමා කියන්නේ.

ඒ වගේම යුරෝපයේ තියෙන ගොඩක් රටවල්වල රාජ්‍ය සේවයට සම්බන්ධ අයට Tik Tok ඇප් එක තමන්ගේ දුරකථනයට බාගත කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. ඒක මචෝ වෙනම විදිහක ආතල් එකක්. ඒත් මචෝ අපි වෙනදට  Tik Tok සුපිරි බටලි ආතල් වගේ නෙවෙයි මේ ආතල් එක. ඇමෙරිකාවයි බටහිරයි ටික් ටොක් ගැනම කිය කියා මෙච්චර වද වෙන්නෙ ඇයි කියලා චුට්ටක් හිතන්න දැන් කාලෙ හරි. ඒ වගේම ඇමෙරිකාවට අයිති Facebook, Instagram වගේ ඇප්  හරහා සිද්ධ වෙන්නෙ මොනවද කියලා චුට්ටක් ඔළුව කරකවලා හිතලා බලන්න දැන් කාලෙ හරි. 

I චමිඳු නිසල්