2024 මැයි 25 වන සෙනසුරාදා

වෙසක් දොහේ - මොකෝ කළේ?

 2024 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 02:02 86

වෙසක් බලන්න පුතා එක්ක පයින් යන්න ආසයි...

මගේ පුතාගේ වයස දැන් අවුරුදු තුනහමාරයි. ඉතින් දැන් එයාට තේරෙන හොඳම වයසයි. අපි ගෙදර වෙසක් කූඩු නම් හැදුවේ නැහැ. වෙසක් දවසට සතියකට පෙරම අපි ලස්සන වෙසක් කූඩුවක් ගෙනල්ලා ගෙදර එල්ලුවා. ඒකට පුතා හරිම කැමතියි. හැම වෙලේම වෙසක් කූඩුව දිහා බලාගෙන ඉන්නවා. ගෙදරට එන එයාගේ යාළුවන්ට වෙසක් කූඩුව පෙන්නනවා. අපි කොළඹ 'අපාට්මන්ට්' එකකයි ඉන්නේ. ඒ නිසා වැඩි සැරසිල්ලක් නම් කරන්න අමාරුයි. හැබැයි අපි ලයිට් වැලක් එල්ලුවා. පුතා ඒකටත් හරි කැමතියි. මේ පාර වෙසක් එකට වැස්ස තමයි ප්‍රශ්නේ. හැබැයි අපි පුතාව වාහනේ එක්කගෙන ගිහින් තොරණ් කිහිපයක්ම පෙන්නනවා. එයා ඒ ලස්සන බලලා  විඳිනවා බලන්න අපි හරි ආසයි. වැස්ස නැති වෙලාවට පුතාව පයින් වෙසක් බලන්නත් අපි එක්කගෙන යනවා.

I තාරුකා වන්නිආරච්චි

වැස්ස නිසා කූඩු හුඟාක් හැදුවෙ නෑ...

අපි හැම අවුරුද්දෙම වෙසක් කූඩු හදනවා. හැබැයි මේ අවුරුද්දේ වැස්සත් නිසා වෙසක් කූඩු නම් ගොඩක් හැදුවේ නැහැ. ඉස්සර අපි වෙසක් කූඩු පැටව් කිහිපයක්ම එක්ක ගොඩක් හදනවා. මේ පාර ලොකු එක වෙසක් කූඩුවක් හැදුවා. බකට් කිහිපයක්ම ගෙනාවා. කාලයක් අපි දහම් පාසලේ ගුරුවරු, ඉහළ පන්තිවල ළමයි ලොකු බස් එකක් අරගෙන වෙසක් බලන්න ගියා. ඒ කාලවලට තිබුණු තොරණ් හැම එකක්ම වගේ අපි ඒ බස් එකෙන් ගිහින් බැලුවා. ඒ මාර විදිහට සතුටින් වෙසක් සමරපු කාලයක්. කොවිඩ්, රටේ විවිධ අරගල, අර්බුදකාරී තත්ත්වයන් නිසා කාලයක් අපි වෙසක් සැමරුවේ නැහැනේ. හැබැයි ඒ හැමදේටම මුහුණ දීලා මේ අවුරුද්දේ මිනිස්සු වෙසක් සමරන්න ලෑස්ති වෙද්දි වැස්සෙන් ලොකු බාධාවක් ආවා. පහුගිය දවස්වල කොළඹ හදමින් හිටපු තොරණ් පවා කඩාගෙන වැටුණනේ. මේ අවුරුද්දෙත් අපේ දහම් පාසලේ ආගමික වතාවත් තියෙනවා. දහම් පාසලෙත් වෙසක් කූඩු හැදුවා. ඒවටත් පුළුවන් විදියට මම උදව් කළා.

I ඩිලූෂි හංසිකා

කූඩු හදන්න බැරි වුණා මහත්තයා එක්ක වෙසක් බලන්න යනවා

ඉස්සර මායි නංගියි එකතුවෙලා වෙසක් කූඩු හැදුවා. අපි ඉරටුවලින්, බට ලී වලින් වෙසක් කූඩු හදලා පාප්ප ගාලා සව් කොළවලින් ලස්සනට ඇලෙව්වා. මට තාම මතකයි සමහර වෙසක් කූඩු ඇදයි. හෙලවෙනවා. සමහර කාලවලදී වෙසක් කූඩු හදද්දි වැරදුණා. ආයෙත් අපි ගලවලා වෙසක් කූඩු හැදුවා. කොච්චර ඇදට වෙසක් කූඩු හැදුවත් අවසානයේදී ඒක කොහොම හරි අමුණලා එල්ලුවා. මේ පාර මායි මගේ සැමියයි එකතුවෙලා වෙසක් බලන්න යනවා. හැබැයි අපිට වෙසක් කූඩු නම් හදන්න බැරි වුණා.

I අමන්දා සිල්වා

දන්සලට ලංකාවේ ඉන්න බැරිවුණා - හරි දුකයි

මේ පාර වෙසක් එකට මට ලංකාවේ ඉන්න බැරි වුණා. මම වෙසක් දවස්වල ඉන්දියාවෙ හිටියේ. ඒ නිසා අපේ ගෙදර දරුවෝ දෙන්නවත් එකතු කරගෙන මගේ බිරිඳ තමයි වෙසක් සැරසිලි කරලා තිබුණේ. ඇත්තම කිව්වොත් වෙසක් කූඩු නම් මටත් හදන්න බැහැ. ඒක ගැන නම් ඇත්තටම මම ගොඩක්  ලැජ්ජා වෙනවා. ඒ නිසා අපි හදපු කූඩු ගෙනල්ලා කොළ අලවලා, රුලි කපලා අලවලා කූඩුව සම්පූර්ණයෙන්ම හදනවා. ඒකට මගේ බිරිඳ දරුවන් දෙන්නත් එකතු වෙනවා. මේ පාර ඒ දේවල් ඒ තුන්දෙනා එකතුවෙලා කළා. අපේ ගමේ හැමෝම එකතුවෙලා දන්සලකුත් දෙනවා. ඉතින් වෙසක් කාලයට මම හරි ආසයි. හැබැයි මේ පාර ඒ දවසට ලංකාවේ ඉන්න බැරිවීම ගැන දුකක් තියෙනවා.

I මංජු මුදලිගේ
 
ලොකු බතක් උයලා වීදි සතුන්ට කන්න දුන්නා

අපිට පහුගිය අවුරුදු කිහිපය කොවිඩ්, අරගල, ආර්ථික ගැටලු එක්ක හරියට වෙසක් සමරන්න ලැබුණේ නැහැ. හැබැයි මේ අවුරුද්දේ බොහෝ දෙනා වෙසක් සමරන්න සූදානම් වුණා. ඒකට වැස්ස නම් බාධා වුණා. මේ පාර මම ගෙදර අටපට්ටම් කූඩුවක් හැදුවා. වෙසක් කූඩු හයක් සල්ලිවලට අරගෙන ආවා. ඒවා ඉටිකොළවල දාලා වහලමයි තියෙන්නේ. ඒ නිසා තෙමෙන්නේ නැහැ. මට පුළුවන් විදියට මම අනිත් අයට උදව් කරනවා. වෙසක් දවසට අපි වීදි සතුන්ට බත් උයලා දුන්නා. ඒකට හාල් කිලෝ පහක බත් එකට, මස් කිලෝ තුනක්, වට්ටක්කා, මුකුණුවැන්න දාලා ලොකු බතක් ඉව්වා. අම්මත් මට ඒකට උයන්න උදව් කළා. ඒ උයපු බත් අපි වීදි සතුන්ට ගිහින් දුන්නා. ඒ සතුන්ගේ කුසගින්න එක වේලකින් හරි නිවාගන්න ලැබීමෙන් හිතට ලොකු සහනයක් දැනුණා.

I කාංචනා ඛාන්

I දිශානි ජයමාලි
සේයාරූ I අන්තර්ජාලයෙන්

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00