2024 ජුනි 01 වන සෙනසුරාදා

දුකද සුදූ? සතුටුද? රත්තරන් කන්න එහෙනම් අයිස්ක්‍රීම්!

 2024 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 43

ඔන්න මචෝ ආතල් Y Trend එකක් අරගෙන ආවා. මේ වැස්ස දවස්වල අයිස්ක්‍රීම් එකක් කන ගමන් සීන් එක ගලපන්න පටන්ගමු. හැබැයි ඉතින් කතාවත් අයිස්ක්‍රීම් ගැනම තමා. ලෝකෙ කොච්චර කෑම ජාති තිබුණත් අයිස්ක්‍රීම් කියන්නෙ කෑමකට වඩා එහා ගියපු දෙයක්. ඒක Fashion එකක් Trend එකක් විදියටත් හඳුන්වන්න පුළුවන්. ඒ නිසාම අපි හිතුවා අයිස්ක්‍රීම්  ගැන Y Trend ටිකක් සුදාලත් එක්ක බෙදා ගන්න.

මේ දවස්වල කාලගුණෙත් එක්ක අයිස්ක්‍රීම් ගැන කතාව පටන්ගමු. සුදාලා දැකලා ඇති ලංකාවේ සමහර අය වගේම ලෝකෙ පුරා සමහරුත් වැස්සෙ අයිස්ක්‍රීම් කන ඡායාරූප, වීඩියෝ. ඇත්තටම මචෝ මේක අයිස්ක්‍රීම්  Trend එකක්. වැසි දවස්වල අයිස්ක්‍රීම් කෑම එක්තරා ආකාරයක පිස්සුවක්. අන්තර්ජාලයේ වැස්සෙ අයිස්ක්‍රීම් කෑම සම්බන්ධව අපූරු පෙළඹවීම් තියෙනවා. 

“ඔබට පිස්සු නම් ඔබ සියලුම පිස්සු විශ්වාස කරනවා නම් වැස්ස දවසේ අයිස්ක්‍රීම් කන්න. ඒක වෙනම ආතල් වැඩක්" 

එතකොට තමන් පිස්සු ආතල් චරිතයක් කියලා පෙන්නන්න වගේම සැබෑවටම පිස්සු ආකල්ප චරිතයක් නිසා මිනිස්සු වැස්සෙ අයිස්ක්‍රීම් කනවා. දැන් ඒක Trend එකක් වෙලා. වැස්සෙ අයිස්ක්‍රීම් කන කට්ටිය කියන විදිහට Choco chip, butterscotch, fruity, or a waffle ice cream ගොඩක් හොඳයි වැස්ස දවස්වලට.

චිත්‍රපටවලින් නවකතා වලින් මේ සීන් එක ලෝකෙ පුරා ජනප්‍රිය කරන්න ලොකු දායකත්වයක් සපයලා තියෙනවා. වැස්සේ අයිස්ක්‍රීම් කන පිස්සු සීන් චිත්‍රපට, ටෙලි, නවකතා නිර්මාණ ඇතුළේ ඕනෑ තරම් දැකගන්න පුළුවන්. පසුගිය දවස්වල ලංකාවේ අයත් අන්තර්ජාලයට වැස්සෙ අයිස්ක්‍රීම් කන ඡායෑරූප මුදා හැරලා තිබුණා සුදාලා දකින්න ඇති. ඒ වගේම වැස්සේ අයිස්ක්‍රීම් කන වෙළෙඳ දැන්වීමක් ඒ කාලේ ප්‍රසිද්ධ වුණු බවත් ඔයාලට මතක ඇති. වැස්සේ අයිස්ක්‍රීම් කන පිස්සුව ඇත්තටම අයිස්ක්‍රීම් සම්බන්ධව තියෙන ආතල් Trend වලින් සුපිරිම එකක්.

ඊළඟ ආතල් සීන් එක තමා මචෝ දුකට අයිස්ක්‍රීම් කෑම. මේක නම් ලෝකෙ බොහොම ජනප්‍රිය Y Trend එකක්. ගොඩක් වෙලාවට ආදර සම්බන්ධතා බිඳ වැටුණම පිස්සුවෙන් වගේ අයිස්ක්‍රීම් කන සීන් කෝන් එක දැන් සෑහෙන්න වයිරල් වෙනවා. Breakup වුණාම අයිස්ක්‍රීම් Tub එකක් විතර කන සමහරු ඉන්නවා. මේකත් ඔය චිත්‍රපටවල ටෙලි කතාවල නිතර දැකගන්න පුළුවන් සීන් කෝන් එකක්.

“අයිස්ක්‍රීම් කෑවම දුක අඩු වෙනවා"

ඒ විදියට දුකට අයිස්ක්‍රීම් කන අය තුළ අදහසක් තියෙනවා. කොහොම වුණත් මචෝ මේක සම්බන්ධව විද්‍යාත්මක පැහැදිලි කිරීම් ගොඩක් තියෙනවා. කෙනෙක් දුකෙන් ඉන්නකොට ඒ දුක නැති කරගන්න අධි පරිභෝජනයට යොමුවීමේ යම් සම්භාවිතාවක් තියෙන බව කියන්නෙ මනෝවිද්‍යාඥයන්. ඒ අනුව අයිස්ක්‍රීම් කියලා කියන්නේ මේ ඇබ්බැහිවීමේ එක සීන් එකක්.

තවත් සමහරු කියන විදිහට මොළයේ සතුට සඳහා වන හෝමෝන නිෂ්පාදනය වෙන්න අයිස්ක්‍රීම් යම් දායකත්වයක් සපයනවා. ඒ නිසා තමා අයිස්ක්‍රීම් කෑවම දුක තුනී වෙන්නේ. කොහොම නමුත් අඬ අඬා කොහේ හරි මුල්ලකට වෙලා තමන්ගේ ආදරේ ගැන දුකින් අයිස්ක්‍රීම් කන සීන් කෝන් ඕනෑ තරම් දැකගන්න පුළුවන්. විශේෂයෙන් යුරෝපයේ සහ ඇමෙරිකාවේ මේක පට්ට විදියට ප්‍රසිද්ධ වෙච්ච Trend එකක්.

ලංකාවේ සහ ආසියාකරයේ දැන් මේ සීන් එක දැකගන්න පුළුවන්. Love එක නැතිවුණාම, බූට් එකක් කෑවම දුකින් අඬ අඬා හොරෙන් අයිස්ක්‍රීම් කන සීන් කෝන් අපේ අය අතරත් නැත්තෙම නෑ. විශේෂයෙන්ම අලුත් තරුණ පරම්පරාව අතර මේ Trend එක තියෙනවා. සමහරක් වෙලාවට දුකින් ඉන්න කෙනෙක්ට අයිස්ක්‍රීම් එකක් කන්න කියලා නිර්දේශ කරන දැනුමැති අයත් ඉන්නවා.

කොහොම හරි මේ අයිස්ක්‍රීම්, කාන්තාවෝ සහ තරුණ ගැහැනු ළමයි අතර අපූරු සම්බන්ධයක් තියෙන බවත් කියන්නම ඕනෑ. වැස්සේ අයිස්ක්‍රීම් කන පිස්සුව වගේම දුකට අයිස්ක්‍රීම් කන පිස්සුවත් වැඩිපුරම තියෙන්නේ තරුණ ගැහැනු ළමයින්ට. ඒ වගේම මාසිකව ඔසප් චක්‍රය ක්‍රියාත්මක වීමේදී ඇතිවන මානසික ආතතිය සඳහා අයිස්ක්‍රීම් කෑම පුරුද්දක් කර ගත්ත අයත් ඉන්නවා. ඒකත් ගැහැනු ළමයි අතර ජනප්‍රිය Trend එකක්.

කොහොම නමුත් ලෝකයේ පොදුවේ පිළිගැනීමක් තියෙනවා නරක ආරංචියක් ආවම පුළුවන් නම් අයිස්ක්‍රීම් එකක් කන්න කියලා. ඒ වගේම යම් තීරණයක් ගන්න අපහසුවෙන් ඉන්න අවස්ථාවක අයිස්ක්‍රීම් එකක් කන්න කියලත් සමහරු කියනවා. ඉතින් ඒ නිසාම මේ වගේ අමුතු අමුතු දේවල් අයිස්ක්‍රීම් සම්බන්ධව Trend නිර්මාණය වෙන්න හේතු වෙලා තියෙනවා.

මේ වගේම තමයි වෙහෙසකර දවසක කෙළවර නැවත ගතට ශක්තිය ඇතිකර ගන්න අයිස්ක්‍රීම් කන අයත් ඉන්නවා. ඔවුන් කියන විදිහට අයිස්ක්‍රීම් එකක් කෑවම ඇඟට හිතට නැවුම් බවක් දැනෙනවලු. මම නම් හිතන්නේ ඒක අපේ සුදාලත් පිළිගනී. ඒත් පුරුද්දට වගේ මෙහෙම අයිස්ක්‍රීම් කන එක නම් අපේ අය කරන්නේ බොහොම අඩුවෙන්. 

අයිස්ක්‍රීම්වල ප්‍රෝටීන් සහ මේදය අඩංගු වන අතර, අපගේ මනෝභාවයන් සමථයට ඒ දේවල් අවශ්‍ය වෙන බව සමහරු සඳහන් කරලා තියෙනවා අපි දැක්කා. ඊට අමතරව, ඔබ අයිස්ක්‍රීම් අනුභව කරන විට ට්‍රිප්ටෝෆාන් වැනි ඇමයිනෝ අම්ල සෙරොටොනින් නිෂ්පාදනය වැඩි කරන බව සඳහන් වෙනවා. ඒ හරහා අයිස්ක්‍රීම් කන අයට ගොඩක් වෙලාවට සන්සුන්, තෘප්තිමත් බවක් වගේම යහපතක් සතුටක් දැනෙනවලු.

අපේ වස්තුලා අහලත් ඇති අයිස්ක්‍රීම්වලට සිංහලෙන් කියන්නේ හිමකිරම කියලා. ඒත් ඉතින් අපි කවුරුත් කඩේට ගිහිල්ලා හිමකිරමක් නම් ඉල්ලන්නේ නැහැ. හැබැයි ඔන්න වැස්ස දවසක වගේම දුකක් දැනුණමත් ඉඳලා හිටලා හරි අයිස්ක්‍රීම් එකක් Try කරන්න. ඒක ඇතුළේ අමුතු ලල් එකක් දැනුණොත් එහෙම ඔන්න අපිටත් කියන්න. හැබැයි ඉතින් අවසානේ කියන්න තියෙන දේ තමයි වැදගත්ම. මේ මොනවා කිව්වත් අයිස්ක්‍රීම් එකක් කන්න ඇත්තටම කිසිම හේතුවක් ඕනෑ නෑ. ඔයාලට හේතුවක් නැතුවත් කන්න පුළුවන් කෑම තමයි අයිස්ක්‍රීම්.

I චමිඳු නිසල්