2024 ජුනි 01 වන සෙනසුරාදා

සබඳ ඔබ සැතපෙනවිට සුරකැළ ගී ගයනු ඇත

 2024 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 29

ඒ අතීත මතක දිගේ මා ඇවිදින්නම් ඉතින්. එහෙත් එදවස මම ඔබ හඳුනන්නෙත් නෑ ඉතින්. ඒ මම නුවර කන්‍යාරාමයක අකුරු උගනින කාලයයි. සෞන්දර්ය විෂය ධාරාවෙන් උසස් පෙළ උගනිද්දී සාර සිප් සොයා මම පියමන් කළ එක් තැනක් වූයේ එම්.ජී.පී. කලායතනයයි. සාර සුසාර සුපිළිවෙත් එහි තිබූ හැටි මට හොඳ හැටි මතකය. එහෙයින් එතැන ඉගෙනුම් සක්මන වඩාත් ප්‍රියදායී තැනක් වූයේය. 

ශ්‍රියා මන්මත් වී මාගේ දැකලා උන්මාද වේවි හෘදේ යන පැරණි නූර්ති ගීය යළි ගැයූ ආනන්ද පෙරේරා ගායනවේදියාණන්ට සංගීතවේදියාණන්ට එම්.ජී.පී. කලායතනය හා තිබූ සබඳතාව මා දැනගත්තේ එදවස් පියමන් කර මාධ්‍ය ක්ෂේත්‍රයට පැමිණි පසුවය. නිර්ලෝභීව ලියා තබන්නම්; වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු සංගීතය තුළ විශිෂ්ටයෙක්. යුග රූපණයක්, යුග සලකුණක් ලෙස ආනන්දයන් හැඳින්වීම නිරවද්‍යයයි. එහෙත් ආ ගමන නිමා කර යා යුතු දිනක් සපැමිණෙන යථාර්ථයට අවසඟව යා නොහේ. එහෙයින්ම ජීවන පුස්තකයේ 67 වැනි පිටුව කියවමින් සිටියදී ඔහු මේ භවය අතහැර කොහේ කොතැනක හෝ සංසාරයේ තවත් නවාතැනක් සොයා ගියේය. කණ්ඩායම් සංගීතයේ ශාස්ත්‍රීය ගැඹුර අප්‍රමාණ සුන්දර වෙසින් ස්පර්ශ කළ මේ සුවිශිෂ්ටයා ශක්ති සංගීත කණ්ඩායම ඇරඹූයේ ඇන්තනී සුරේන්ද්‍ර නම් විශිෂ්ට සංගීතඥයාත් සමඟ එක්වය. ජන සංගීතයේ සිට පෙරදිග ශාස්ත්‍රීය සංගීතය දක්වාත් එතැනින් ඇමෙරිකානු හා අප්‍රිකානු ජන සංගීත ආරයන් කෙරෙහිත් බටහිර සංගීතයට නැඹුරු වූ ප්‍රවේශයක සිට තම ශාස්ත්‍රීය අධ්‍යයනය යොමු කළ ආනන්ද සැමවිටම සංගීතයෙහි පතුල ස්පර්ශ කළ විශිෂ්ටයෙකි. 

''ඕන දෙයක් කරපං, හැබැයි හරියට. සංගීත භාණ්ඩ අරන් බජව් දානවා එහෙම නෙවෙයි'' ආනන්දගේ තාත්තා වූ සිරිල් පෙරේරා යන ඒ යුගයේ ප්‍රකට සංගීතවේදියා එදවස එම්.පී.ජී. කලායතනයට පැමිණි ආනන්දට කීවේ එසේය. දවසක් ඒ තාත්තා තම පුතුගේ අතට වයලීනයක් දුන්නේය. ''උඹ අද ඉඳන් වයලීන් එක පුරුදු වෙයන්'' ආනන්දගේ අතට එසේ කියමින් වයලීනය දුන් තාත්තා ආනන්දගේ මල්ලී අතට දුන්නේ තබ්ලාවකි. ''කවිය, වන්නම, බෙර හඬ, කරත්ත කවි, පැල් කවි ඇහෙද්දී පුංචි කාලේ ඉඳන්ම මගේ ඇඟේ ලේ කකියනවා. පුංචි කාලේ ඉඳන්ම මම ශාස්ත්‍රීය සංගීතයට විතරක් නෙවෙයි ජනශ්‍රුතියටත් හුඟක් ආදරේ කළා. අවුරුදු 13 වෙද්දි මට ලොකු ආසාවක් තිබුණෙ කැලිප්සෝ සංගීතය ගැන. රේඩියෝ එකෙන් දවල් කණ්ඩායම් ගී අහපු මම ඉංග්‍රීසි චැනල් එක කරකවලා ඇහැව්වෙ ජිම් රිව්ස්ගෙ, එල්විස් ප්‍රෙස්ලිගෙ සින්දු'' සංගීතය යනු විශ්වීය දායාදයක් බඳු දිව්‍යමය තිළිණයක් වග පසක් කරගත් සෞන්දර්යාත්මක හදවතකින් ආනන්ද සංගීතයට පෙම් කළේ දරුවෙකු වූ පැටි වියේ සිටමය. 

කරණාටක, උත්තර භාරතීය සංගීත රටාවන්ට සේම ස්පැනිෂ් මියුසික්, ඇමෙරිකන් වෝල්ස් මියුසික්, රොක්, හෙවි රොක්, ඇසිඩ් රොක්, හාඩ් රොක් ආදී සංගීත ශෛලියන්ට සේම දේශීය සංගීතයේ ප්‍රකෘති අක්මුල්වලටද එක සමාන ප්‍රේමයක් විදාහල ආනන්ද මහනුවර ධර්මරාජයේ උගන්නා සන්ධියේ ධර්මරාජයේ සංගීත ගුරුවරයා වූයේද ඔහුගේම තාත්තාය. වයස අවුරුදු 16 දී සංගීත කණ්ඩායමක් පිහිටුවා ගැනීමේ අදහස හිතේ ඇතිව එහෙන් මෙහෙන් හොයාගත් සංගීත භාණ්ඩ අතැතිව ඩ්‍රම් සෙට් එක තේ පෙට්ටියකින් හදාගෙන පොඩි පොඩි මඟුල් ගෙවල්වල හෝටල්වල අවසානයේ ඒ සංගීත කණ්ඩායම ගී ගයද්දී තාත්තාට හොරා කළ සංගීත කණ්ඩායම් වැඩේ තාත්තාට හසු වූයේ මඟුලක වයා පාන්දර නිවසට ආ දවසකය. ''උඹලා මේක වැඩට ගනිල්ලා'' කියා මිතුරෙකු දුන් ගිටාරය තාත්තා පොළොවේ ගැහුවේ ඒ පාන්දරය. ශාස්ත්‍රීය සංගීතයේ මාවත් පියමන් කර බටහිර සංගීතය වෙත තම පුතු ඇදී යයි යන බිය ඒ විරෝධයට හේතු වූයේය. ආනන්ද, එම්.එස්., මිල්ටන්, සුජාතා වැනි ගායන ලෝකයේ සෞන්දර්යාත්මක සලකුණු ආනන්ද දැන හඳුනා ගත්තේ Kandy lake club හි රුපියල් 25 ට වයන කාලයේය. 1988 වර්ෂය වනතුරුම සුපර් ජේඩ්ස් යනුවෙන් හැඳින්වූ මෙම සංගීත කණ්ඩායම පැවතියේය. සෝමදාස ඇල්විටිගල මාස්ටර් සෙවණේ 1978 ජූනි 1 වැනිදා ආනන්දයන් ගුවන්විදුලිය හා එක්වූයේය. තාත්තේ මම ගුවන්විදුලියේ වැඩට යනවා යැයි ආනන්ද කීවේ ඒ යන දවසේ උදේ පාන්දරය. ගියදෙන්, යන්නෙ ගුවන්විදුලියටනෙ යැයි සිතුවත් රිදුණු නොරිදුණු සිත ඒ තාත්තා නිහඬව දරා ගත්තේය.

රොක් සාමි මාස්ටර් හඳුනා ගැනීම ආනන්ද හැමදාමත් සැලකුවේ තමන් ජීවිතේ ලද පුදුමාකාර භාග්‍යයක් හැටියටය. තවද එසමයෙහිම හේ වික්ටර් රත්නායකයන්ගේ 'ස' ප්‍රසංගයේ වයලීනය හා ගිටාරය වැයුවේය. කෝරස් කීවේය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ද එදවස මුල්ගම්පල එම්.ජී.පී. කලායතනයට ආ ගිය විද්වතෙකි. ඒ ආනන්දගේ තාත්තා හා තිබූ මිතුරුකමටය. මෙවැනි වියතුන් සහ සොඳුරු සිත් ඇත්තවුන් ඇසුරේ හැදුණු වැඩුණු ආනන්දගේ ජීවිතේ සුවිශේෂී සංධිස්ථානයක් වූයේ ඇන්තනී සුරේන්ද්‍ර සමඟ එක්වී ශක්ති සංගීත කණ්ඩායම බිහිකිරීමය. ගුවන්විදුලියේ සරල ගී වැඩසටහනක් ආරම්භ වීමට තිබියදී තම පියාණන්ට අසනීප යැයි පවසමින් ආ පණිවිඩයක් නිසා සරල ගී වැඩසටහන පැත්තකට දමා ගෙදර ගිය නිසාවෙන් ආනන්දට ගුවන්විදුලියෙන් ලැබුණු දඬුවම වූයේ සේවයෙන් ඉවත් කළ ලිපියයි. එහෙත් අත්හැරුණු දෙය අත්හැර දැමූ ආනන්ද ශක්ති සමඟ ශක්තිමත් ගමනකට මුල පිරුවේය. ඉනික්බිති යුගයකදී ආනන්ද ඔහුගේ නායකත්වයෙන් සිහ ශක්ති ගොඩනැගුවේය. එයිනුත් පසු කාලයක ස්වරාංජලී නම් ඔහුගේ සංගීත කණ්ඩායමක් නිර්මාණය කර ගත්තේය. ආනන්ද තම සංගීත දිවිසැරිය පුරා හමුවූ බොහෝ උන් අතරින් හදවතින්ම ආදරය කළ චරිත වූයේ රොක් සාමි මාස්ටර් සහ ඇන්තනී සුරේන්ද්‍ර යන සංගීතඥයන්ය. ආනන්ද හුස්මක් වැටෙන යුගයේ ඒ සොඳුරු මිනිසුන් ගැන කියා තිබුණේ මෙහෙම දෙයකි. ''සංගීතයෙන් විතරක් නෙමෙයි මනුෂ්‍යත්වයෙනුත් ඒ තරම් විශිෂ්ට නිහතමානී කෙනෙක් මම දැකලා නෑ. මම මේ කියන්නෙ රොක් සාමි මාස්ටර් ගැන. කර්ණාටක, වෙස්ටන්, හින්දුස්ථානි ඕනෙම එකක් එයාට අතැඹුලක් වගේ. ඉඳහිට කේන්ති ගියත් කවදාවත් කාගෙවත් හිතක් නොරිද්දපු මනුෂ්‍යයෙක්. ඇන්තනී සුරේන්ද්‍ර කියන්නෙ ගිටාර්, මැන්ඩලීන් කී බෝඩ්, ඕනෑ එකක් තමන්ගෙ අතේ ලස්සනට නළවපු සුපිරි වාදකයෙක්'' 

ඇගයිය යුතු දේ නිර්ලෝභීව හදවතින්ම ඇගයූ, නිහඬවම බොහෝ දේ ගයා අවසන් කරලූ සොඳුරු ගායකයා, අප්‍රමාණ සංගීතඥයා සංසාර චාරිකාවේ මේ භවය අත්හැර හමාරය. ඉඳින් ආනන්දයෙනි... ඔබ පැතූ ජීවිතයක් වෙත්නම් එයම ඔබට මුණගැසේවා. 

සබඳ ඔබ සැතපෙනවිට සුරකැළ ගී ගයනු ඇත.

I සංජීවිකා