කාන්ස් ලෝක සිනමා සම්මාන උළෙලේදී සම්මානනීය වූ වගයි
සියක් දහසක් යොදුන් ගව් දුර ඈතක, මා හිඳින තැන සිට ඈතම ඈතක ඉසුරු හිඳී. ඒත් මේ මොහොතේ මට ඉසුරු අවැසිමය. මක් නිසාද යත් ඉසුරුගේ හදවතෙහි ඉපදුණු සිතුවිලි අංශ්රමාත්රය සිනමා වියමනක් බවට පරිවර්තනය වී එය ශේෂ යැයි නම් ලැබ දිලිසෙමින් සිටි ඇසිල්ලක ශේෂ සොඳුරු සම්මානයකට පාත්‍ර වූ වග ඇසුණු නිසාමය. ඉතින් ඉසුරුගේ මේ සටහන ඉසුරුට ආමන්ත්‍රණය කරන්නට මට අඬගසයි.
"දූපතින් එහාට අපේ කල්චර් එක ගෙනියන්න හදපු සුවිශේෂී 'ශේෂ' Cannes World Film Festival (කාන්ස් ලෝක සිනමා සම්මාන උළෙලේ) හි හොඳම නර්තන චිත්‍රපටය ලෙස තේරී පත්වූ බව ඔබ සියලු දෙනාට සතුටින් දැනුම් දෙන්නෙමු."
ඉඳින් නොලියා කෙලෙස...
ශේෂ දිදුලමින් හිඳින මොහොතක...
ශේෂ ලෝකය සරා ඇවිදින්නට පේවී හිඳින මොහොතක...
ශේෂ මේ පුංචි රටේ විසල් නර්තන උරුමයක මුද්‍රාව ඔස්සේ සිනමාවී ආස්වාදයකින්, භාවමය ප්රකම්පනයකින් සහ රමණීය රසාස්වාදයකින් හදවත් සරසන්නට සැරසෙන මොහොතක ඉඳින් ශේෂ ගැන නොලියා කෙලෙස...
ආහ්...
ගලන සිහිල් දොළ පාරක් අස තවත් දිය සීරා ගැඹුරේ ගලතැයි සිතෙන ගල් පර්වතය ඉස්මත්තේත් සුරබා ගුරුන්නාන්සේ අබිමුව උඩරට නර්තන රිද්මයට අත් පා නටවන පුංචි සන්දියේ රුවන්ගේ සිට ලාංකික පොළොවේ සංස්කෘතික අක්මුල්වලට ප්‍රේමයෙන් බැඳුණු තාන්න මාන්න කුල ගොත් සිල්ලර කාසියක් තරමටමවත් මායිම් නොකරපු ලොකු රුවන් දක්වාත්,
අවශේෂ වෙමින් පවතින කලාවක් රුකගන්නට අපිරිමිත කැපකිරීම් කළ සුවිශේෂී මිනිසුන්ට උපහාරයක් ලෙස ශේෂ ලෝකයට තිළිණ කරන්නේ යැයි හැඟෙද්දී එහි ස්නේහවන්ත අම්මාගේ භූමිකාව ළතෙත් සිතින් දෙවුර දරාගත් "අම්මා" වූ ඇය දක්වාත්,
ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වන ජීවිතේ තත්ත්පර අසංඛයකින් එක තත්ත්පරයක් ලෙස නිර්වචනය කරන්නට හිතෙන බණ්ඩාර නිලමේ දක්වාත්,
බෙරයට ආත්මීය ආලයකින් පෙම් බැඳි හේතුවා දක්වාත්,
ගෝත්රිකවාදී, වැඩවසම්වාදී චින්තනය පපුව මැද පුරවාගත් ගරා වැටී දියාරු වී යන රදළ උරුමයේ අහංකාර මාන්න සමුදාය වංසක්කාර යැයි කියාගන්නා පරපුරක අවසන් පුරුකක් ලෙසින් දරාගන්නට වෙර දරන පරාජිත ලොකු නිලමේ දක්වාත්,
සරල දිශානතියකින් එහාට හැඟීම් තුළ සරන නර්තනයේ සෞන්දර්යාත්මක ඉසියුම් රිද්ම රේඛාවන් මාත්‍රයෙන් මාත්‍රයට ස්පර්ශ කරන සරල කෙල්ලක් නොවූ සරලා දක්වාත්,
හෘද සමාන ආලවන්ත ආලයකින් උඩරට නර්තනයේ සියුම් ඉසියුම් හැම රිද්ම මාත්රයකටම අසමාන ප්‍රේමයකින් බැඳුණු, ඒ නර්තන චමත්කාරයෙන්ම ජීවිතය හා හුස්ම ගන්නා සුබරා ගුරුන්නාන්සේ දක්වාත් අපූරු රංගනමය සම්මිශ්‍රණ දාමයකින් ශේෂ සුසැඳි වග පළමු කොට ලියා තබමි.
ඔබ දන්නවාද? මහා නර්තනවේදී රවිබන්ධු විද්‍යාපති ගුරු පියාණන්ගේ නර්තන වින්‍යාසමය ස්පර්ශය ලබන්නට තරම් පින්සාර වූ හෙළයාගේ අස්පර්ශ මූලාශ්‍රය යන තේමාත්මක සංරචනයෙන් දිලිසෙන ශේෂ ඉසුරුගේ පළමු සිනමා වියමනයි.
BEST DANCE FILM WINNER Cannes World Film Festival – 2024
ඒ අයුරින් සම්මානනීය වූ ශේෂ නිමැවූ ඉසුරු ගුණතිලක කවුද?
පැටිවියෙහිදී ලජ්ජාශීලී දරුවා වේදිකාවත්, වේදිකාවෙන් එහාට සිනමාවත් ප්‍රේමණීය වෙසින් ස්පර්ශ කරමින් ආ ගමනේ කතන්දරය තුළ නවාතැන් බොහොමයකි. ටෙලිනාට්‍ය කලාව, නිෂ්පාදන කළමනාකරණ භූමිකාවක වගකීම්, මාධ්‍ය ආයතන තුළ භූමිකා සැරිසැරුම් ආදී යටගියාවක බොහෝ මතක අතර රෑපවාහිනී අභ්‍යාස ආයතනයේ උගනිමින් උන් කාලයේදී මුණගැසුණු තාරක බැද්දගේ ගුරුතුමා වැනි චරිත අදටත් ඉසුරු භක්ත්‍යාදරයෙන් සිහිපත් කරයි. ඉසුරු හා කතාබහේදී ඉසුරු කී නම් බොහොමයක් තිබුණත් ඒ නම් ලියන්නට ඉඩහසර මදි නිසා ලියා තබන්නේ ශේෂ දක්වා පැමිණි ගමන් මඟට ආදර ආලෝක පුංජයක් වුව එක් කළ යමෙක් වෙත්නම් ඒ සැමට ඉසුරු හදවතින්ම ස්තූතියැයි කී වගය. සිනමාවට දැක්වූ ස්නේහය තුළ ගිජු ලිහිණි නිමැවූ ඉසුරු ගිජු ලිහිණි කෙටි චිත්‍රපටය වෙනුවෙන් දිනාගත් සම්මාන සටහන මේ අයුරින් ලියා තබමි.
Human Right Prize –Agenda 14 කෙටි චිත්‍රපට උළෙල - 2020
Winner Merit Award – 9th Youth Film Festival – 2020
Winner Jury Award Best Actor Award - 9th Youth Film Festival – 2020
යන සම්මානවලින් නොනැවතුණු ගිජු ලිහිණි යාපනයේ පැවැති අන්තර්ජාතික සිනමා උළෙලේ නිල තේරීම් සඳහා ද සුදුසුකම් ලැබීය. චිත්‍රපට නිෂ්පාදනය සහ සිනමාකරණය පිළිබඳ ඉගෙනීමේ අපේක්ෂාව පෙරදැරිව ප්‍රංශයට ගිය ගමනේදී ඉසුරු තවත් කෙටි චිත්‍රපට දෙකක් නිමැවූ අතර The Circle of Life කෙටි චිත්‍රපටය 2021 වසරේ Agenda 14 කෙටි චිත්‍රපට උළෙලේ නිල තේරීම බවට පත් විය.
වරෙක අහම්බකාරක කෙතරම් පුදුම සහගතද?
ප්‍රංශයේදී අහම්බෙන් මෙන් හමුවූ නැටුම් කණ්ඩායමක් විජයබා කොල්ලය නවකතාව ප්රස්තුත කරගෙන මැවූ නිර්මාණය ඔස්සේ ඉසුරු ගිය ගමනේදී ඉසුරුට දැනුණේ ලාංකික සාම්ප්‍රදායික නර්තන කලාව කෙරේ, ඒ සෞන්දර්යාත්මක මාත්‍ර තැවරුණ ඉසව්වන් කෙරේ ප්‍රංශ රස සහ ප්‍රංශ ළැදියාව බොහෝ ඉහළ වගය. එහෙයින්ම ඉසුරු තම ඉගෙනුම් ක්‍රියාවලිය හා බද්ධ වූ අවශ්‍යතාවන් ස්පර්ශ කරමින් යන ගමනේදී තම පළමු සිනමා චමත්කාරය නිමවන්නටද පාදම සකස් කර ගත්තේය.
"ලංකාව කියන්නෙ පුංචි රටක් කියලා අපි හිතන් හිටියෙ. මෙච්චර උරුමයක්, මෙච්චර නර්තන සම්ප්රදායක් ලංකාවෙ තියෙනවද? පුදුමයි. අපි දැනන් හිටියෙ නෑ."
ඒ අයුරින් ප්‍රංශ රසවතුන්ගෙන් ලැබුණු රස වයින්වලටත් වඩා රස වූ ප්‍රතිචාර ඉසුරුට ශේෂ කෙරෙහිද මඟ කියන්නට ඇතැයි සිතේ.
චන්දන වික්‍රමසිංහ, උමාලි තිලකරත්න, මල්කාන්ති ජයසිංහ, නලින් ප්‍රදීප් උඩවෙල, යොහාන් ජෙස්, රදින් රන්දීව්, තිළිණ ද සිල්වා වැනි රංගවේදීන්ගෙන් සැරසුණු ශේෂ තිරයෙන් එහා සිට සරසන්නටද බොහෝ පිරිසක් දායක වූහ. ඉසුරු ගුණතිලකගේ නිෂ්පාදනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් නිමැවුණු ශේෂ තිර රචනය සමන්ත කුමාර ගමගේය. ශේෂ සැරසූ නාමාවලිය මාගලක් සේම දිග යැයි හැඟෙන නිසා එය ලියා නොතැබුවත් ශේෂ සම්මානනීය වූ මේ මොහොතේ ඒ සියලු දෙනාට ඉතින් අපි ස්තූතියැයි කියමු.
නගරයෙන් හුදෙකලා වූ සුන්දර සාම්ප්‍රදායික සම්මානයක නර්තනය ආත්මීය හුස්ම බවට පත් කරගත් සුබරා ගුරුන්නාන්සේ විසුවේය. සුබේ ගුරුන්නාන්සේ තමන් ලද ජීවිතයේ උත්තම පැතුම ලෙස සැලකූයේත් දොහොත් මුදුන් දී පිළිගත්තේත් දළදා පෙරහරට සම්බන්ධ වී නර්තනයේ යෙදීමේ ප්‍රාර්ථනාවයි. එහෙත් නර්තනයටත් බෙරයටත් ඒ සා ප්‍රේමයක් දැක්වූ සුබේ ගුරුන්නාන්සේගේ උත්තම ශිල්පයට ඒ ගම්වැසියන් ඒ සා ප්‍රේමයකින් දොහොත් මුදුන් නොදුන්නේ කුලය යන නිර්ණායකය කේන්ද්‍ර කරගෙනය. ලද ශිල්ප සියල්ල පුතුට තිළිණ කරලීමේ පැතුම ඔහු හදවතේ වූයේය. ඒ අයුරින්ම පුතුද එයට පෙම් කළේය. එහෙත් ගම හැරදා ඔහු සරසවියට යයි. සරලා කෙරේ බැඳි ප්‍රේමයත් ගම හා නර්තනය කෙරේ බැඳි ප්‍රේමයත් සරසවියේ ප්‍රේමණීය ලෙස ඔහු ස්පර්ශ කරන දෑ හමුවේ වෙනස් වී යන්නේද? සුබේ ගුරුන්නාන්සේගේ හීන, ප්‍රාර්ථනා සිහිනවලින් ඇහැරවන්නට ඔහුට හැකිවේද? ජීවිතය යනු අප ඉල්ලන, සොයන, ප්‍රාර්ථනා කරන සියල්ලක්ම නොවන විශ්වීය සත්තාවක් තුළ ඔවුන්ගේ ප්‍රාර්ථනා කතාවන් සහ ඉරණම් කතාවන් ලියැවෙන්නේ කෙලෙසද? ශේෂ තුළ කියවන්නට, විඳින්නට, දරාගන්නට සිදුවන්නේ එවන් ප්‍රස්තුතමය කතාන්දරයකි.
තවමත් ඇසිදිසි මානයක ශේෂ චිත්රණය වන දවසක් නොදන්නා හෙයින් සුබ පැතුමින් එහාට තවත් සුබ පැතුම් එක් කරනු පිණිස ශේෂ ලෝ පුරා රුගෙන යන්නට ඉසුරුට හැකි වේවායි පැතුමක් තබමින් මෙතෙකින් නවතිමි.
• සංජීවිකා සමරතුංග