2024 ජුනි 08 වන සෙනසුරාදා

උමතු - අමුතු - පුදුම ඇඳුම් හින්දා උර්ෆි දවසක් පොලිස් අත්අඩංගුවේ...

 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 131

මිලියන ගණනක් පිස්සු වට්ටපු ඉන්දියාවේ මෝස්තරකාරී...

කලා ලෝකේ තරුවලින් වැඩිපුරම තරු ගොන්නක් අයිති ඉන්දියාවට. ඉන්දියාවෙදි අපිට එකිනෙකට වෙනස් අපූරු තරු සෑහෙන්න හමුවෙනවා. උර්ෆි ජාවේඩ් කියන්නෙ ඒ අතරිනුත් ගොඩක් සුවිශේෂී තාරකාවක්. ඇය නිරූපිකාවක්, නිළියක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒත් ඇය ගැන සාධාරණම පැහැදිලි කිරීම තමයි උර්ෆි ජාවේඩ් සමාජ මාධ්‍ය පෞරුෂයක් බව සඳහන් කිරීම.

උර්ෆි ජනප්‍රිය වෙන්න හේතුව තමයි ඇගේ එකී උමතු අමුතු විලාසිතාකරණය. මේ විලාසිතා කරන එක කොතරම් උමතු අමුතු එකක්ද කියනවනම් අවස්ථා කිහිපයකදී ඇයව පොලිස් අත්අඩංගුවට පවා පත් වී තිබෙනවා. ඉන්දියාවේ ජනප්‍රිය නිළියක් තරමටම, ඇය ගැනත් විශාල අවධානයක් තිබෙනවා ඇගේ රසිකයන් තුළ.

උර්ෆි ජාවේඩ්ගේ ඉන්ස්ටග්‍රූම් ගිණුමේ ඉන්නවා අනුගාමිකයෝ මිලියන හතරකට වඩා වැඩි පිරිසක්. උර්ෆිගේ ඇඳුම් වගේම උමතු අමුතු හැසිරීමුත් නිසා සැලකිය යුතු තරම් විවේචකයන් පිරිසකුත් ඇය වටා ඉන්නවා. කොහොම නමුත් ඇයව අගය කරන, ඇය ගැන සොයා බලන විශාල පිරිසකුත් උර්ෆි සමඟ ඉන්න බව කියන්න ඕනෑ.

බොහෝ දෙනාගේ අවධානය දිනාගත්ත මේ තරුණියගේ වර්තමාන කතාව වගේම අතීත කතාවත් බොහොම වැදගත් එකක්. උර්ෆි ජාවේඩ් උපත ලබන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි ලක්නව්වල. වර්තමානයේ ඇගේ වයස අවුරුදු 27 ක්. ඇය මුස්ලිම් පවුලක දියණියක්. ඇගේ දෙමව්පියන් වුණේ ඉෆ්රු ජාවෙඩ් සහ සාකියා සුල්තානා. සැබෑවටම ඔවුන් මුස්ලිම් පවුලක්. 

උර්ෆිගේ පියා ටිකක් අගතිගාමී අදහස්වල හිටපු කෙනෙක් බව තමා කියැවෙන්නෙ. ඒ නිසාම ඔහු උර්ෆි ඇතුළු දරුවන්වත් බිරිඳවත් ශාරීරික වගේම මානසිකවත් හිංසනයට පත් කරලා තියෙනවා. පුංචි කාලේ ඉඳන්ම උර්ෆි වෙනස් විදියට අඳින්න පළඳින්න කැමති වීම, ඇයව මේ පවුල ඇතුළේ පීඩාවට පත්වෙන්න ලොකු හේතුවක් වුණු බව පැහැදිලියි.

ලක්නව්වල පාසල් අධ්‍යාපනය අවසන් කරපු උර්ෆි ජාවේඩ්ට අවශ්‍ය වෙනවා ලක්නව් හි ඇමිටි විශ්වවිද්‍යාලයෙන් ජන සන්නිවේදනය පිළිබඳ උපාධියක් හදාරන්න. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන කාලෙදි කවුරුන් හෝ ඇගේ ඡායාරූපයක් වැඩිහිටි වෙබ් අඩවියකට ඇතුළු කර තිබෙනවා. මේ නිසාම ඇගේ පියාගේ හිරිහැර තවත් දරුණු අතට පත්වුණු බව තමා කියැවෙන්නෙ. අවසානෙදි ඇය තීරණය කරනවා තම සහෝදරයන් සමඟ පිට වී යන්න.

උර්ෆි මුල් අවධියේ බොහොම සටන්කාමී ජීවිතයක් තමා ගත කරලා තියෙන්නේ. ඇය විවිධ රුකියාවල නිරත වෙලා තියෙනවා. තමන්ගේ සහෝදරයන්ව ජීවත් කරන්න ඇය එක් අවස්ථාවකදි ඇමතුම් මධ්‍යස්ථාන සේවිකාවක් විදියටත් කටයුතු කරලා තියෙනවා. අවසානයේ ඇය මුම්බායි වෙත එන්නේ රංගන ශිල්පිනියක් වීමේ ඇගේ සිහිනය සැබෑ කර ගන්න. 

මුම්බායිවලට ආවට පස්සේ  විලාසිතා නිර්මාණ ශිල්පිනියකගේ සහායිකාවක් ලෙස සේවය කරන්න උර්ෆිට අවස්ථාවක් ලැබුණා. පසුව නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන මේ තරුණිය, ක්‍රීඩා තරග, ධාවන තරග නිරූපිකාවක් විදියට කටයුතු කරන්න පටන් අරගෙන තියෙනවා. රූපවාහිනී වැඩසටහන් සඳහා එකතු වෙන්න ඇය මේ කාලෙදි දරා තිබෙන්නේ ලොකු  උත්සාහයක්. අවසානයේදී, 2015 දී, “ටෙඩි මෙඩි ෆැමිලි" නම් සුප්‍රසිද්ධ වැඩසටහන සමඟ ඇගේ පළමු රූපවාහිනී පිවිසීමට ඇයට අවස්ථාවක් ලැබුණා.

2016 න් පසුව විවිධ අවස්ථාවල රූපවාහිනියේ කුඩා චරිත නිරූපණය කරන්න අවකාශය උදා වුණා. විවිධ නාලිකාවල විවිධ ටෙලිනාට්‍ය සහ නිර්මාණ සඳහා ක්‍රමයෙන් දායක වෙමින් නිරූපිකාවක් සහ නිළියක් විදිහට උර්ෆි කරළියට ආවා. Big Boss OTT හි පළමු සීසන් එකට සම්බන්ධ වීමේ අවස්ථාව ලැබීමත් එක්ක ඇය තවත් ජනප්‍රිය වුණු බව තමා කියැවෙන්නේ. මෙම වැඩසටහනට එක්වෙමින් ඇය ඇඳ සිටියේ කුණු බැහැර කරන බෑග්වලින් හදපු ඇඳුමක්.

2023 දී රූපගත කිරීමක් අතරතුරදී එක්සත් අරාබි රාජ්‍යයේදී ඇගේ ඇඳුම් නිසා ඇයව අත්අඩංගුවට පත්වීමත් විශාල කැළඹීමක් ඇතිකළ සිදුවීමක්. එමෙන්ම භාරතීය ජනතා පක්ෂයේ දේශපාලකයකුගේ පැමිණිල්ලක් මත ඇයව මුම්බායි පොලිසිය වෙත ගෙනල්ලා ප්‍රශ්න කරපු අවස්ථාවකුත් සමාජ මාධ්‍යයේ විශාල අවධානයක් දිනා ගත්තා. මෙහිදී ඇයට එල්ලවෙලා තිබුණු චෝදනාව ප්‍රසිද්ධියේ නිරුවතින් පෙනී සිටීම. 

ඒ වගේම මෑත කාලීනව උර්ෆි සමාජ මාධ්‍යවල අවස්ථා කිහිපයකදීම දැඩි ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වන ගැටුම් සහ සිදුවීම්වල පැටළුණා. එක්තරා අවස්ථාවකදී අධ්‍යක්ෂකවරයෙක් ඇයට දරුණු විදිහට චෝදනා කරලා තිබුණා. තවත් අවස්ථාවකදී රූපවාහිනී වැඩසටහනකදී ගැටුමක් ඇති කරගෙන තිබුණා. මේ දේවල් එක්ක තමයි බොහෝ දෙනා ඇය ගැන අවධානය යොමු කරන්න පටන් ගත්තේ.

කොහොම නමුත් ගතානුගතික මුස්ලිම් පවුලක හැදී වැඩුණද, ජාවේඩ් දැන් ආගම ගැන කියන්නෙ වෙනස්ම කතාවක්.

 “මම ඉස්ලාමය විශ්වාස නොකරන අතර මම කිසිම ආගමක් අනුගමනය නොකරමි" 
ඒ වගේම ඇය වතාවක් කියලා තිබුණා ඇය කිසිම දවසක මුස්ලිම් ජාතිකයෙකු සමඟ විවාහ වෙන්නේ නැහැ කියලා. තවත් වතාවකදී ඇය සඳහන් කරලා තිබුණ ඇය භාගවත් ගීතාව කියවමින් ඉන්න බවක්. මේ නිසාම උර්ෆි පවුල තුළින් සහ ආගමිකව දැඩිව පීඩාවට පත්වුණු චරිතයක් බව අපිට පැහැදිලි වෙනවා.

2022 දී, ඇය සමාජ මාධ්‍ය තුළ Urfi Javed කියන නම Uorfi ලෙස වෙනස් කළා. ඇයගේ නව නමෙන් ඇයව අමතන ලෙස රසිකයන්ට යෝජනා කළා.

උර්ෆි ජාවේඩ්ගේ විලාසිතාකරණය ඉන්දියාවේ විතරක් නෙවෙයි, මුළු ලෝකෙම පිස්සු වට්ටලා තියෙන්නේ. පසුගිය කාලයේ හොලිවුඩයේ පැවතුණු අතිශය ජනප්‍රිය විලාසිතා දැක්මවල වගේම විලාසිතා ප්‍රදර්ශනය කරන සම්මාන රාත්‍රීන්වල උර්ෆි ජාවේඩ්ගේ විලාසිතාවන්ට හුරු ඇඳුම් ආයිත්තම් දැකගන්න ලැබුණු බව ඇගේ රසිකයෝ සඳහන් කරලා තිබුණා. කොහොම වුණත් ඔවුන් කිව්වේ මේ වගේ විලාසිතා කාලයක් තිස්සේ තිබුණු බව සහ උර්ෆි ජාවේඩ් නිසා මේ විලාසිතාවලට විශාල අවධානයක් මේ වන විට ලෝකයේ යොමු වී ඇති බවක්.

•  චමිඳු නිසල්

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00