2024 ජුනි 15 වන සෙනසුරාදා

සිල්වේරලා ඉන්නවාද ලංකාවේ... එහෙනම් මට කතා කරන්ටෝ...

 2024 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 64

ලංකාවට ආපු අලුත් Travelers ලා දෙන්නෙක් කොළඹ ගැන කිව්ව කතාවක් තමයි අද අපි බලන්න යන්නේ. ඉංග්‍රීසි සහ බ්‍රසීලියානු සම්භවයක් තියෙන මේ දෙන්නා කපල් එකක්. 
“මේ අපි ලංකාවට ආපු දෙවැනි පාර. ඒත් කොළඹ සංචාරය කරන පළවෙනි වතාව. අපි බලමු කොළඹ නගරය ගැන."

මෙහෙම කතාව පටන් ගත්ත මේ දෙන්නගේ නම් ක්‍රිස් සහ කැරොල්. මෙයාලා පූර්ණකාලීන සංචාරකයන්. 2019 ඉඳලා මෙයාලා ලෝකෙ වටේ තැන් තැන්වල ඇවිදිනවා. ලෝකෙ වටේ තැන් තැන්වල ගැවසෙන නිසා YouTube Chanel එකට නම දාලා තියෙන්නෙත් Jumping Pleases කියලා.

“මෙහෙ ගොඩක් ගොඩනැගි‍ලි තියෙනවා පෘතුගීසි ලන්දේසි ලක්ෂණ තියෙන. අර බලන්න අර ගොඩනැගිලි ටික."
ලන්දේසි රෝහල ඇතුළු තවත් ගොඩනැගිලි දිහා බලාගෙන මේ අය පුදුමෙන් වගේ කිව්වා.



“ලංකාවේ පෘතුගීසි වාසගම් තියෙන ගොඩක් දෙනෙක් ඉන්නවා. අපි හෝටලයට ඇතුළු වුණාට පස්සේ අපේ නම් දැකලා හොටෙල් එකෙන් කිව්වා, අල්මේදා, පෙරේරා වගේම සිල්වලාත් ගොඩක් ලංකාවේ ඉන්නවා කියලා. බ්‍රසීලයෙත් ඒ නම් ගොඩක් දැකගන්න ලැබෙනවා."

“මගේ නම සිල්වේරා. ලංකාවේ ඒ නම තියෙන අය ඉන්නවනම් පොඩ්ඩක් කමෙන්ට් කරන්න."

නම් ගැන වගේම යටත් විජිතකරණය ගැනත් මේ කොල්ලෝ ටිකක් කතා කළා. විශේෂයෙන්ම පෘතුගීසි ලන්දේසි යටත් විජිත ලෝකය පුරා පිහිටලා තිබුණු ආකාරය සිතියමක් ආකාරයෙන් පැහැදිලි කරන්නත් මේ දෙන්නා කටයුතු කරලා තිබුණා. බ්‍රසීලය සහ ශ්‍රී ලංකාව පෘතුගීසි යටත් විජිත වුණු නිසාදෝ කොහෙද මෙයාලා ලංකාවේ යටත් විජිත යුගය ගැන ටිකක් වැඩි අවධානයක් යොමු කළා.

මේ කතාන්දරවලින් පස්සේ ක්‍රිස් සහ කැරොල් ගෝල්ෆේස් එක අවට සැරිසරන්න ගියා.

“ආ මෙන්න තියෙනවා තවත් අමුතු ගොඩනැගිල්ලක්. මේක ලංකාවේ පරණ පාර්ලිමේන්තුව. ආ හරියට වයිට් හවුස් එක වගේ. කොහොම වුණත් ලංකාවේ පාර්ලිමේන්තුව දැන් කොහේ හරි වෙන තැනකට ගෙනිහිල්ලා." 

මේ දෙන්නා ගොඩක් දේවල් අන්තර්ජාලය ඇසුරෙන් හොයලා දැනගන්න දෙන්නෙක් වෙන්න ඕනෑ. මේ ගොඩනැගිල්ල වර්තමානයේ භාවිත වෙන්නේ මොකක් වෙනුවෙන්ද වගේ දේවලුත් මේගොල්ලෝ හොයාගෙන තිබුණා. 
ගෝල්ෆේස් එක කිට්ටුව කෙටි වෙරළ තීරය දැකලා මෙයාලා මේ වගේ පැහැදිලි කිරීමක් තමා කළේ.

“මේ වෙරළ තීරය හරිම පොඩියි. ඇත්තටම කොළඹ වෙරළ එච්චර හොඳ නෑ. අපි සොයාගෙන යනවා ලස්සන වෙරළවල්. දිගටම අපිත් එක්ක රුඳී ඉන්න. ඇත්තටම අපි ලංකාවට ආවේ වෙරළකරේ නිවාඩුවක් ගත කරන්න බලාපොරොත්තුවෙන්."
මේ අය පැරණි ගොඩනැගිලි ගැන විතරක් නෙවෙයි, ලංකාවේ අලුතින් ඉදිවෙලා තියෙන ගොඩනැගිලි ගැනත් අවධානයක් දුන්නා.


“මෙන්න තියෙනවා අලුත් ගොඩනැගිලි. ෂැන්ග්‍රිලා හෝටලය වගේම ෂොපින් මෝල් එකක්, ලස්සන නවීන ගොඩනැගිලි තියෙනවා."
අලුත් වුණු කොළඹ දිහාත් බලන ගමන් මේගොල්ලො ආවා ගෝල්ෆේස් පිටියේ ශ්‍රී ලංකා ධජය ළඟට.



“මේ බලන්න ඇමර්සින් ශ්‍රී ලංකන් ෆ්ලැග් එක. බොහෝ දුරට මම දැකපු කූල්ම ෆ්ලැග් එකක් මේක. අර ඉන්නේ සිංහයෙක්ද මකරෙක්ද?”

කොහොම හරි පස්සේ එතැන අඹලා තිබුණු සිංහයාව දැක්කට පස්සේ තමයි මැද ඉන්න සතාව හරියටම මෙයාලට හඳුනගන්න පුළුවන් වුණේ. ඒ අතර කාලතුවක්කුව යට නිදාගෙන ඉන්න බල්ලො ගැනත් මේ දෙන්න කතා කළා.
මේ දෙන්නා ඊට පස්සේ ගියේ වන් ගෝල්ෆේස් ෂොපින් මෝල් එකට. ඒකෙ අසිරිය නරඹන ගමන්, හිරැ කිරණෙන් ආරක්ෂා වෙන්න ක්‍රීම්, ඇලජික්වලට ගන්න බෙහෙත් වගේම ශ්‍රී ලංකාවේ ජින්ජර් බියර් සහ පොඩි පොඩි දේවල් ටිකක් අරගන්න මෙයාලා අමතක කළේ නෑ.  ඊට පස්සේ දෙන්නත් එක්ක පාරට ඇවිල්ලා ත්‍රීවිල් එකක් අල්ලගත්තා.

“ඔන්න දැන් අපි ආවේ ගංගාරාම පාක් එක ගාවට. මෙතැනට එන්න රැපියල් 500ක් ගත්තා. මම හිතන්නෙ ඊට වඩා අඩු වෙන්න පුළුවන්. පන්සියයක් කියලා කිව්වේ මම එයාට දුන්න ටිප් එක එක්ක."
ඒගොල්ලෝ බේරේ මැද තියෙන විහාරයට තමයි මුලින්ම ගියේ. දවල් වෙලා හින්දා එතැන තිබුණු ගල්වලට කකුලුත් ටිකක් පිච්චුණා. 

“ලංකාවේ වැඩිපුර ඉන්නේ බෞද්ධයන්. ජනගහනයෙන් සීයට හැත්තෑවක් විතර බෞද්ධ. ඊළඟට ඉන්නේ හින්දු අය."

මෙතැනින් පස්සේ ලංකාවට වීසා ගැනීම සහ සංචාරය කිරීම වගේ කාරණා පිළිබඳ පැහැදිලි කර කර මේගොල්ලෝ ආවේ ගංගාරාමය ප්‍රධාන විහාරය ළඟට.

“ඕ... මේක ප්‍රධාන විහාරය. ඇත්තටම මේක ලොකු විහාර සංකීර්ණයක්. ඔන්න අපි සපත්තු ගලවලා ඇතුළු වෙනවා. රත්තරන් පාට පිළිම, අන්න අලියෙකුත් ඉන්නවා. මතකයි ගිය වතාවේ අපි අලි බලන්න සෆාරිගේ ගිය හැටි."
පන්සලේ තියෙන පෙනුම සහ ජපානේ තායිලන්තය වගේ රටවල්වල තියෙන විහාරස්ථානවල ස්වරෑපය ගැන මේගොල්ලෝ කතාබහ කරන්න අමතක කළේ නෑ. 

විශේෂත්වය තමයි මෙයාලා ගොඩක් වෙලාවට තමන් ඇවිදින තැන්වල තිබෙන දේවල් හොඳට වීඩියෝ කරලා අනිත් අයට නරඹන්න අවස්ථාව ලබා දෙන එක. ඉතින් ගංගාරාමේ කොටස් ද්විත්වයේම පිළිම සහ විවිධ ගෘහ නිර්මාණ හොඳින් වීඩියෝ ගත කරලා මෙයාලා ලෝකෙට ප්‍රදර්ශනය කළා.

ඉතින් මේ යුවළ ගංගාරාමේ පැත්තෙන් ආවේ නැවතත් කොළඹ කොටුවට. කොළඹ කොටුවේ පළවෙනි හරස් වීදිය ඇතුළු වීදි දිගේ මේගොල්ලෝ සංචාරය කරන්න පටන් ගත්තා. ඉතින් මේ විදිහට කොළඹ තව තැන් කිහිපයකටම ගිහිල්ලා කාලා බීලා තමා මේගොල්ලෝ ගමන අහවර කළේ.

• චමිඳු