2024 ජුනි 15 වන සෙනසුරාදා

අනම්-මනම් ආතල් ’’ඉල්ලේ’’ පට්ට ඈ

 2024 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 12

ඔන්න මචෝ අපි අරගෙන ආවා සිරාවටම අපේ අලුත් පරම්පරාවට වැදගත් වෙන Y Trend එකක්. අපේ සුදාලා මේ වෙනකොටත් දන්න Social media සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ අතර LinkedIn කියන Platform එක ගැනත් සුදාලා අහලා ඇති. සිරාවටම මේක අනිත් Social Media Platform වලට වඩා සෑහෙන්න වෙනස් සීන් කෝන් එකක්. 

දැනටමත් සුදෝ ඔයා රස්සාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. පිළිගත් වෘත්තිකයෙක් වෙන්නත් පුළුවන්. නැත්නම් රස්සාවක් හොයන කෙනෙක් වෙන්නත් පුළුවන්. නැත්නම් රස්සාවකට කෙනෙක්ව ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ආයතනයක හිමිකරුවෙක් වෙන්නත් පුළුවන්. එහෙනම් ඔයාගෙන් අපිට තියෙනවා අහන්න ප්‍රශ්නයක්.

“මචෝ ඔයාට තියෙනවද LinkedIn Profile එකක්?"

මේ වෙනකොට අලුත් පරම්පරාවේ සමහර අයට එහෙම Profile එකක් තියෙනවා. ඒත් තාමත් මේ සීන් කෝන් ගැන එච්චර නොදන්න අයත් ලංකාවේ සෑහෙන්න ඉන්නවා. ඒ නිසාම වැඩි දෙනෙකුගේ පිළිතුර වෙන්නේ "නැහැ" කියන එක.
මේ දන්නැති අයගේ දැනගැනීම සඳහා මේ ටික කියන්නම ඕනෑ. LinkedIn කියලා කියන්නෙ තවත් සමාජ ජාලයක්. හැබැයි LinkedIn ඕපදූප හොයන්න, ආතල් ගන්න, අනම් මනම් පිස්සු සීන් සෑහෙන්න තියෙන සමාජ ජාලයක් නෙවෙයි. මේක වෘත්තීමය ගනුදෙනු සඳහා වඩාත් උචිත විදිහට පවත්වාගෙන යන සමාජ මාධ්‍ය වේදිකාවක්. අලුත් රැකියාවක් හොයාගන්න, වෘත්තීමය ප්‍රතිරෑපය දියුණු කරගන්න වගේම තමන්ගේ වෘත්තිය ක්ෂේත්‍රයට අදාළ දැනුම වැඩිදියුණු කරගන්නත්, සබඳතා තර කර ගන්නත් LinkedIn සුපිරිම Platform එකක්.

හැබැයි මචෝ මේක අදක ඊයෙක පටන් ගත්ත සීන් කෝන් එකක් නම් නෙවෙයි. මේ සීන් කෝන් එකේ ආරම්භය 2003 තරම් ඈත කාලයට දිව යනවා. මේ වැඩසටහන දියත් කිරීමේ ගෞරවය හිමිවෙන්නේ රීඩ් හොෆ්මන් සහ එරික් ලයි කියන දෙදෙනාට. කොහොම නමුත් 2016 න් පස්සේ LinkedIn, Microsoft හි පූර්ණ අනුබද්ධිත ආයතනය විදිහට තමා කටයුතු කරන්නෙ. මේ සමාජ මාධ්‍ය වේදිකාව හරහා සිදුකෙරෙන කාර්යය පිළිබඳ එයාලගේ වචනවලින්ම පැහැදිලි කළොත්, මෙතැන සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ වැඩක්.

“මූලික වශයෙන් වෘත්තීය ජාලකරණය සහ වෘත්තීය සංවර්ධනය සඳහා භාවිත කරන අතර, රැකියා අපේක්ෂකයන්ට ඔවුන්ගේ CV සහ සේවායෝජකයන්ට රැකියා පළ කිරීමට ඉඩ ලබා දෙයි."

මෙහි අන්තර්ගත වන තොරතුරු සඳහා ප්‍රවේශ වීමට විවිධ ආයතනවලට අවස්ථාව සලසා දෙමින් තමයි මෙයාලා එතැන ලාභ උපයලා තිබුණේ. දැන් නම් තව තවත් ක්‍රම මෙයාලා ලාභ ඉපයීම සඳහා භාවිත කරනවා. රටවල් සහ ගෝලීය ප්‍රදේශ දෙසීයක විතර මෙම සමාජ මාධ්‍ය පැතිරිලා තියෙන අතර බිලියනයකට අධික පරිශීලකයන් සංඛ්‍යාවක් මේකට ඉන්න බව තමා කියැවෙන්නෙ.

මුල් කාලයේ ලංකාව වගේ රටවල්වල ගොඩක් දෙනෙක් මේ ගැන එතරම් ලොකු උනන්දුවක් දැක්වුවේ නෑ. ඒත් සුදෝ දැන් වෙනකොට මේක පට්ට Trend එකක් වෙලා තියෙනවා. රැකියා හොයාගන්න, නව සබඳතා ඇතිකර ගන්න ලංකාවේ ගොඩක් තරුණ තරුණියෝ මේ සමාජ මාධ්‍ය වේදිකාව භාවිත කරන්න පටන් අරගෙන. ඒ නිසාම ලංකාවේ පෞද්ගලික ව්‍යාපාරත් සෑහෙන්න ප්‍රමාණයක් මේ සමාජ මාධ්‍ය වේදිකාව ඇතුළේ ක්‍රියාකාරියි. තමන්ගේ දක්ෂතාවලට හරියන්න විදෙස් රැකියා වුණත් මෙහිදී හොයාගන්න පුළුවන්. ඒ වගේම ඔයා දක්ෂයෙක් නම් ඔයාව හොයාගෙන ආයතන ඔයා ළඟට එන්නත් පුළුවන්.

සාමාන්‍යයෙන් අපි භාවිත කරන Facebook වලට ටිකක් සමාන මුහුණතක් තමයි LinkedIn වල තියෙන්නෙ. මේක ඇතුළෙත් මුහුණුපොතේ වගේම යාළු මිත්‍රකම් ඇති කරගන්න පුළුවන්. හැබැයි ඒකට වෘත්තිමය සමානකම් වැනි දේවල් අදාළ වෙනවා. පොදුවේ අපි සුදාලට පැහැදිලි කරන්න ඕනෑ මේ Platform එකෙන් ඔයාලට තියෙන වාසි මොනවද කියන කාරණය. 

ඔයාලා සාමාන්‍යයෙන් Facebook Account එකක අයිතිකාරයා ගැන අවබෝධයක් ලබා ගන්නවා. ඒක බොහෝ විට මූලික අදහසක් වගේම, එය තමාව ප්‍රදර්ශනය කරන්න දරන උත්සාහයක ප්‍රතිඵලයක්. ඒත් LinkedIn Account  එකක් බලලා කෙනෙක්ට ඒකෙ අයිතිකාරයාගේ වෘත්තිමය ස්වභාවය, පළපුරුද්ද, විශේෂ දක්ෂතා වගේ දේවල් ගැන හොඳ අදහසක් ගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා.

සුදාලා දන්නවා අපි කොහේ හරි අලුත් රැකියාවකට යනවනම් අනිවාර්යයෙන්ම අපෙන් ඉල්ලන දේ තමයි ජීව දත්ත තොරතුරු වාර්තාවක්, නැත්නම් සරලව කිව්වොත් CV එකක්. ඒත් මේ වෙනකොට ලෝකෙ ගොඩක් ආයතන CV වෙනුවට LinkedIn Profile එකක් තොරතුරු ලබාගැනීම සඳහා භාවිත කරනවා. 

අපේ සුදාලටත් LinkedIn Account එකක් හදලා ඒකට තමන්ගේ ජීව දත්ත සටහනේ තියෙන විස්තර එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ අධ්‍යාපනික සහ වෘත්තිය දැනුම් මට්ටම, වෘත්තිය නිපුණතාවයන්, වෘත්තිය පළපුරුද්ද, විශේෂ දක්ෂතාවයන් සහ කුසලතාවයන් වගේ දේවල් මේකට එකතු කරන්න පුළුවන්. ඒ විතරකුත් නෙවෙයි, මෙතෙක් සේවය කරපු තැන්වල විස්තර එක්ක තමන්ට පැවරිලා තිබුණු වගකීම් ගැන එහෙමත් මෙතැන සවිස්තරව මේ Profile එකට තොරතුරු ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවා.


ඉතින් මචෝ නව රැකියා අවස්ථා ලබාගන්න, රැකියා අවස්ථා සඳහා ආරාධනා ලබාගන්න වගේම ඔබ දැන් කරන රැකියාවේ ඔබේ තත්ත්වය ඉහළ යන්නත් මේ විදියේ සවිස්තරාත්මක LinkedIn Profile ලොකු උදව්වක් වන බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ.

අනම් මනම් ආතල් දස ලක්ෂ ගාණක් තියෙන සමාජ මාධ්‍ය ලෝකය ඇතුළේ ඉන්න ඔයාලා, LinkedIn වලට තාමත් ඇතුළු වෙලා නැත්නම් ඒක කනගාටුවට කාරණාවක්. ඇත්තටම ඔයාට ප්‍රයෝජනයක් ලබාගන්න පුළුවන් සමාජ මාධ්‍ය වේදිකාවක් තමයි මේක. ඒ නිසාම පිස්සු ආතල් අරගන්න ආතරේ මේ පැත්තට ගොඩවෙලා තමන්ගේ ප්‍රතිරෑපය හදාගන්නත් අමතක කරන්න එපා. 

• චමිඳු