2024 ජුනි 15 වන සෙනසුරාදා

අංශුමාත්‍රික කඳුළ ඇස් අස්සෙ රුවාගෙන - මම හැඬුවේ පෙම්බරා නුඹටවත් නොදැනෙන්න

 2024 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 31

සංසාර වීදි දිග ඇවිද ගිය මතකයක්
හදවතේ නිම්නයක හැංගිලා සීරුවෙන්
හීනෙනුත් නුඹ සොයන සීතලම මැදියමක
තුරැල් වී පපුවටම හදගැස්ම දැනෙන්නට...

පෙම්බරා දැනෙනවද හද ගැහෙන රිද්මයට
මගෙ සුසුම් පවන් වී මුමුණනා සඳ ගීත
අංශුමාත්‍රික කඳුළ ඇස් අස්සෙ වාගෙන
මම හැඬුවේ පෙම්බරා නුඹටවත් නොදැනෙන්න

ගිරි දුර්ග ගෙවා ඇති සංසාරෙ මහ දුරක්
රිදුණු දෙපතුල් පතුලේ කටු තාම රිදුම් දෙයි
ප්‍රේමයේ ගීතිකා පල්ලියේ ඇසෙද්දී
සොහොන් බිම නුඹ එක්ක ඇවිදින්න ඇති මාත්

මතක මනරම් සොඳුර ආදරය වෑහෙද්දි
කඳුළු වුව කම් නැතේ නුඹ නමින් වැගිරෙද්දි
පෙම්බරා නුඹ නේන හීන මොටදැයි සි‌තේ
දන්නවද ආදරය විතරමයි ඉල්ලුවේ

• සංජු