2024 ජුනි 22 වන සෙනසුරාදා

පිලේ පැදුර හේනට අරගෙන යනවා අහලා ලංකාව සොයා ආ මහාචාර්යවරයා

 2024 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 174

ජීවිතය කොතරම් අරුමැසිද? අහම්බයන් මෙතරම් සොඳුරු විය හැකිද? ගැරට් ෆීල්ඩ් (Garrett Field) නම් අපූරු ඇමෙරිකානුවාගේ කතාව අසන්නෙකුට එලෙස සිතෙනු නිසැකය. හෙළ බස මනා කොට හසුරුවන මේ අපූරු ඇමෙරිකානුවා හෙළ ගී ගයන්නේ ප්‍රේමණීය ස්වරයෙනි.

ඔහු ඉංග්‍රීසි සිංහල වචන දෙමුහුන් ලෙස භාවිත කරමින් හෙළ බස හසුරවන විදේශිකයකු  නොවේ. ගැරට් අප භාෂා රීතියෙන් ද මනා කොට පිළිපදිමින් පැහැදිලිව හෙළ බස වහරන අයුරු බලා සිටීම පවා මනරම්ය. එපමණක් ද නොව මේ අපූරු මිනිසාගේ ගැයුම් මධුරය, මනෝහරය. ඔහු සිය ගැයුම් මත තම ශාස්ත්‍රීය අධ්‍යයනයන්ගෙන් ලද දැනුම තවරා ඇති සෙයකි.

ගැරට් ෆීල්ඩ් වර්තමානයේ ඇමෙරිකාවේ ඔහායෝ විශ්වවිද්‍යාලයේ සංගීත අංශයේ  සහායක මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටී. ගැරට් සුදු සම ඇති හෙළයකු වන්නට හේතු වී ඇත්තේ ද විශ්වීය භාෂාවක් වූ මනෝරම්‍ය සංගීතයයි. තමන්ගේ ආචාර්ය උපාධිය සඳහා මාතෘකාවක් තෝරමින් සිටි මේ අපූරු ඇමෙරිකානුවාට අසන්නට ලැබෙන්නේ අපූරු සිංහල ගීයකි.

පිලේ පැදුර හේනට අරගෙන යනවා
එලා පැදුර එහි මැස්සේ සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහිවෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා

මේ ගීයේ වචන, සංගීතය, සත් සමුදුරු තරණය කර අප කොදෙව්ව සොයා ඒමට ඔහුට නිමිත්ත සැපයුවේය. සිංහල භාෂාව පිළිබඳව සහ සිංහල ගීතය පිළිබඳව ඉංග්‍රීසි බසින් ලියැවුණු පොතපත විරල වීම ඇමෙරිකාවේදී සිය 
පර් යේෂණ සිදුකිරීමට බාධාවක් වන බව ගැරට්ට වැටහී ගියේය. හෙළ බස පිළිබඳව සහ සිංහල සංගීතය පිළිබඳව ඇතිවූ කුහුලෙන්ම ශිෂ්‍යත්වයක් ද ලබා ගැරට් ෆීල්ඩ් ශ්‍රී ලංකාවට පැමිණියේය.

2009 වසරේ මාස තුනක කාලයක් පුරාවට චාන්දනී තිලකරත්න මහත්මිය යටතේ ගැරට් ෆීල්ඩ් හෙළ බස උගත්තේය. ආචාර්ය උපාධියේ පර්‌ යේෂණ කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ තැටි ගබඩාව, ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව ආදී ස්ථාන වෙත නිතර යාමට ඒමටද ගැරට් පුරුදු විය. ක්‍රමයෙන් අප බස මනා ලෙස උගත් ගැරට් මෙරට පොතපත මෙන්ම සංගීතය ද ඉතා ගැඹුරින් පරිශීලනය කිරීමට පෙළඹී තිබේ. ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත පිළිබඳව මෙන්ම හෙළ හවුල පිළිබඳව ද මේ අපූරු ඇමෙරිකානුවා ශාස්ත්‍රීය අධ්‍යයනයක නිරත විය. හෙළ හවුලේ හුදු හෙළ වහරින් ලියැවුණු පතපොත පවා ඔහුගේ අධ්‍යයනයට බඳුන් වීම මවිතය දනවන සුළුය. කොතරම් අභියෝග පැමිණිය ද කුමාරතුංග මුනිදාසයන් වැනි පඬිවරුන්ගේ පතපොත පරිශීලනය කිරීමට ගැරට් කටයුතු කර ඇත්තේ ඉතා සතුටිනි. මෙරට සංගීතය පිළිබඳ අධ්‍යයනය කරන පිරිස් පවා නොයන තරම් ගැඹුරකට සිය අධ්‍යයනය මෙහෙයවීමට මේ අපූරු ඇමෙරිකානුවා කටයුතු කර තිබේ. වරක් ගුවන්විදුලි තැටි ගබඩාවේදී චන්ද්‍රරත්න මානවසිංහයන් ලියූ "මනෝහරී" ගීත නාටකය සුනිල් ආරියරත්නයන්ගේ කෘතියේ සඳහන් ගී පද සමඟ ගලපා ඇසීමට ගැරට්ට අවකාශය උදා වී ඇත. එය සිය අධ්‍යයන චාරිකාව තුළ තමා වශීකෘත වූ අවස්ථාවක් ලෙස ගැරට් ෆීල්ඩ් සලකුණු කොට තබන්නේ අප හැම මවිත කරමිනි.

මේ සොඳුරු ඇමෙරිකානුවා සහ ශ්‍රී ලංකාව අතර පවතින බැඳීම දෛවෝපගත අහම්බයක් නොවන බව පැහැදිලි වන තවත් අපූරු වසරක් වූයේ 2012 වසරයි. එක්තරා වැඩමුළුවකට සහභාගි වූ අවස්ථාවකදී මවක සහ දියණියක ගැරට්ට මුණගැසුණි. පැටව් ලැබීමට සිටින පූසියකු දුටු ගැරට් "අනේ පව් ඒ පූසිට පැටව් ලැබෙන්න ඉන්නේ" කියා ඇත්තේ පැහැදිලි සිංහලෙනි. සුදු හම ඇති ඇමෙරිකානුවාගේ අපූරු භාෂා භාවිතය දුටු මවට පළමුව සිනහ පහළ වී තිබේ.

දිවා ආහාරය අතරතුරදී මෙම මව හා ගැරට් අතර සංවාදයට ඇගේ දියණිය ද හවුල් වී ඇත. ඇය නමින් නයෝමි ගුණසේකර විය. ඒ වන විටත් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුවේ කථිකාචාර්යවරියක ලෙස කටයුතු කරමින් සිටි නයෝමි, ගැරට් හා සංවාදයේ දී විමසා ඇත්තේ ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රිය කරන ආහාර පිළිබඳවයි.

“කන්න කැමති පොළොස් ඇඹුල. ඒත් මේ දවස්වල උයාගෙන කන්නෙ නම් ක්ෂණික නූඩ්ල්ස් තමා"

“අපේ ගෙදර නම් ඕනෑ තරම් පොළොස් තියෙනවා. දවසක එන්න අපේ අම්මා හදන පොළොස් ඇඹුල කාලා බලන්න"
“මම එන්නම්. හැබැයි මට ඉනාවක් කවන්න එපා"

එම වකවානුවේ කියවමින් සිටි ගම්පෙරළිය නවකතාවෙන් ඇසූ "ඉනාවක් කැවීම" පිළිබඳ කතාව මෙම සංවාදයට ගැරට් ගලපාගෙන තිබුණි. 

මෙම සංවාදය දෛවෝපගත ප්‍රේමයක ඇරඹුම සටහන් කළේය. 2013 වසරේ මෙම යුවළ විවාහප්‍රාප්ත විය. ආරම්භයේ පටන්ම ශ්‍රී ලාංකික තරුණියක හා විවාහ වීමේ අපේක්ෂාව තමා තුළ තිබූ බව ගැරට් ෆීල්ඩ් අද පිළිගනියි. 

ගැරට්ගේ පවුල පිළිබඳව ද මෙහිදී යමක් සඳහන් කළ යුතුය. ඔහුගේ මව පුවත්පත් මාධ්‍යවේදනයක ලෙස කටයුතු කර ඇති අතර පියා චර්ම රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකි. ගැරට් හට වැඩිමහල් සහෝදරයෙකු සහ නිවුන් සොහොයුරෙක් සිටී.ෆීල්ඩ් පවුල අධ්‍යාපනික ශාස්ත්‍රීය ලෝකය පිළිබඳව වැඩි නැඹුරුවක් දක්වා ඇති බව මෙම අපූරු චරිතය සහ ඔහුගේ පවුල පිළිබඳ සොයා බැලීමේදී පැහැදිලි වේ. ගැරට්ගේ සොයුරන් දෙදෙනාගෙන් එක් අයෙකු වර්තමානයේ වෛද්‍යවරයෙකු වන අතර අනෙකා ගුරුවරයෙකි. මේ වන විට නයෝමි ෆීල්ඩ් සමඟ එක්ව ගැරට් ෆීල්ඩ් ඇමෙරිකාවේ ඔහායෝ හි ගොඩනගා ඇත්තේ සොඳුරු කැදැල්ලකි. නයෝමි ෆීල්ඩ් මහත්මිය ද මේ වනවිට ඔහායෝ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ සහාය කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කරයි.

ෆීල්ඩ් දෙපළට ආදරණීය දියණියන් දෙදෙනෙක් සිටිති. මෙම පවුල අතර පවතින්නේ ආදරණීය බැඳීමක් බව ඔවුන්ගේ ඇවතුම් පැවතුම්වලින්ම අපට හැඟී යයි. ගැරට් සිය බිරිඳ හඳුන්වන්නේ "වූටි මැණිකේ" යන ආදරණීය ආමන්ත්‍රණයෙනි. දියණියන් දෙදෙනාටද පොඩි මැණිකේ සහ මුතු මැණිකේ ලෙස අමතන්නට ඔහු ප්‍රිය කරයි. වර්තමානයේ ඇමෙරිකාවේ වෙසෙන සිය දරුවන්ටද හෙළ බස ඉගැන්වීමට ගැරට් ෆීල්ඩ් අමතක කර නැත. වයස අවුරුදු පහක් පමණ වන වැඩිමහලු දියණිය අප බස හසුරුවන්නේ ඉතා දක්ෂ ලෙසය.

මිනිස් සන්තානයේ ඇති අපූර්වත්වය මනා කොට විදහා දක්වන ගැරට් ෆීල්ඩ්ගේ ජීවන පුවත පිළිබඳ තවත් ඔබ සමඟ බෙදාගැනීමට විස්තර බොහෝ අප සතු වේ. එහෙත් ඉඳුරාම ඊට ඉඩකඩ සීමිතය. එසේ හෙයින් සහෘද ළබැඳි සෙනෙහසක් හද රුවා ගැරට් ඇතුළු පවුලට ආශිංෂණ පිරිනමමින් අපි මෙම සටහන නිම කරමු.

• Harindra Jayalal යූටියුබ් නාලිකාවේ සංවාදයක් ඇසුරෙනි
• ඡායාරූප : අන්තර්ජාලයෙන්

• සටහන : චමිඳු නිසල් ද සිල්වා