BTS කියන අකුරු තුන ගැන නොදන්න කෙනෙක් දැන් ඉන්න විදිහක් නෑ. ලෝකයම උමතු කරපු කොරියානු සංගීත කණ්ඩායම BTS ගැන ඔන්න පහුගිය දවස්වල නැවත ලොකු කතාබහක් නිර්මාණය වුණා. හැමදාමත් වගේ මුළු ලෝකෙ පුරාම ඉන්න තරුණ තරුණියෝ Y Trend කරන සෙට් එකක් තමා BTS. ඒ නිසාම මේ අය පිළිබඳව අපිත් අද කතා කරන්න තීරණය කළා.
සුදාලා දන්නවා කොරියාවෙ තියෙන්නේ මහා අමුතු නීති. අනිවාර්ය හමුදා සේවය කියලා කියන්නේ ඔය නීති අතරින් පිස්සුම හැදෙන සීන් කෝන් එකක්. BTS ලෝකෙ අංක එකේ සුපිරිම Band එක වුණත්, ඒකේ සාමාජිකයන්ට මේ අනිවාර්ය හමුදා සේවය මඟහරින එක ලේසි නැහැ. ඔන්න පහුගිය කාලෙ මේ සීන් කෝන් එක නිසා පට්ට කතන්දර තොගයක් හැදුණා.
2018 දී BTS ලා ජාත්‍යන්තර වශයෙන් ලෝකයේ ලොකුම Boy Band එක බවට පත්වුණා. ඉතින් මචාලා දන්නවා මේගොල්ලන්ට පට්ට Fans Base එකක් තමා නිර්මාණය වුණේ. ඒකට කියන්නෙ BTS Army කියලා. කොරියාවේ විතරක් නෙවෙයි ලෝකෙ පුරා හැම රටකම මේකෙ සෙටාර් එක ඉන්නවා. සුදාලට මතක ඇති පහුගිය කාලෙ ලංකාවෙත් මේවා නිසා හරි හරි සීන් කෝන් වුණා. ලංකාවේ කෙල්ලෝ BTS Army එකට සහයෝගය පළ කරද්දී, බුකියේ මල්ටිබෙරොල් කාලතුවක්කු ප්‍රහාර වාර්තා වුණා. කාලෙකට කලින් අපි ඔය කතා ලාවට Y Trend වලින් ගැලපුවා.
කොහොම හරි ඒ කාලේ ඉඳන්ම තිබුණු ප්‍රශ්නයක් තමයි මේ කොරියාවෙ තියෙන නීතියට අනුව මේ ආතල් කොල්ලො සෙට් එක හමුදා පුහුණුවට යනවද කියන එක. BTS Army එකේ අය නම් කිව්වේ "අනේ මෙයාලව යවන්න එපා" කියලා. ඇත්තටම කොරියාවේ රජයටත් ප්‍රශ්නයක් තිබුණා මේ අයව යවනවද නැද්ද කියන කාරණාව සම්බන්ධව. මොකද ඒකට හේතුව තමයි ඒ වෙනකොට කොරියාවටත් වඩා, ලෝකේ BTS ලා ප්‍රසිද්ධ වෙලා හිටියේ. මෙයාලා රටට සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයකුත් විශාල කීර්තියකුත් රුගෙන ආපු සෙට් එකක් බවට කවුරුත් පිළිගෙන තිබුණා.
ප්‍රධාන මාධ්‍ය, සමාජ මාධ්‍ය, රසිකයෝ හැමෝම BTS ලගෙන් අහන්න පටන් ගත්තා ඔයාලා හමුදාවට යනවද කියලා. හැබැයි මේ සෙට් එක නම් කොයි වෙලාවකවත් කිව්වේ නෑ අපි හමුදාවට යන්නේ නැහැ කියලා. කොරියාවේ ඉන්න සල්ලිකාරයන්ගේ පුත්තු, ලොකු ලොකු Idols ලා ගොඩක් වෙලාවට උත්සාහ කළේම ඒක මඟහරින්න. මේ නිසාම කොරියාව ඇතුළේ ලොකු ප්‍රශ්න නිර්මාණය වෙලා තිබුණා.
අවුරුදු ගාණක් මේ වැඩේට ගියොතින් තමන්ගේ Brand එකට, නමට තියෙන වටිනාකම අඩුවෙන නිසා තමයි ගොඩක් අය මේ සීන් එක මඟහරින්න උත්සාහ කළේ. ඒ වගේම හමුදාවේදී මුහුණ පාන්න වෙන දුෂ්කරතා පිළිබඳවත් ගොඩක් අය බය වුණා.
හැබැයි මේ කොල්ලෝ හත්දෙනා මුල ඉඳලම හිතුවෙ වෙනස් විදිහට.
“අපි කොරියාවේ සාමාන්‍ය කොල්ලො හත්දෙනෙක්. ඒ නිසා අපි හමුදාවට යනවා"
ලෝකෙම පිස්සු වට්ටපු මේ කොල්ලෝ සෙට් එක නිතරම එහෙම කිය කියා හිටියා. හැබැයි ඉතින් තීරණය ගන්න ආණ්ඩුවත් ටිකක් කල් මැරුවා. ඔන්න අවසානෙදි 2023 දී තමා සීන් එක පත්තු වුණේ. මේ සෙට් එකේ ලොකු අයියා Jin මල්ලිලා සෙට් එකට ටෝක් එකක් දීලා හමුදාවට යන්න තීරණය කළා.
“මම මුලින් ගිහින් තත්ත්වය බලන්නම්"
මේගොල්ලෝ ජනප්‍රිය චරිත නිසාම හමුදාවේ ඇතුළෙදි මොන වගේ දේවල්වලට මුහුණපාන්න සිද්ධ වෙයිද කියන ලොකු කුතුහලයක් මෙයාලා තුළ වගේම ලෝකෙ හැමෝම තුළත් තිබුණා. ඒත් ජින් ලොකු අයියා හමුදාවට ගියා.
BTS කණ්ඩායමක් විදිහට වැඩ කරන එක තරමක් නතර කරලා තම තමන්ගේ තනි ව්‍යාපෘති තීරණය කළා මේ කාලය තුළ. මේ තත්ත්වය සංගීත කණ්ඩායම නිල වශයෙන්ම නිවේදනය කළා. හැමෝම හිතුවා BTS ජනප්‍රියත්වය වේගයෙන් පහළ බහීවි කියලා. තරගකාරී සංගීත කණ්ඩායම් බලාගෙන හිටියේ කොහොම හරි මේගොල්ලන්ව පාහු කරලා ඉස්සරහට යන්න. ඒත් හිතුවෙ නැති විදියට මේගොල්ලන්ගේ Solo project නැගලා යන්න පටන් ගත්තා.
කොහොම හරි මේ අතර කාලයේදී ඉතුරු හය දෙනත් හමුදාවට ගියා. අන්තිම එක්කෙනා නැවත එන්න නියමිත 2025 අවුරුද්දේ අවසානයේදී. හැබැයි ඔන්න පහුගිය ජූනි 12 වැනිදා හමුදාවට ගිය ලොකු අයියා ජින් ආවා. ඒක කොච්චර ලොකු සිදුවීමක් වුණාද කියලා කිව්වොත් CNN ඇතුළු ඇමෙරිකානු යුරෝපීය මාධ්‍ය පවා කොරියානු හමුදා කඳවුර ළඟ ඉඳලා Live මේ සිදුවීම පෙන්නන්න පටන් ගත්තා.
Jin හමුදාවෙන් එළියට බහිද්දී එයත් එක්ක හමුදාවෙ හිටපු සගයෝ ටික පුදුම විදිහට දුක් වුණා. ඒක බොහොම සංවේදී සිදුවීමක් වෙද්දී ඔන්න ජින් ගේට්ටුවෙන් එළියට බැස්සා. මෙන්න එතකොට ඉතුරු මල්ලිලා හය දෙනා එදා හමුදාවෙන් නිවාඩුවක් අරගෙන අයියව පිළිගන්න ඇවිල්ලා හිටියා. BTS Army එක ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නෑ. එයාලත් මේ සීන් එක දැකගන්න පිස්සුවෙන් වගේ තමා හිටියේ.
කොහොම හරි හමුදාවෙන් ඉවත්වෙලා හමුදා ඇඳුමෙන්ම ඇවිල්ලා සජීවීව තමන්ගේ රසිකයන්ව අමතන්න ජින් කටයුතු කළා. හමුදාව ඇතුළේ එකට හිටපු සගයන්ව නිලධාරීන්ව මතක් කරන්න ඔහු කටයුතු කළා. ඒ වගේම හමුදා සේවය තුළදී තමන් ලබාගත්ත සම්මාන ඇගයීම් පිළිබඳවත් සඳහන් කරමින් ඒවා ප්‍රදර්ශනය කරන්නත් කටයුතු කළා. ඇත්තටම ලෝකෙටත් වඩා කොරියාවෙ තාරුණ්‍යයට මෙතැනදි ලැබුණේ ලොකු පණිවිඩයක්. මේක ඇත්තටම කොරියානු හමුදා සේවයේ එතෙක් මෙතෙක් සිදුවුණු දැවැන්තම දිරිගැන්වීම විදිහට සඳහන් කරන්න පුළුවන්.
ජූනි 13 වැනිදා තමයි BTS කණ්ඩායමේ 11 වැනි සංවත්සරය යෙදිලා තිබුණේ. කොහොම හරි පහුවදා සංවත්සරය සමරන්න ඇවිල්ලා හිටියේ ජින් විතරයි. හැබැයි මේ සංවත්සර සැමරුම පිළිබඳව ආයතනයත් එක්ක කාලෙකින් ලොකු වලියක් දාගෙන තමා ජින් ලොකු අයියා හිටියේ.
“මට අපේ රසිකයෝ තුන් දාහකට Free hug දෙන්න ඕනෑ. මම ගෙදර එනකම් බලාගෙන හිටපු රසිකයන්ට උණුසුම් වැළඳ ගැනීමක් මම දෙන්නම ඕනෑ"
වැළඳ ගැනීම් කෙසේ වෙතත් අල්ලන්නවත් දෙන්නැති කොරියාවේ තරු මේ වගේ අවස්ථාවක් කාටවත් ලබා දෙන්නේ නෑ. ඒ වගේම මේ සංගීත කණ්ඩායම බාරව කටයුතු කරන සමාගමත් මේ අවස්ථාව ජින්ට ලබා දෙන්න කැමති වුණේ නෑ. කොහොම හරි මේ ලොකු වලිය අවසානෙදි පනස් දෙනෙක්ව වැළඳ ගන්න අවස්ථාව ලබා දෙන්න තමයි සමාගම කැමති වුණේ. කොහොම හරි මේක දාහක් දක්වා වැඩි කරගන්න ජින් ලොකු අයියා සමත් වුණා
මේ වැඩේට සංඛ්‍යාත්මක වශයෙන් 4000ක් 5000ක් විතර ආවා කියලා වාර්තා වෙනවා. ඇත්තටම ජින්ගෙ රසිකයෝ පිස්සුවෙන් වගේ මේ වැඩේට එකතුවෙලා හිටියා. ලෝකේ හැමතැනින්ම, විශේෂයෙන්ම ඇමෙරිකාව, ජපානය, බ්‍රසීලය වගේ රටවල්වලින් Free Hug දෙන්න වගේම ජින්ව බලන්නත් පිරිස ඇවිල්ලා හිටියා.
සාමාන්‍යයෙන් හමුදාවේ ඉඳන් ආවම තමන්ගේ සුපුරුදු රිද්මයේ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් කරන්න කොරියානු තරු ටික කාලයක් ගන්නවා. හැබැයි ජින් ලොකු අයියා සීන් එක කණපිට කරකවලා ගෙදර ආපු දවසට පහුවැනිදා සින්දු තුනකුත් කියලා ලොකු පිස්සුවක් නැටුවා. මේක දැකපු මේගොල්ලන්ගේ රසිකයො නම් කිව්වේ BTS තමන්ගේ රසිකයෝ ගැන හිතන විදිහට ලෝකෙ ඉන්න කිසිම ගායකයෙක් ගායිකාවක් සංගීත කණ්ඩායමක් හිතන්නෙ නැහැ කියලා. වැඩේට ආපු හැමෝටම මල් කළඹක් දෙන්නත් මේගොල්ලෝ කටයුතු කරලා තිබුණා.
කොහොම හරි ජින්ගෙ පැමිණීමත් සමඟ BTS අයිති Hybe නැවත විශාල වර්ධනයක් පෙන්නුම් කරන බව තමයි ලෝකෙ පුරා ආර්ථික විශේෂඥයො පවා කියන්නේ. ඒ වගේම සංදර්ශන සැණකෙළි පවා පහුගිය දවස්වල ලෝකෙ ගොඩක් රටවල්වල BTS තේමාවන් යටතේ පැවැත්වුණා. හැබැයි ඉතින් මේ සීන් කෝන් එක ගැන අපිට වඩා ලංකාවේ BTS Army එකේ අය දන්නවා. නොදන්න අයට දැනගන්න තමයි මේ සීන් කෝන් එක අපි කිව්වේ.
ඉතින් මචෝ ඔන්න ඔහොමයි ලෝකෙ කලාව සම්බන්ධ තොරතුරු. දැන් ලෝකෙ Entertainment තියෙන්නේ වෙනම ලෙවල් එකක. සුදාලත් ආතල් එකේ අවධානයෙන් ඉන්න ඕනෑ.
• චමිඳු නිසල්