2024 ජුනි 29 වන සෙනසුරාදා

ඇත්තටම පොෂ් කියන්නෙ මෙන්න මේවට හලෝ!

 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 24

මව් පොළොවෙන් මිදී දේශ දේශාන්තර වෙත ගොස් ජීවත් වන නමුදු අපේකම හැර නොදැමූ මිනිසුන් අතළොස්සක් සිටිති. ශ්‍රී ලාංකික සංස්කෘතික මූලයන්, හර පද්ධතීන් මෙන්ම කලාව ද සිය පණ මෙන්ම ආරක්ෂා කරන මෙම පිරිස් සැබැවින්ම ඇගයුමට ලක්විය යුත්තෝය. එහෙත් මව් පොළොවේ මහා සංස්කෘතිය දරා සිටින්නෝ වන අප ඔවුන් අගයන අවස්ථා විරලය.

මහාචාර්ය ගෝමික උඩුගමසූරිය යනු ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන අපේකම රුකගෙන, ලොව ඉදිරියේ අපේ මව් දෙරණේ නාමය ද අභිමන් ගැන්වූ චරිතයකි. 2001 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයට පා තැබූ මේ අපූරු චරිතය වර්තමානයේ ලොව බලවත්ම රාජ්‍යයේ අපේකම සපිරි ආදරණීය දරුවන් තිදෙනකුගෙන් යුතු සොඳුරු කැදැල්ලක් තනා ජීවත් වෙයි. ඇමෙරිකාවේ හූස්ටන් විශ්වවිද්‍යාලය සහ ඇන්ඩසන් පිළිකා රෝහලේ සේවය කරන මහාචාර්ය උඩුගමසූරිය ඇමෙරිකානුවන් අතර පවා සම්භාවනාවට පාත්‍ර වූවෙකි.

පේටන් බලපත්‍ර 10ක් පමණ තම නමින් ලියැවූ මේ විශිෂ්ට මහාචාර්යවරයා අනාගතයේ පිළිකා රෝග සඳහා ඖෂධ බවට පත්විය හැකි සංයෝග කිහිපයක් ලොවට හඳුන්වා දී තිබේ. එසේම තවත් රෝග කිහිපයක් සඳහා ඔහු එවැනිම ඖෂධ සංයෝග ලොවට හඳුන්වා දී ඇත. මෙය අනාගත ලෝකයේ සුරක්ෂිතභාවය සඳහා මහාචාර්ය උඩුගමසූරිය දක්වනු ලැබූ විශිෂ්ට දායකත්වයක් බව අප සටහන් කොට තබන්නේ අභිමානයෙනි.

ඇමෙරිකාවේ ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ මෙන්ම ජාතික නවෝත්පාදන ඇකඩමියේ  ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු සහ උපදේශකයකු ලෙස ද මහාචාර්ය උඩුගමසූරිය කටයුතු කරයි. ඇමෙරිකාවේ මෙන්ම ලෝකයේ ද අනාගත සෞඛ්‍ය කෙරෙහි යම් පමණක බලපෑම්සහගත චරිතයක් වී සිටින නමුත් මේ අපූරු මිනිසා සිය සංස්කෘතික උරුමය සමඟ පුදුම සහගත ප්‍රේමයකින් වෙලී සිටියි.

විද්‍යා ලෝකයේ කටයුතු කළ ද තමන්ගේ ලෝකය පවුල බව මහාචාර්ය උඩුගමසූරිය කියා සිටියි. ඇමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් හි සිය කැදැල්ල තනා ජීවත් වන උඩුගමසූරිය විවාහපත්ව සිටින්නේ උපුලි උඩුගමසූරිය සමඟයි. සංගීත විශාරදවරියක් වන ඇය මෙම පවුලේ සංස්කෘතික අනන්‍යතාවය රුකීමෙහිලා පුරෝගාමී චරිතයක්ව සිටින්නීය.

උඩුගමසූරිය පවුලේ වැඩිමහල් දියණිය අමා උඩුගමසූරියයි. ඇය සරසවියේ තෙවැනි වසරේ සිසුවියකි. උඩුගමසූරිය පවුලේ දෙවැනි දියණිය විශ්වවිද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවෙන් සිටින උසස් පාසල් සිසුවියකි. පවුලේ බාලයා චාමික උඩුගමසූරිය පුතු වන අතර ඔහු පාසලේ නමය ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

ඇමෙරිකාවේ උපන් නමුදු හෙළ බස මනාකොට හසුරුවන, අපේකමට ආදරය කරන මෙම ආදරණීය දරුවන් තිදෙනා අප තුළ ජනිත කරන්නේ මවිතයකි. අපේ නර්තන සම්ප්‍රදායන්ට, ජන ගීතයට, ගැටබෙර තම්මැට්ටම ඇතුළු බෙර වැයුමට හපන්කම් දක්වන උඩුගමසූරිය පවුලේ දරුවෝ සංගීතය ජානමය උරුමයක් කොටගත්තෝ වෙති. 

උපුලි උඩුගමසූරිය මහත්මිය පවසන පරිදි බාලයේ පටන්ම මෙම දරුවන් නිවස තුළදී අසා දැන හඳුනාගෙන ඇත්තේ ශ්‍රී ලාංකික සංස්කෘතියයි. ඇමෙරිකානුවන් අතර සම්භාවනාවට පත්වන නමුදු, නිවෙසට පැමිණ සරමක් හැඳ සුව පහසුව කටයුතු කරමින් අපේ සංගීතයට ඇහුම්කන් දෙන්නට, අපේ බසින් කතා කරන්නට මහාචාර්ය උඩුගමසූරිය වඩාත් ආශක්තව සිටින බව ඔවුන් හා පැවති සංවාදය සාක්ෂි දරයි.

විදේශයක උපන් නමුත් මව්පිය උරුමය සුරකිමින් උඩුගමසූරිය පවුලේ දරුවෝ සිය හපන්කම් විදහා දක්වති. දියණියන් දෙදෙනා ශ්‍රී ලාංකික නර්තන සම්ප්‍රදායන් මනාකොට හදාරා කලඑළි දුටු දරුවෝ වෙති. ශ්‍රී ලාංකික නර්තන ශිල්පිනියකගේ ලාලිත්‍ය සලකුණු මුසු කරමින් මෙම දරුවන් නර්තන ඉදිරිපත් කරන අයුරු පුදුම සහගතය. මේ දියණියෝ සිංහල ගීත මෙන්ම, ජන ගීත ද ඉතා පූර්ව ලෙස ගයති. පුතු චාමික ද ගැටබෙරය තම්මැට්ටම වාදනය අතිශය ප්‍රිය කරන බවක් පෙනී යයි. මෙම දරුවන් තිදෙනාම සිය පාසල්වලද සංගීත කණ්ඩායම්වල සාමාජිකයෝ වෙති.

ඇමෙරිකාවේ වෙසෙතත් මේ දරුවෝ තිදෙනා දහම් අධ්‍යාපනය පිළිබඳ පළ කරන්නේ පුදුමාකාර ඇල්මකි. උපුලි උඩුගමසූරිය මව සඳහන් කරන පරිදි, කුමන හේතුවක් මත හෝ දහම් පාසල් ගමන මඟහැරීමට දරුවන් අකමැතිය. වැඩිහිටියන් බවට පත්වන විට සමාජයට සංවේදී යහපත් මනුෂ්‍යයන් බවට පත්වීමට දහම් අධ්‍යාපනය විසින් ලබා දෙන ශක්තිය පිළිබඳ ගෝමික උඩුගමසූරිය මහතා තුළ ද ඉහළ විශ්වාසයක් පවතී.

ශ්‍රී ලාංකික සංගීත පුරාවෘත්තවලට දැඩිව ඇළුම් කරන මෙම දරුවෝ පණ්ඩිත් අමරදේවයන්, කේමදාසන් වැනි චරිත උදෙසා නිවස තුළම අපූරු වැඩසටහන් සිදු කරමින් සතුටු වෙති. ඇමෙරිකානු සංගීත පුරාවෘත්ත පිළිබඳ උගත් දරුවෝ, අපේ සංගීත පුරාවෘත්ත වෙත ද නිසි ගෞරවය ලැබිය යුතු බව විශ්වාස කරන්නෝ වෙති.

ආචාර්ය උපාධිය සඳහා ඇමෙරිකාවට පැමිණිය ද ඉතා ඉක්මනින් නැවත මව් රටට යාමේ බලාපොරොත්තුව සහිතව සිටින බව උඩුගමසූරිය මහතා සිහිපත් කරයි. තමා ඒ වෙනුවෙන් දින ගනිමින් සිටින බව ඔහු කියා සිටියි. එහෙත් ඇමෙරිකාවේ නැවතීමට ඔහුට සිදුව ඇත්තේ දෛවෝපගත ලෙසය. එනමුත් එදා මෙදා තුර සිය දැනුම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් යොදවන්නට මහාචාර්ය ගෝමික උඩුගමසූරිය නම් ශ්‍රේෂ්ඨ මිනිසා කිසිදු මැලිකමක් දක්වා නැත. ඔහු විශ්වාස කරන්නේ පරීක්ෂණ සහ සංවර්ධන ශ්‍රේෂ්ඨයන්ගේ දියුණුව රටේ දියුණුව කෙරෙහි තීරණාත්මක වන බවයි. 

ඇමෙරිකාවේ ආයතනික ව්‍යුහයේ ඉහළම පද්ධතියේ අත්දැකීම් ඇති මෙම විශිෂ්ට චරිතය තුළින් රටක් ලෙස අපට ලබාගත හැකි දැනුම දායකත්වය මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. කෙසේ වෙතත් ඔහු තමන්ට හැකි පරිදි රට වෙනුවෙන් යමක් කරමින් සිටියි. එතෙකින් ද නොනැවතී ලොව බලවත් ඇමෙරිකානු රාජ්‍යයේ ශ්‍රී ලාංකික පවුලක බිජුවට රෝපණය කොට පෝෂණය කොට මහා සංස්කෘතික පවුලක් ඔහු නිමවා තිබේ. සැබෑවටම මෙය විශ්මයකි. 

හරේන්ද්‍ර ජයලාල් යූටියුබ් නාලිකාවේ සංවාදයක් ඇසුරිනි.


• චමිඳු නිසල්