කියන්න ඔබ ආධ්‍යාත්මිකව හෝ භෞතිකව ජීවිතේ කැමති සහ ආදරය කරන දේවල් මොනවද කියලා?
මම පොත්වලට හුඟක් ආසයි සහ ආදරෙයි. පොත් කියවන්න, ජීවිත කතා කියවන්න, ඒ කියවීම් අතර ආධ්‍යාත්මිකව සැරිසරන්න මම හුඟක් ආසයි. ඒ වගේම චිත්‍රපට බලන්න, විඳින්න, යහපත් සමාජයක් ගොඩනැංවීම වෙනුවෙන් වැඩ කරන්න, නිදහසේ ජීවත් වෙන්න, මගේම ලෝකයක් ඇතුළෙ නිදහසේ සැරිසරන්න, නිදහසේ හුස්ම ගන්න මම හරි ආසයි. එහෙම ජීවිතයකට මම හරි ආදරෙයි. මේ ලෝකයේ මම කැමති තැන්වල මට ඕනෑ විදිහට ඇවිදින්න, බලන්න, යන්න ආසයි. අපි අහලා තියෙන විශ්වීය කලා නිර්මාණ දකින්න, ඒවා ස්පර්ශ කරන්න, විවිධ සංස්කෘතින් දකින්න, ස්වභාවධර්මය විසින් නිර්මාණය කරපු අපූරු සෞන්දර්යාත්මක දේවල් දකින්න, විඳින්න මම හරි ආසයි. ඒ වගේම මිනිස්සුන්ට උදව් කරන්නත් මම හරි ආසයි. මගේ දරුවා, මගේ මහත්තයා, දෙමාපියන් කියන්නෙ මගේ ජීවිතේ මම කැමති, නමුත් පෞද්ගලික දේවල්. මම කතා කළේ ඉන් එහා මගේ විසල් ලෝකෙ මම ආදරය කරන දේවල් සහ ආසා කරන දේවල් ගැනයි. ඒ හැම දේකින්ම මම හුඟක් තෘප්තිමත්.
ඔබ ඔබම වී ජීවත් වීම තුළ දැනෙන තෘප්තිය නිර්වචනය කරන්නෙ කොහොමද?
මම ආසා මම මම විදිහටම ඉන්න. මගේ දෙමව්පියන් පුංචි කාලෙ ඉඳන්ම මට ඕනෑ විදිහට මට ඉන්න දුන්නා. මම මමම වීම මම මුලින්ම අත්වින්ඳෙ එතැනදි. එයාලා කවදාවත් එයාලගෙ විදිහට මාව වෙනස් කළේ නෑ. මට ඕනෑ දේ කරන්න, මම කැමති විදිහට ඉන්න මට දුන්න ඉඩ හසර තුළ මම වින්ඳ තෘප්තිය ප්‍රමාණාත්මකව මෙච්චරයි කියන්න බැරි තරම්. ඒක පුදුමාකාර නිදහසක් සහ සැහැල්ලුවක්. මම කැමති විදිහට ඉගෙන ගත්තා. කලාව තෝරා ගත්තා. පෙම්වතියක් වී පෙම් කළා. ඇත්තටම මම රුඳුණෙ මට කැමති විදිහට ජීවත් වෙන්න දුන්න තැන්වලදි විතරයි. මට කැමති විදිහට ජීවත් වෙන්න නොදුන්, මට මා අහිමි කරන්න වෙහෙසුණ, වෙනස් කරන්න හැදූ තැන්වලින් මම අයින් වෙනවා. ඒ තැන්වල රුඳීම මම හැමදාම ප්‍රතික්ෂේප කළා. මගේ ප්‍රේක්ෂකයන්ට රසිකයන්ට ඕනෑ විදිහටවත් ඉන්න කෙනෙක් නෙවෙයි මම. සැකෙවින්ම මගේ විදිහ වෙනස් කරන්නෙ නැති කෙනෙක් මම.
මම මමම වී ජීවත් වීම තුළ ජීවත්වෙන බව දැනෙන හැඟීම ඔබ උපරිමයෙන් විඳිනවා. ඒ විඳින බව ඔබ තුළින් සංනිවේදනය වෙනවා. ඒක එහෙමයි නේද කියලා මම ඇහුවොත් ඔබ දෙන උත්තරේ මොකක්ද
මම මමම වෙලා ජීවත් වෙද්දි මට හරි ලේසියි සහ මම උපරිම තෘප්තිමත්භාවයකින් ජීවත් වීම කියන දේට එතැනදි අර්ථකථනයක් දෙනවා. තව කෙනෙක්ට අවශ්‍ය විදිහට ජීවත් වෙද්දි එහෙම ජීවත් වෙන්න පුළුවන් ටික කාලයයි. ඒ වගේම මම මාත් එක්ක ඉන්න කිසිම කෙනෙකුට මගේ දරුවටවත් මගේ මහත්තයටවත් වෙන කිසිම කෙනෙකුටවත් මගේ විදිහට ජීවත් වෙන්න කියන්නෙ නැහැ. මගේ විදිහට මම වෙනස් කරන්නෙත් නැහැ. මම එයාලා බාරගන්නෙ එයාලගෙ විදිහට. මම ඕනෑම දෙයක් හෝ කෙනෙක් තෝරාගන්නෙ ඒ මොහොතෙ මගේ කැමැත්ත මත. ඒ දේ මම සතු කරගෙන මගේ හැඩේට අනුව එය දාගන්නවා නම් මම වැරදියි.
ප්‍රකෘතිය වෙනස් වන තැනකදී නිර්මාණය වන විකෘතිය ඔබ දකින්නෙ අවබෝධයෙන්ද?
ඔව්. ප්‍රකෘතිය වෙනස් වන තැන ඇතිවන විකෘතිය අවබෝධයෙන් දකින නිසා තමයි මම මම විදිහට සතුටු වෙන්නෙ.
ඔබ තුළින් මා දකින සහ නිරීක්ෂණය තුළින් මා කියවන ඔබේ පරිණතභාවයට මට හේතු කියන්න?
පොතක් කියවන්න ආසා හිතුණම ඒ පොත මම මගේ සතු කරගෙනම කියවන කෙනෙක්. ඒ පොත කියවීම තුළ මට තියෙන්නෙ ඒ හා ප්‍රබල ආත්මගත වීමක්. ඒ වගේම ලෝකයේ නිර්මාණය වන බොහෝ චිත්‍රපට මම නරඹනවා. මම නොවිඳි ඇතැම් ජීවන අත්දැකීම් ඒ පොත් පිටු අතරෙන් සහ සිනමා අධ්‍යයනය තුළින් මම ලබාගන්නවා වගේම ලෝකය සහ මිනිසුන් තේරුම් ගන්න මම උත්සාහ කරනවා. මම මේ මහ පොළොව ස්පර්ශ කරමින් ඇවිදින කෙනෙක් විදිහටයි මට දැනෙන්නෙ. හැමදේම තර්කානුකූලව, යථාර්ථවාදීව හිතන්න තමයි මම උත්සාහ කරන්නෙ. පෙනෙන දේ පෙනෙන විදිහටම නොදැක පෙනෙන දේ විනිවිද පතුලටම ගිහින් එහි ගැඹුර දකින්න මම උත්සාහ කරනවා. ජීවිතේ හමුවෙන හැම දෙයක්ම විශ්ලේෂණාත්මකව දකින්න සහ කියවන්න මම ආසයි. මා ජීවත් වූ කාලය තුළ තර්කානුකූල බුද්ධියෙන් තෝරා බේරාගත් දේවල් මගේ ජීවිතේ ඇතුළෙ තියෙනවා. මේ සියල්ල තුළ ඇත්තටම මට දැනෙනවා මම පරිණත ගැහැනියක් කියලා.
ඔබේම ලෝකයක්?
මම හැම මොහොතකම මම මාත් එක්කම ඉන්න නිසා මට මහ විසල් ලෝකයක් තියෙනවා. ඒ විශාල ලෝකය එළියෙ ඉන්න කාටවත් පේන්නෙ නෑ. ඉබ්බා කට්ට අස්සට රිංගනවා වගේ මම මගේ ජීවිතේ අස්සට රිංගනවා. එහෙම රිංගගෙන ඉන්න ලොකු කට්ටක් තියෙනවා මට. ඇත්තටම ඒ අස්සෙ ජීවත් වෙන්න මම හරි ආසයි. මම ඒ කට්ට අස්සෙ හුඟක් සෙල්ලම් දානවා. මට දේවල් තේරුම් ගන්න, රසවිඳින්න ඒ තුළ පුළුවන්. ඒ ලෝකය හරි විශාලයි සහ හරි රසවත්.
ආදරය, ප්‍රේමය වැනි හැඟීම් සහ බැඳීම් ඔබ නිර්වචනය කර ගන්නෙ කොහොමද? අත්හරින්න බැරි තරම් තෘෂ්ණාවකින් මිනිසුන් ජීවිතේ අල්ලගන්න දේවල් දිහා ඔබ බලන්නෙ කොහොමද?
ආදරය සහ ප්‍රේමය කියන්නෙ මනුෂ්‍යයා එක්කම ඉපදෙන හැඟීමක්. මනුස්සයෙක් මනුස්සයෙකුට වගේම ගහට කොළට සත්ත්වයාට පරිසරයට සහ තම වටපිටාවෙ ඕනෑම භෞතික අභෞතික දේකට ආදරයෙන් සහ ප්‍රේමයෙන් බැඳෙන්න පුළුවන්. ආදරය සහ ප්‍රේමය කියන්නෙ ලඝු හෝ පටු මනෝභාවයක් නෙවෙයි. ප්‍රේමය ආදරය කියන්නෙ මනුෂ්‍යයාගේ පරිණාමීය ක්‍රියාවලිය සමඟම වෙලී පවතින දෙයක්. මම විශ්වාස කරන ප්‍රේමය කියන්නෙ මගේ ජීවිතේ පහසුවෙන් ගෙවන්න පුළුවන් තැනකදි හමුවෙන දෙයක්. මම සතුටු වෙන වගේම මගෙන් තව කෙනෙක් සතුටු වෙන තැනකදි ඒ කෙනා හෝ දෙය කවුද කියන එක අදාළ නෑ. ජේසුස් වහන්සේ කීවෙ හැමෝටම ප්‍රේම කරන්න කියලා. අපි විවිධ විදිහට හැමෝටම ප්‍රේම කරනවා. ප්‍රේමය එකිනෙකා එක් එක් ස්වරෑපයන්ගෙන් බාරගන්නවා සහ එක් එක් විදිහට ඉදිරිපත් කරනවා වගේම අර්ථකථනය කරනවා, අත්දකිනවා සහ අත්විඳිනවා. මම නිදහස කියලා කියන්නෙ ප්‍රේමයට සහ ආදරයට. ඇත්තටම ආදරයට සහ ප්‍රේමයට මම කියන තව වචනයක් තමයි නිදහස. මම ආසයි තව කෙනෙකුට නිදහසේ ඉන්න දෙන්න. මම මගේ මහත්තයට ප්‍රේම කරන්නෙ එයා මගේ මහත්තයා නිසාම නෙවෙයි. එයා ලියන දේට, හිතන දේට මම කැමතියි. ඒ සියල්ල තුළ එයා මට විශේෂ චරිතයක්. මම ආසයි එයාට තවදුරටත් ඒ ගමන යන්න මගේ ප්‍රේමය ලබා දෙන්න. ඇත්තටම මම දකින විදිහට සමස්ත මානවයාටම අපි එක් එක් ස්වරෑපයන්ගෙන් ප්‍රේම කරනවා. ඒත් මගේ ප්‍රේමය හා ගැලපෙන්නෙ නැති තැන්වලින් වද වෙවී දුක් වෙවී කනගාටු වෙවී ඉන්නෙ නැතුව මම අයින් වෙනවා.
ප්‍රේමය ළඟ අයිතිය ඉල්ලන මිනිසුන්ව මම දකිනවා. ඇයි ප්‍රේමය ළඟ අයිතිය ඉල්ලන්නෙ කියලා මට හිතෙනවා. ඔබට හිතෙන්නෙ මොනවද?
මම ප්‍රේම කරන කිසිම කෙනෙක් මට ඕනෑ විදිහට පාලනය කරගන්න, අයිති කරගන්න හෝ ගනුදෙනු කරන්න මම හිතන්නෙ නැහැ. ප්‍රේමය කියන්නෙ කෙනෙක්ට ඕනෑ විදිහට කෙනෙක් පාලනය කිරීම හෝ අයිති කර ගැනීම නෙවෙයි. මගේ දරුවාවත් මම මගේ කියලා අයිති කරගෙන නෑ. මම මගේ කියලා කෙනෙක් අයිති කර ගත්තොත් එතැන මානව දයාවක් නෑ. දරුවෙක් ගත්තත් එයා වැඩි කාලයක් ඉන්නෙ සමාජයත් එක්ක. ඒ දරුවා කියන්නෙ සමාජය තුළ කෙනෙක්. මම හිතන්නෙ අයිතිය කියන්නෙ හුඟාක් ගැඹුරු විශ්ලේෂණයකින් දකිද්දි ප්‍රේමය හා යා වෙන දෙයක් නෙවෙයි.
යමක් අත්හැර ඒ අත්හල දේටම ප්‍රේම කරන්න ඔබට පුළුවන්ද?
මම අත්හැරලම තමයි ප්‍රේම කරන්නෙ. මේ ලෝකෙ හුඟක් මිනිස්සුන්ට යමක් අත්හරින්න හුඟක් අමාරු ඇති. ඒක හුඟක් සංකීර්ණ දෙයක් විදිහට දැනෙනවා ඇති. ඒත් අත්හැරීමම තමයි කළ යුතු දේ. මම පුංචි කාලෙ ඉඳන්ම ඒ හැඟීමට පුරුදු වූ කෙනෙක්. භෞතික දේවල් එක්ක ලොකු ප්‍රේමයක් ඇත්තටම මට නෑ. ලොකු ගෙවල් දොරවල් ගැන හීන සහ ජීවිතය ගැන මහා සැලසුම් මට නෑ. ඇත්තටම ඒ හැඟීම් පවා මට දැනෙන්නෙ පිස්සුවක් වගේ. ජීවත් වීමට අවශ්‍ය දේ තිබුණොත් මට ඇති. කාමර දහයක ගෙයක් හදාගෙන ජීවත් වෙන්නෙ එක කාමරයක නම් ඉතුරු කාමර නවය පවත්වාගෙන යන්න කාලය, මුදල් සහ ශ්‍රමය වැය කිරීම අපරාධයක් නෙවෙයිද? මට හිතෙන්නෙ ඒ කාලය පොතක් බලන්න, චිත්‍රපටයක් බලන්න, යාළුවෙක් එක්ක කතා කරන්න, කොහෙ හරි ඇවිදින්න යන්න වැය කරන්න පුළුවන් නේද කියලා.
මගේ කියන හිතුවිල්ලෙන් ආදරය කරන හිතක් ඔබට නෑ. මම ඔබව තේරුම් ගන්නෙ එතැනදි එහෙම?
ඔව් මම කිසිම වෙලාවක ඔයා මගේ, මට විතරයි ආදරේ කියලා හිතන තැනක නෑ. මම කිසි දෙයක් අල්ලා නොගෙන අත්හැරලා ඒත් අසීමිතව ප්‍රේම කරනවා. මටත් හානියක් නොවී, ඒ කෙනාටත් හානියක් නොවී ප්‍රේමය තුළ රුඳෙන්න මම වගබලා ගන්නවා. සතාට, ගහකොළට, සියල්ලට මගේ ප්‍රේමය විහිද යන්නෙ එවන් රේඛාවක් තුළ. මම මගේ අතීතයටත් ආදරෙයි. ඒ වගේම ලෝකය වෙනස් කරන්න හදපු මිනිසුන් ගැනත් මට ප්‍රේමයක් තියෙනවා. හැබැයි මගේ අසීමාන්තික ප්‍රේමය කිසිම තැනකදි මම, මගේ සහ මට විතරයි කියලා ලඝු කරගන්නෙ නෑ.
රංගනය කියන දෙය ඔබ නිර්වචනය කර ගන්නෙ කොහොමද?
තමන් තෘප්තිමත් වන ගමන් අන් අයත් අතිශය තෘප්තිමත් කරන, රසවත් කරන, දැනුවත් කරන දේකට තමා රංගනය කියන්නෙ. ඇත්තටම රංගනය තුළ අසීමාන්තික රසවත් වීමක් මම විඳිනවා.
ඔබ හැමදාමත් ප්‍රේක්ෂක හදවතේ ජීවත් වූ රංගවේදිනියක්?
1990 වසරේ සිට මේ දක්වා මම රඟපානවා. ඒ රඟපෑම තුළ මොකක් හෝ ආකර්ෂණයක් විශේෂයක් ඇති. ඒ නිසා වෙන්නැති ප්‍රේක්ෂක ආකර්ෂණය, ආදරය මට හැමදාමත් ලැබුණෙ. ඒ වගේම අපි අන් අය සමඟ ගනුදෙනු කරන විදිහ, හිතන විදිහ, සුහදශීලීත්වය, මේ සියල්ල මේ ක්ෂේත්‍රයේ රුඳෙන්න හේතු වෙනවා. රංගනය හා කලාව කියන්නෙ සාමූහික තෝතැන්නක්. ගාමිණී, විජය, ජෝ, මාලනී, ස්වර්ණා, ශ්‍රියානි, අයිරාංගනී, මේ ආදී අපට සිටි සහ සිටින ජ්‍යෙෂ්ඨ රංගවේදීන් සහ රංගවේදිනියන් ගත්තම ඒ අය අදටත් ඒ ආදරය, ජනප්‍රියත්වය රඳවාගෙන තියෙන්නෙ ඒ ගුණ තුළ වෙන්න ඇති. මම හරිම ගරුත්වයෙන් නම් කී සහ නොකී මගේ ක්ෂේත්‍රයේ එවැනි සොඳුරු පෞරුෂත්වයන් සිහිපත් කරන්නෙ.
ඇත්තටම රංගනය කියන්නෙ කොහොම විෂයක්ද?
ඇත්තටම රංගනය කියන්නෙ ප්‍රායෝගික විෂයක්. අතීතයේ සිටි දැවැන්ත ගෞරවපූර්ව චරිත රංගනය ගැන විවිධ පොත් ලියලා තියෙනවා. ඒ මානව ශිෂ්ටාචාරය ඉදිරියට ගෙන යාමේ වුවමනාව තුළ වෙන්න ඇති. එහෙත් එහි නියැලෙද්දි හමුවන රසවත්ම කෑල්ල තමයි මට මේ ලෝකෙ තියෙන විවිධ චරිත වෙන්න පුළුවන් වීම. සැබැවින්ම රංගනය කියන එක මනුෂ්‍යයකුට ලබන්න පුළුවන් වාසනාවන්තම රුකියාවක්, අධ්‍යාපනයක්, අධ්‍යයනයක් කියන එකයි මගේ හැඟීම. රංගනය කියන දේ තුළ නිරායාසයෙන්ම තමන්ට තමන් අමතක වීම හැමෝටම කරන්න බෑ. ඇත්තටම එය තමන් තමන්ව අමතක කිරීමමත් නෙවෙයි. ඒක චරිතයක් තුළ පුදුමාකාර ජීවත් වීමක්. තමන්ගෙ ශරීරය තුළට තවත් ආත්මයක් රිංගවාගෙන තවත් සමූහයකගේ දායකත්වය මත කරන ප්‍රතිනිර්මාණයක්. ඇත්තටම රංගනය කියන්නෙ මාර මැජික් එකක්. රංගනය අත්විඳීම මාර වින්දනයක්.
සිනමාව හා ඔබ... ඔබම කියන්න?
වේදිකාව කියන්නෙ කලාව තුළ මගේ ප්‍රියතම කැමැත්ත නම් ඉන් පස්සෙ කැමැත්ත හිමිකර ගන්නෙ සිනමාව. හැබැයි ප්‍රතිශතයක් විදිහට ගත්තම ඒ දෙකට ඇති කැමැත්ත සීයට පනහක් - සීයට පනහක් වගේ ප්‍රතිශතයක තියෙන්නෙ. සිනමා නිර්මාණ කිහිපයක මම රඟපාලා තියෙනවා. ඒවා පොඩි චරිත. හැබැයි පොඩි වුණත් රඟපාන්න හිතට දැනෙන තැන් තිබුණු චරිත. ඒ සමහර නිර්මාණ තාම ඇවිත් නෑ වගේම සමහර ඒවා එන එකකුත් නෑ කියලා හිතෙනවා. එහෙත් රඟපාන්නම නෙවෙයි, සිනමාව කෙරේ තියෙන ආදරය, කැමැත්ත හරි ප්‍රබලයි. සමහර සිනමා නිර්මාණ සඳහා ලද ආරාධනා යම් යම් හේතු මත මම ප්‍රතික්ෂේප කරපු තැනුත් තියෙනවා. මට හිතෙනවා සිනමාවට අවශ්‍ය පෞරුෂත්වයක් මට නැතුව ඇති කියලා. ඊට අවශ්‍ය වෙනම පෞරුෂත්වයක්. ඇත්තටම මම හිතනවා ඒ පෞරුෂත්වය සහ සිනමාරෑපී ආකර්ෂණය මා සතුව නැතුව ඇති කියලා. ලෝක සිනමාව ගැනත් ලොකු අධ්‍යනයක ඉන්න මට දැනෙන අවංක හිතුවිල්ල තමයි ඒ. වේදිකාව තුළ හැමදාම මම අලුත් දෙයක් ඉගෙන ගනිමින් ඉන්නවා. වේදිකාව මට දැනෙන්නෙ මගේ ඇඟේ කොටසක් වගේ. ඒ තරම් තෘප්තියක්, ආදරයක් මට ගෙනත් දෙනවා. වේදිකා නාට්‍යයක රඟපාලා මහා ලොකු සල්ලියක් හම්බවෙන්නෙ නැහැ. ඒත් ජීවිතේ කියන්නෙ මුදල් කියන ඒකකය විතරක් නෙවෙයි. ඊට තව හුඟක් දේවල් අයිතියි. වේදිකාව තුළ මට දැනෙන තෘප්තිය, සතුට, ප්‍රහර්ෂය තුළ මගේ ළය ලෙයටම දැනෙන මානසික සුවපත්භාවය, සතුට මම ශාරීරිකවත් අත්විඳිනවා. ඒ ප්‍රහර්ෂය වෙන මාධ්‍යයකින් මට ගන්න බෑ කියලා ඇත්තටම මම හිතනවා.
• සංජීවිකා සමරතුංග
• සුමුදු හේවාපතිරණ
ඇඳුම් නිර්මාණය - නිල්හාන් සෙනෙවිරත්න
හැඩගැන්වීම - චාමර අත්තනායක