2024 ජුලි 06 වන සෙනසුරාදා

ජීවිතය මලක් මෙන් නෙළාගත නොහැකිය එය කන්දකි - තරණය කරන්න

 2024 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 11

ඇයට ඇය හමුවූ තැනද එතැනය

දුරින් හිඳ වුව මෘදු එළිය විදාහල තාරකාවක අරුම අහස නොවිමසනු ඇත කිසි දිනක. සියක් දහසක් තාරුකා විසුල අහසක දිලි දිලි දිලිසෙමින් කාලාන්තරයක් ප්‍රේමයෙන් පවතිනු වස් හැකිවීද තාරකාවකට... 

විසල් ආකාසයෙහි තාරකා කුසුමක්ව එදා මෙදා තුර විසංවාදී දිශානතියක හිඳ ඈ දිදුලන්නීය. ඒ තාරුකාවට මාත්‍ර අල්පමාත්‍ර නොව සාගරයක් සේ ආදරයක් හිමි වූ හෙයින්ම දශක හයක් මුළුල්ලේම ඒ ඈත සිනමාමය අහස මත ඈ සුදිලෙන්නීය.
තිතක්, කොමාවක්, පිල්ලමක්, නැවතීමක්, අලංකාරයක් රුඳි පද සමුදායක වදන් දියවරක ප්‍රේමණීය සිනමාමය කතන්දර පරිච්ඡේද ගණනාවක් ඈ නමින් ලියැවුණු අපූරුව. එහෙයින්ම ඒ සිනමාමය සක්මන සරා ඒ රසවතිය මැවූ රසතා කොතෙක්දැයි කෙලෙස නිර්වචනය කරන්න දැයි නොම හැඟේ.

ගොළු හදවතට පෙරාතුවත් ගොළු හදවතේ සිට ඉනික්බිතිත් ඈ වියන්නට ගත් රිදීවන් මෝස්තර රටා දැමූ ස්වර්ණවත් සිනමාමය කළාලය ඇය තවමත් වියමින් හිඳින්නීය. 

ශ්‍රියානි නම් සුසුවඳවත් කුසුම දරා හිඳින නටුවෙහි කටු වෙනුවට ඇත්තේ මනරම් සිනමාමය කතන්දරය. ඇගේ ජීවන ඔලොගුවෙහි සිහින වෙනුවට දැන් ඇත්තේ මතක මහා කන්දරාවක් යැයි මට සිතේ. සංසාර සඳගිරක ඈ එවන් කුසුමක්ව පූදින්නට ඇත්තේ සාංසාරික මහා කුසලයක හේතු ප්‍රත්‍යයන් කරණ කොටගෙන යැයි මට සිතේ.

ඔහ්... චමත්කාරය යනු සියලු සෞන්දර්යන්ගේ හරය එක්වූ තෝතැන්න නම් සිනමාමය තෝතැන්නෙහි ඇය මවාලූ රස භාව ප්‍රේමණීය සංචාරයකට ඉඳින් අදත් අපට කැටුව යයි. තියුණු ලෙස සැතක් කරමින් සිදුරු කළ භාවමය ප්‍රකම්පනය ළය ලෙය කළතද්දී ප්‍රේමණීය සඳ බිඳක් වන් මතක රස ගුලාවක කිමිදෙනු වස් ශ්‍රී ලාංකික රසිකාගාරයට පාර කියූ තාරකා අතර ඉඳින් ඇය ද හිඳින්නීය.
ඉතින් මම හිතන්නේ එහෙම

ඉතින් ඔබ හිතන්නේ කොහොමද?

ඇරඹුමක් මිස අවසනක් නැති ප්‍රේමණීය වියමනක රිදී පාට, දම් පාට, නිල් පාට, රන් පාට හුයෙන් හුය වැඩ දැමූ සිත්තම් කොතෙක්ද?

ප්‍රේක්ෂක රසාස්වාදයේ ඉසියුම්ම නවාතැන් සොයා ඉගිලී ගිය ඒ රසවතිය සරතැසින් දැවෙන සිත් මත රසයෙහි පිනි ඉසිමින්, හදවතින් හදවතට රිදෙන තැන් පිරිමදිමින්, සිහිලැල් සුළඟක්ව සිතින් සිත නිවාලමින්, ඉතින් ඒ රසවතිය සපැමිණි සිනමාමය සක්මන ගලන ගඟක් මිස අන් කිසිත් නොවේ කිසි දිනක.. මම එසේ කියන්නේ සංසාර මුවදොරෙන් මුවදොරට ඒ ගඟ ගලා යනු ඇතැයි මට සිතෙන නිසාමය.

සදාහරිත තණ බිම් පසුකර, මිටියාවත්හි නවතිමින්, මහ කඳු තරණය කරමින්, හමුවෙන දිය කඩිත්තක් අස වුව සිහිල විඳිමින්, තුරු හිස් මත පිපෙන කැකුළක වුව අසිරිය විඳගනිමින්, පෙරා වත් කළ අකලංක දියවරක සිහිලසේත් උණුසුමේත් සම්මිශ්‍රණ මුදාහරිමින් රිදුම් වුව සුවයක් සේ දරා ගනිමින් ඈ පැමිණි මඟ දිග මතක නම් කොතෙක් වේද?

ගිරි හෙල්, තැනිතලා සේම මිටියාවත් ද, මහ කඳු ද, සිඳු දිය ද මැද්දෙන් මාවතක් තනාගත් කල්හි ගිරි දුර්ග මතින් වුව වෙහෙසකරම ඍතුන් දරාගෙන ඇවිද යන්නට දෙපතුලකට ඇති ශක්තියත් විශ්වාසයත් පුදුමමය. 

වැස්සක අසිරිමත් සංධ්වනියක් නිමාවෙහි අහසක සිත්තම් වන ඉන්ද්‍රචාපයක් සේ ජීවිතයේ කැන්වසය වර්ණවත් කරන්නට ඉසින වර්ණ වර්ෂා මාත්‍රයක් වුව සොඳුරුමය. ප්‍රේමණීය පලස් මත ප්‍රේමයේ නිල් කැට සුමට ලෙස අතුරාලන ජීවන ඉරණම්හි වාසනාවන්ත කතන්දර හමුවෙන තැන් මනරම්ය. නීරසම ශුෂ්ක දාහයක් දරාගත් කාර්තුවක වුව ඉපල් තුරු හිස මලක් සුපිපෙන ජීවන කතන්දර මැද ජීවිතයේ ද්වාරය සුන්දරම ඉසව්වක් වෙත හැර තබන්නට පින්සාර වූ ඉරණමක් ඈ දෙවුර දරා ගත්තීය.
ජීවිතය යනු සංසාරය යනු නිශ්චිත අවසනක් නැති ඇවිදිල්ලක සමාරම්භය වග මට දැනේ. මට සිතේ. ගිම් නිවන්නට යස උරහිසක් හමුවුවත් නොවුණත් අසංවාදී හිතකින් දරාගෙන බොහෝ දේ ඇවිද යා යුතු මාවත් ඒ ගමන් මඟේදී හමුවේය අනන්තවත්....

සිතන්න...

නැත්නම් මට කියන්න...

අවැසි තනුවක් මඟ හැරුණු පමණින් අත්හල හැකිද ගීයක්...

ඉඳින් ජීවිතය යනු සොයා යාමක්ම මිස අන් කිසිවක්ම නොවේ.

සොබාදහම යනු සෞන්දර්යාත්මකම දෙවියන් වන්නේය.

එහෙත් තීරකයා යනු ඒ දෙවියන්වත් නොව ඔබ - ඔබ - ඔබමය. 

ඔබ පසිඳින විනිසුරුවන් යනු ඔබගේම හෘද සාක්ෂියයි.

ඉතින් වෛවර්ණ මතක පිරුණු තරමට ජීවිතය යනු අප්‍රමාණ සුන්දරත්වයකි. 

ආත්මයේ කුසගින්නට අවැසි ආහාරය ආදරය නම් එදා මෙදා තුර ඇය ඒ ආදරය උතුරා පිටාර ගලා යන ඉමක හිඳ ලබන්නීය.

දවසින් දවස පායන සහසක් තරු අතර දුල රන් තරුවක්ව දිලෙන්නීය.

සැබැවින්ම ජීවිතය මලක් මෙන් නෙළාගත නොහැකිය.

එය කන්දකි - තරණය කරන්න

ජීවිතය සැබැවින්ම හමුවන තැන එතැනය. 

ඇයට ඇය හමුවූ තැනද එතැනය...

සංජීවිකා සමරතුංග