2024 ජුලි 06 වන සෙනසුරාදා

උල්පත් හැදුණේ සිහිල උනන්නයි මල් කෙමි මැවුණේ රොන් වෑහෙන්නයි...

 2024 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 133

කුලසිරි පාලමකුඹුර හේරත් මුදියන්සේලාගේ ශ්‍රියානි වීරකෝන් කුමාරිහාමි හෙවත් ශ්‍රියානි අමරසේන නමින් සිරිලක පරසිදු රංග ශිල්පිනිය 1944 ජූනි 14 වැනිදා උපත ලැබුවාය. මේ වනවිට අසූවැනි විය සම්පූර්ණ කර ඇති ඇය සිනමාවේ හා රෑපවාහිනියේ රංගන ශිල්පිනියක සේම නිෂ්පාදකවරියක හා අධ්‍යක්ෂවරියක ලෙස ද කටයුතු කර තිබේ. ඇය මෙරට මහා සිනමාවේදියා වූ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගොළු හදවත, දෑස නිසා හා අහසින් පොළොවට යන සම්මානනීය සිනමා කෘතිවලට රංගනයෙන් දායක වූවා පමණක් නොව එකී රංගනයන් උදෙසා විචාරක ප්‍රශංසාවට ද පාත්‍ර වූවාය.

කොළොන්නාවේ මීතොටමුල්ලේ උපත ලැබූ ශ්‍රියානිගේ පියා කොළඹ නගර සභාවේ සේවය කළේය. ප්‍රාථමික අධ්‍යාපනය මීතොටමුල්ල විද්‍යාලයෙන් ලැබූ ඇය ඉන් අනතුරැව මියුසියස් විද්‍යාලයෙන්, කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයෙන් ඉගෙනීම ලැබුවාය. ඈ ප්‍රථම රංගන අත්දැකීම් ලැබුවේ පාසල් වේදිකාවෙනි. හතරබීරි කතාව හා කොහෙද යන්නෙ රැක්මනී යනු ඈ රඟපෑ පාසල් නාට්‍ය දෙකකි. ඉන් අනතුරැව සිරි අයියා හෙවත් සිරි පෙරේරා මුණගැසුණු ශ්‍රියානි ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ළමා මණ්ඩලයට පිවිසුණාය. පළමුවෙන් ජී.ඩී.එල්. පෙරේරාගේ තම්මැන්නා නාටකයෙන් ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ වූ ඇය දයානන්ද ගුණවර්ධනයන්ගේ ප්‍රසිද්ධ 'නරි බෑනා' නාටකයේ ගම දෝනිගේ චරිතය රඟපෑවාය.

රිදී තිරයේ වෙනත් ගායක ගායිකාවන් ගායනා කළ ගීත අඩංගු දර්ශන රාශියක සිය රංගන කෞෂල්‍ය විදහා පෑ ශ්‍රියානි නරි බෑනා නාටකයේ ගීතයක් ගායනා කරමින් රංගනයේ යෙදුණු අයුරැ දැකගන්නට රෑගත වී නැතත් අපට ඒ දසුන් මනසේ මවා ගැනීමේ තහනමක් නැත.

ඇහැල මලින් ගස් පිරිලා
බලන්න හරි ලස්සනයි
අඹ රඹුටන් ජම්බු ඉදිලා
අද හැමතැන හරි හැඩයි
ගස්වල දළු සෙලවෙනකොට 
ඇඟට හරිම සීතලයි
ඉගිලෙන අර සමනලයින් 
අල්ලන්නට බැරි හැඩයි

නරි බෑනා නාටකයේ රංගනයෙන් අනතුරැව සුගතපාල ද සිල්වාගේ හිත හොඳ අම්මණ්ඩි නාට්‍යයේත්, ධම්ම ජාගොඩගේ වෙස්මුහුණ නාට්‍යයේත් ඈ රඟපෑ බව වාර්තා වේ. වෙස්මුහුණ නාට්‍ය, ලෝක පූජිත නාට්‍ය රචක ටෙනසි විලියම්ස්ගේ ස්ට්‍රීට් කාර් නේම්ඩ් ඩිසයර් නාට්‍යයෙන් අනුවර්තනය කරන ලද්දකි. එසේම හිත හොඳ අම්මණ්ඩි නාට්‍ය බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ වුමන් ඔෆ් සෙට්සුවාන් නාට්‍යයේ අනුවර්තනයකි. ශ්‍රියානි සිනමාවට පිවිසෙන්නේ මෙකී නාට්‍යවලින් ලැබූ රංගනයේ වඩාත් පොහොසත් අත්දැකීම් ඔස්සේය. 

ඈ මුල් වරට සිනමාවට පිවිසෙන්නේ ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි අධ්‍යක්ෂණය කළ Wings over Ceylon නම් ප්‍රබන්ධ චිත්‍රපටය ඔස්සේය. ඉන් අනතුරැව ඇය ඩී.බී. නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ කෙටි කතාව නම් චිත්‍රපටයේ රංගන දක්ෂතා පෙන්වූවාය. එය මෙරට ප්‍රථම සිනමාස්කෝප් චිත්‍රපටය ලෙස වාර්තාගත වී තිබේ. 

විවාහ දිවියට සැපත් වීමෙන් අනතුරැව සිනමා නිළියන් රිදී තිරයෙන් ඈත්වන යුගයක ශ්‍රියානි අමරසේන විවාහයෙන් පසුව ප්‍රධාන ධාරාවේ චිත්‍රපට රංගනයට පිවිසුණාය. 1968 දී ඇය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සුප්‍රසිද්ධ සිනමා කෘතිය වූ ගොළු හදවත චිත්‍රපටයේ රඟපාමින් ප්‍රථම වරට ප්‍රධාන ධාරාවේ චිත්‍රපටයක රඟපෑවාය. ප්‍රේමසිරි කේමදාසයන් සංගීතය සැපයූ ගොළු හදවත චිත්‍රපටයේ එකදු ගීතයක් හෝ නොතිබිණි. ලෙස්ටර්ගේ චිත්‍රපට හැරැණුවිට තිස්ස අබේසේකරයන්ගේ විරාගය හා මහ ගෙදර යන චිත්‍රපට දෙකේම ඇය චරිත නිරෑපණය කළාය.

මහ ගෙදර චිත්‍රපටයේ එන 'නිල් අහස් තලේ' ගීතයේ පියානෝව වාදනය කරමින් රංගනයේ යෙදෙන්නේ ශ්‍රියානි අමරසේනයි. එම දර්ශනයේ එකී රංගනයට සෝමලතා සුබසිංහ, විජය කුමාරණතුංග, තිස්ස අබේසේකර යන ප්‍රවීණයෝ රංගනයෙන් දායක වූහ. නිල් අහස් තලේ ගීතය මීට වසර හැත්තෑවකට පමණ පෙර යූ.ජී.පී. ද සිල්වා විසින් නිර්මාණය කරන ලද්දකි. මහ ගෙදර චිත්‍රපටයේ මෙම ගීතය ගායනයට මොරිස් විජේසිංහ, නීලා වික්‍රමසිංහ, චිත්‍රා සෝමපාල හා උපාලි රංජිත් යන ගායන ශිල්පීහු දායක වූහ. 

ශ්‍රියානි අමරසේන රංගනයෙන් දායක වූ ගීත අතර අනෙක් සියලු ගීතවලට වඩා මතකයේ රුඳෙන ගීයකි, දේදුනු පායා පාට වැටෙනවා ගීය. නන්දා මාලනී විසින් ගායනා කළ එම ගීතය සීයේ නෝට්ටුව චිත්‍රපටයට ප්‍රේමසිරි කේමදාසයන් සංගීත නිර්මාණය කළ ගීයකි. ජෝර්ජ් ලෙස්ලි රණසිංහ එය රචනා කළේය. මංගල සාදයක් පැවැත්වෙන අවස්ථාවක් එහි නිරෑපණය කරන අතර දැඩි ශික්ෂණයකින් එම අවස්ථාව ශ්‍රියානි රංගනයේ යෙදෙන්නීය. එම ගීයේ පහත සඳහන් පද පේලි ආදරය හඳුනන අයෙකුට කිසිදා අමතක කළ නොහැකි තරම්ය.

උල්පත් හැදුණේ සිහිල උනන්නයි
මල් කෙමි මැවුණේ රොන් වෑහෙන්නයි
මී වද බැඳුණේ පැණි සුරකින්නයි
හද මැවුණේ ආදරය කරන්නයි

කලාත්මක චිත්‍රපටවල ශික්ෂණයෙන් රංගනයේ යෙදෙන ශ්‍රියානි, වාණිජ චිත්‍රපටවල ඒවාට සුදුසු අයුරින් රංගනයේ යෙදුණාය. සරත් දසනායක සංගීතය මෙහෙයවූ ගීත රාශියක් පසුබිමෙන් වාදනය වෙද්දී කළු සුදු වාණිජ චිත්‍රපට රාශියක ඈ රංගනයෙන් දායක වී තිබේ. ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කළ හිතුවොත් හිතුවමයි චිත්‍රපටයේ ඔගස්ටන් විනයගරත්නම් ලියූ 'චුක්කි චුක්කි චුක්කි කියලා මාව රවටලා' ගීය, ශ්‍රියානි පණ දුන් වාණිජ චිත්‍රපට අතර කැපී පෙනෙන්නකි. වික්ටර් සහ ලතා ගායනා කළ එම ගීතය උදෙසා ශ්‍රියානි රංගනයේ යෙදෙන්නේ සිනමාවේ සිහින කුමරාණන් වූ විජය කුමාරණතුංග සමඟයි. එම ගීයේ සංගීත නිර්මාණය සරත් දසනායකගේය.

ශ්‍රියානි අමරසේන රංගනයෙන් දායක වන කුමර කුමරියෝ චිත්‍රපටයේ සංගීත නිර්මාණය සරත් දසනායකගේය. එම චිත්‍රපටයේ එන ලෙස්ලි රණසිංහ ලියූ 'යෞවන සමයේ ගීතිකා', මුවන්පැලැස්ස චිත්‍රපටයේ එන නිල්වන ලන්දේ ගීය, නිළියකට පෙම් කළෙමි චිත්‍රපටයේ පුන් චන්ද්‍රා සෙ සෝබන ගීය ආදී චිත්‍රපටවල සංගීත නිර්මාණ සරත් දසනායකගේය. මේ හැරැණුකොට එම්.කේ. රොක්සාමි, පී.එල්.ඒ. සෝමපාල ආදී සංගීතඥයන් සංගීත නිර්මාණය කළ චිත්‍රපට ගී රාශියක ශ්‍රියානි සිය රංගන කෞෂල්‍ය විදහා පෙන්වා තිබේ.

1968 ගොළු හදවතින් ප්‍රධාන ධාරාවේ සිනමාවට සම්බන්ධ වූ ශ්‍රියානි, 1970, 80, 90, 2000, 2010 යන දශක හයේදීම සක්‍රියව රංගනයට දායක වූවාය. 70 දශකයේ ඈ රඟපෑ චිත්‍රපට 31ක් තිරගත වී තිබේ. 80 දශකයේ ප්‍රදර්ශනය වූ චිත්‍රපටවලින් චිත්‍රපට 37 කට ඇය රංගනයෙන් දායක වූවාය. 90 දශකයේ ඈ රඟපෑ චිත්‍රපට 15ක් ප්‍රදර්ශනය වී තිබේ. 2024 වසරේදී සිය අසූවැනි වියේදී ඈ රඟපෑ 'වීරයා' චිත්‍රපටය ප්‍රදර්ශනය විය. චිත්‍රපට තුනක් ඇය නිෂ්පාදනය කළාය.
මේ'යුරින් දිගු ගමනක් පැමිණි ශ්‍රියානි ඔබට... සුබාසිරි!

• සමන් පුෂ්ප ලියනගේ