ගුවන්විදුලිය, වේදිකාව, රිදී තිරය, පුංචි තිරය සම සේ දික්විජය කළ ශ්‍රියානි අමරසේන නම් ප්‍රතිභාපූර්ණ ප්‍රවීණ රංගන ශිල්පිනිය පිළිබඳ ඓතිහාසික සලකුණක් තැබීමට දේශය හදසර අපි සැරසී සිටිමු. ඇගේ නම ඇසූ පමණින් රිදී තිරයේ පියකරු සිනහවක් රැඳී ඇගේ රුව සිනමා රසවතුන්ගේ මනසේ මැවේ. ශ්‍රියානි අමරසේන පණ පෙවූ විවිධ වෘත්තීය භූමිකාවන් අතරේ සිනමා පරිච්ඡේදය අපට එතරම් සමීපය. එනිසාම ඇගේ ජීවිත කතාවේ සුවිසල් සිනමා පරිච්ඡේදය ගැන සංක්ෂිප්ත සටහනක් තබන්නට අපි උත්සාහ කරමු.
ශ්‍රියානි අමරසේන නම් චරිතයේ නැගීම පිළිබඳ සටහනේදී ගුවන්විදුලියේ ළමා පිටිය, නරිබෑනා ඇතුළු වේදිකා නාට්‍ය ද මඟහැර යා නොහැකි සුවිසල් පරිච්ඡේද වෙයි. එහෙත් එම පරිච්ඡේද ගොලුකොට තබා අප අවතීර්ණ වන්නේ ශ්‍රියානි අමරසේන සිනමාවතරණය වෙතයි.
බාලේ පටන්ම සංගීතය, රංගනය ඇතුළු කලාවන්ට උපන් හපන්කම් දැක්වූ ශ්‍රියානි අමරසේන සිනමා සම්ප්‍රාප්තිය සිදුවන්නේ ඇය විවාහ ගිවිස ගැනීමෙන් ද අනතුරුවය. ගුවන් හමුදාවේ ප්‍රචාරණය කටයුත්තක් සඳහා නිර්මාණය කෙරුණු ඉංග්‍රීසි කෙටි චිත්‍රපටයක් වූ "Wings over Ceylon” ශ්‍රියානි අමරසේන රංගන ශිල්පිනියගේ පළමු සිනමා රංගනය විය.
මෙරට කීර්තිමත් මාධ්‍යවේදියෙකු වූ ආතර් යූ අමරසේන මහතා සමඟ අතිනත ගත් පසු ශ්‍රියානි අමරසේන දෙවැනි වරටද සම්බන්ධ වන්නේ කෙටි චිත්‍රපටයකටය. "කෙටි කතාව" නම් වූ එම කෙටි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඩී.බී. නිහාල්සිංහ මහතාය. මෙම සිනමා නිර්මාණය ලිබර්ටි සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කෙරුණි. මෙම නිර්මාණය නැරඹීම සඳහා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා ද පැමිණ තිබේ. කෙටි සිනමාපටය නරඹා පැමිණෙන අතර රිදී තිරයේ දැවැන්ත නිර්මාණයක් සඳහා වන පළමු ඇරියුම ශ්‍රියානි අමරසේන හට ලැබුණි.
“මම කරනවා ‘රන්සළු’ කියලා චිත්‍රපටයක්. ශ්‍රියානිට ඒකේ චරිතයක් තියෙනවා එන්න පුළුවන්ද?"
මෙය ඉතා වටිනා අවස්ථාවක් වුවද මෙම අවස්ථාව ශ්‍රියානි අමරසේන හට මඟහැරී ගියේය. මෙම නිර්මාණය රෑපගත වන කාලයේ දී ඇය විවාහපත්ව සිටි අතර, සිය දෙවැනි දරුවා බිහි කිරීමේ අපේක්ෂාවෙන් පසු වූවාය.
එහෙත් දෛවය මේ ප්‍රතිභාසම්පන්න රංග ලාලිත්‍ය මඟහැර යාමට සූදානම් නොවීය. එම සිදුවීමෙන් වසරකට පමණ පසු ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ" ගොළු හදවත" නම් ඓතිහාසික සිනමාරෑපයේ චරිතයක් ඇය නමින් ලියැවුණි. ගොළු හදවතේ චම්පාගේ චරිතය ශ්‍රියානි අමරසේන නමින් රිදී තිරයේ සලකුණ සනිටුහන් කළාය.
ශ්‍රී ලාංකික සිනමාවේ ස්වර්ණමය යුගයේ පායා ආ ප්‍රභාමත් සිනමා තාරකාවිය වූ ශ්‍රියානි අමරසේන රසික හදවත් තුළ ස්ථිර ලෙසම ලැඟුම් ගත්තේ 1975 දී තිරගත වූ "දෑස නිසා" සිනමාපටය සමඟයි. ලෙස්ටර් ජේම්ස් පිරිස් විසින් මෙම ඓතිහාසික නිර්මාණය ද අධ්‍යක්ෂණය කළ අතර ජෝ අබේවික්‍රම, රවීන්ද්‍ර රන්දෙණිය ඇතුළු ශ්‍රී ලාංකික සිනමාවේ පතාක යෝධයන් රුසක් මෙම නිර්මාණය සඳහා සිය රංග, ශිල්ප දායකත්වය එක් කළහ.
වරක් ශ්‍රියානි අමරසේන තමන් සිනමාව තුළ කලඑළි දුටු මෙම නිර්මාණය පිළිබඳ මෙලෙස අදහස් දක්වා තිබේ.
“බොහොමයක් තියෙනවා. මෙම සිනමාපටය අන්ධ තරුණියකගේ ජීවිතය වටා ගෙතුණක්. එහි එන අන්ධ තරුණිය මායි. අන්ධ වුවත් ඉතා සුන්දර රෑ සපුවකින් හෙබි මේ සුන්දර චරිතය තම ජීවිකාව සපයා ගන්නේ මල් විකුණලා. ඇගේ චරිත ස්වභාවය, කතා කරන්නේ කෙසේද? ඇසිපිය හෙලන්නේ කොහොමද? මුහුණෙහි හැඟීම් පළ කරන්නේ කොහොමද? කියන අභියෝගයට මේ චරිත නිරෑපණයේ දී මා මුහුණ දුන්නා."
මෙම සිනමාපටයේ අපූරු කතා තේමාවත්, ශ්‍රියානි අමරසේනගේ විශිෂ්ට රංගනයත් එය අති සාර්ථක නිර්මාණයක් බවට පත්වීමට හේතු විය. එනිසාම ලංකික සිනමා රසික සමූහයේ හදවත් තුළ අදට ද "දෑස නිසා" සිනමාපටය නොමැකෙන මතකයකි.
වාණිජ සිනමාවට පූර්වයෙහි ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි සිනමා දිසාපතිවරුන් සෙවණේ සම්භාව්‍ය කලාත්මක නිර්මාණ සඳහා දායක වීමට ලැබීම ශ්‍රියානි අමරසේන රංග ලාලිත්‍ය වෙත වෙනස්ම හැඩයක් රුගෙන ආවේය.
ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ "අහසින් පොළොවට" නම් සලකුණුගත නිර්මාණය ද ප්‍රධාන භූමිකාවක් රඟ දැක්වීමේ භාග්‍ය ශ්‍රියානි අමරසේන හට හිමිවූවාය. "අහසින් පොළොවට" සිනමා රෑපයේ දී ඇගේ භූමිකාව විනීතා නම් විය. විවාහ ජීවිතයේ පීඩිත කාන්තාවකගේ භූමිකාව සියුම් ලෙස රඟ දැක්වීමට ඇය එම නිර්මාණය තුළ දී සමත් වූවාය. ටෝනි රණසිංහ, විජය කුමාරණතුංග, රුක්මණී දේවි, වසන්ති චතුරාණි ආදී ජනප්‍රිය චරිත රුසක් එක්වූ මෙම නිර්මාණය ද මෙරට සිනමා රසිකයන් තුළ කතාබහක් නිර්මාණය කිරීමට සමත් විය.
තිස්ස අබේසේකරයන්ගේ නිර්මාණයක් වූ "මහ ගෙදර" සිනමාපටය ද ශ්‍රියානි අමරසේන සිනමා පරිච්ඡේදයේ දී මඟහැර යා නොහැකි සංධිස්ථානයකි. අද්භූත ගති පැවතුම් ඇති පවුලකට මැදිවන කතකගේ චරිතයක් මෙහිදී ශ්‍රියානි අමරසේන රඟ දැක්වූවාය. හැඟීම් විරහිත මුහුණකින් යුතුව නිරෑපිත එම චරිතය ශ්‍රියානි අමරසේන රංග ප්‍රතිභාව සිනමාව තුළ සලකුණු කොට තැබූ තවත් විශිෂ්ට නිර්මාණයක් විය. තිස්ස අබේසේකර, විජය කුමාරණතුංග, ගීතා කුමාරසිංහ, දයා අල්විස් ඇතුළු ප්‍රවීණ රංගධරයන් රුසක් මෙම නිර්මාණය සමඟ අත්වැල් බැඳගෙන සිටියහ.
එසේම "විරාගය" සිනමාපටය ද ශ්‍රියානි අමරසේන සිනමා පරිච්ඡේදයේ දී සංවාදයට ලක්විය යුතු සංධිස්ථානයකි. විරාගයේ අරවින්ද ප්‍රේම කළ සරෝජනීගේ රෑපයට රිදී තිරය තුළ සාධාරණයක් ඉටු කිරීමට ශ්‍රියානි අමරසේන සමත් වූ බව අප නොවලහා කිව යුතුය. ඒ සඳහා ඈ තුළ වූ හැදෑරීම හේතු වූ බව පැහැදිලිය. මෙම නිර්මාණයට රංග දායකත්වය සැපයූ රංගධරයන් ද මෙරටදී මෙන්ම විදේශයන් හිදී ද සම්මානයට පාත්‍ර විය. ඒ අතර ශ්‍රියානි අමරසේනගේ රංගනය ද ඇගයුමට ලක් විය.
කලාත්මක සම්භාව්‍ය සිනමාව මෙන්ම වාණිජ සිනමාව තුළ ද නිර්මාණ රුසක් වෙනුවෙන් සිය රංග දායකත්වය සැපයීමට ශ්‍රියානි අමරසේන සමත් වූවාය. ඒ අතරින් ගාමිණී ෆොන්සේකා සමඟ රංගනයෙන් එක්වූ "රත්තරං අම්මා" ආදී සිනමාපට සිනමා රසිකයන්ගේ හදවත් තුළ සදා අනුස්මරණීය ය. එසේම "කල්‍යාණි ගංඟා" වැනි සිනමාපට ද ඇය නමින්ම ලියැවී තිබේ. මෙම සිනමාපට ද්විත්වය අධ්‍යක්ෂණය කළේ ධර්ම ශ්‍රී කල්දේරා මහතාය. එසේම මෙම සිනමාපට ද්විත්වයේම ඇය රඟපෑ චරිතය සඳහා ලැබී තිබුණු නම "කල්‍යාණි" වීම ද තරමක අපූරු සිදුවීමක් විය. පසු කාලීනව චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක් ලෙස ද කරළියට පැමිණීමට ශ්‍රියානි අමරසේන සමත් විය. ඇය නිෂ්පාදන සම්බන්ධීකරණය කළ සිනමාපට අතරින් "කුලගෙය" සිනමාපටය ශ්‍රී ලාංකික සිනමා වංශ කතාවේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් සලකුණු කළ නිර්මාණයකි. තිස්ස අබේසේකරයන්ගේ නිර්මාණ වෑයමක් වූ මෙම නිර්මාණයේ දී කුලගෙය බිඳ සැමියා සහ දරුවන් හැරදා යන එඩ්නා නම් ආන්දෝලනාත්මක භූමිකාවට පණ දුන්නේ ද ශ්‍රියානි අමරසේන විසිනි.
සිනමාපට සියයකට අධික සංඛ්‍යාවක් එදා මෙදා තුර ශ්‍රියානි අමරසේනගේ රංගන දායකත්වයෙන් හැඩ වී තිබේ. එම නිසාම ඈ පිළිබඳ සිනමා පරිච්ඡේදය මෙපමණකින් ලියා අවසන් කළ නොහැකිය. විරාගය - සරෝජනී, කුලගෙය - එඩ්නා, අහසින් පොළොවට - විනීතා, පරිත්‍යාගය - අනුලා, නිළියකට පෙම් කළෙමි - චින්තාමණී, චන්දීරා - සීතම්මා, සෙලීනාගේ වලව්ව - වයලට්, යහළු යෙහෙළි - ඉස්කෝල හාමිනේ, මහ ගෙදර - අනුලා මල්වැන්න, ශ්‍රියානි අමරසේන සිනමා චාරිකාවේ සලකුණුගත නිර්මාණ කිහිපයක් පමණි.
ශ්‍රියානි අමරසේන ස්වර්ණමය යුගයේ සිනමාව තුළ අවිහිංසක අපූරු හැඩයක් මැවූ චරිතයක් වූවාය. විටෙක ඇය සිනමාවේ අහිංසකාවිය බවට පත් විය. එහෙත් චරිතාංග රංගන ශිල්පිනියක ලෙස ශ්‍රී ලාංකීය සිනමා වංශ කතාවේ ශ්‍රියානි අමරසේන නාමය ලියැවෙනු ඇත. මන්ද යත් ඇය එතරම් විචිත්‍රවත් රංග ලාලිත්‍යයක් එදා මෙදා තුර ශ්‍රී ලාංකික සිනමා ඉතිහාසය තුළ ප්‍රකට කොට තිබේ. එනිසාම සිනමා ලෝකය තුළ විනය සහ නිහතමානීත්වය ප්‍රකට කරමින් ශ්‍රියානි අමරසේන තවදුරටත් අප හදවත් තුළ විරාජමානය.
• චමිඳු නිසල්